මැලේසියාවේ හා තායිලන්තයේ නැව් රැකියාවලට
යවනවැයි කියා ලක්‍ෂ ගණන් ගැරූ අයෙක්‌ දැලේ


මීට පෙර යෑවූ අයත් එම රටවල අතරමං වෙලා

ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්

මැලේසියාවේ හා තායිලන්තයේ නැව්වල රැකියා සඳහා යවන බව පවසා රුපියල් ලක්‍ෂ ගණනින් මුදල් ලබාගෙන වංචා කළ සැකකරුට එරෙහිව ඊයේ (10 වැනිදා) වනවිට පැමිණිලි 13 ක්‌ ලැබී ඇති බවත්, එම වංචාව රුපියල් ලක්‍ෂ 50 ක්‌ බවත් මිරිහාන මූලස්‌ථාන පොලිසිය පවසයි.

ලැබුණු පැමිණිලිවලට අනුව සැකකරු පැපිලියාන ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව ද පොලිසිය කියයි.

මෙම 39 හැවිරිදි සැකකරු විදේශ රටවල නැව්වල රැකියා සඳහා යවන බව පැවසෙන නුගේගොඩ විදේශ රැකියා ආයතනයක්‌ පවත්වාගෙන යමින් මෙම වංචාව සිදුකර ඇතැයි හෙළි වූ බව ද පොලිසිය කියයි.

මොහු මීට පෙර විදේශගත කළ පුද්ගලයන් රැසක්‌ මැලේසියාවේ හා තායිලන්තයේ නැව්වල රැකියා සඳහා ගියත් ඔවුන්ට එම රටවල්වල අදාළ රැකියා නොලැබී අතරමං වී සිටින බව හෙළිවිණැයි පොලිසිය කීය.

යාපනය, මාතලේ, දෙහිවල, කොළඹ ඇතුළු දිවයිනේ විවිධ ප්‍රදේශවල පදිංචිකරුවන් මෙම වංචාවට හසුවී ඇතැයි පොලිසිය කියයි.

මෙම සැකකරුගේ වංචාවන්ට හසුවූ තවත් අය සිටී නම් ඒ ගැන මිරිහාන පොලිසියට පැමිණ පැමිණිලි කරන්නැයි පොලිසිය මහජනතාවගෙන් ඉල්ලා සිටියි.

මේ පිළිබඳ මිරිහාන මූලස්‌ථාන ප්‍රධාන පොලිස්‌ පරීක්‍ෂක රොෂාන් රාජපක්‍ෂ මහතාගේ උපදෙස්‌ මත අපරාධ විමර්ශන අංශයේ ස්‌ථානාධිපති පොලිස්‌ පරීක්‍ෂක රොෂාන් අනුරුද්ධ මහතාගේ මෙහෙයවීමෙන් උප පොලිස්‌ පරීක්‍ෂක වික්‍රමාරච්චි, පොලිස්‌ කොස්‌තාපල්වරුන් වන රත්නායක, අමිල ධනුෂ්ක, කාන්තා පොලිස්‌ කොස්‌තාපල් කුමාරි යන නිලධාරීහු වැඩිදුර පරීක්‍ෂණ සිදු කරති.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.