අල්ලස හා දූෂණයට එරෙහිව නීතිය බලසම්පන්න කළ යුතුයි
- අගවිනිසුරු මොහොන් පීරිස්‌

ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්

රාජ්‍ය සේවකයින් තම විවිධ ආර්ථික ගැටලු නිසා අල්ලසට, දූෂණයට පෙළඹී තිබෙන බවත්, මෙය වහා නතර කළ යුතු බවත් අගවිනිසුරු මොහාන් පීරිස්‌ මහතා පැවසීය.

එමෙන්ම අල්ලස, දූෂණය රට තුළ පැතිරීම වළක්‌වා ගැනීමට නීති බලසම්පන්න විය යුතු බවත් අගවිනිසුරුවරයා කීය.

පෙරේදා (9 වැනිදා) ලෝක දූෂණ විරෝධී දිනය වෙනුවෙන් කොළඹ බණ්‌ඩාරනායක ජාත්‍යන්තර අනුස්‌මරණ සම්මන්ත්‍රණ ශාලාවේ පැවැති උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් සහභාගි වෙමින් අගවිනිසුරුවරයා මෙසේ කියා සිටියේය.

අල්ලස්‌ හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව මගින් සංවිධානය කරන ලද මෙම උත්සවය තවදුරටත් ඇමතූ අගවිනිසුරුවරයා මෙසේද කීය.

''මේ රටේ අල්ලස උපදින්නේ තම නිවසින්. තම දරුවා පාසලට ඇතුළත් කිරීමේ ඉඳලා, දරුවාව ක්‍රීඩාවට යොමුකරවීම දක්‌වා අල්ලස ක්‍රියාත්මක වෙනවා. එය නැවැත්විය යුතුයි.

''මේ අධිකරණ පද්ධතිය තුළ කිසිම ආකාරයෙන් දූෂණයක්‌, වංචාවක්‌, අල්ලසක්‌, ගැනීම සිදු නොවන ආකාරයට ඊ. රාජ්‍ය සේවාව යටතේ අධිකරණ පද්ධතියේ සියලු වාර්තා පරිගණක ගත කිරීම මේ වන විටත් ආරම්භ කර තිබෙනවා.

මෙම වැඩ පිළිවෙළ තුළින් අධිකරණ පද්ධතියේ සියලු කටයුතු පරීක්‍ෂණ ජාලයක්‌ යටතට පත්වන අතර, ඒ තුළින් කිසිදු අධිකරණ වාර්තාවක සුළු හෝ වෙනස්‌ කිරීමක්‌, අනවශ්‍ය පරිදි ඒවා පරිහරණය කිරීම, ලබා ගැනීම හෝ ඒ හා සම්බන්ධව කිසිදු දෙයක්‌ සිදුකිරීමට කිසිදු නිලධාරියකුට අවස්‌ථාවක්‌ ලැබෙන්නේ නැහැ.

අල්ලස, දූෂණය මේ රට තුළ විශාල වශයෙන් පැතිරී තිබෙනවා. ස්‌වාධීන ආකාරයට තම රාජකාරිය කරන අවස්‌ථාවේ ඇතැම් පාර්ශ්වයන් විවිධ ආකාරයේ වාසි බලාපොරොත්තු වෙන් දුරකථන ඇමතුම් ලබාදෙනවා.

අල්ලස, දූෂණය අධිකරණ පද්ධතිය තුලට ඇතුළත්විමට කිසිසේත්ම ඉඩ තබන්නේ නැහැ. ඒ වගේම විනිසුරුවරුන් වෙනුවෙන් ආචාර ධර්ම පද්ධතියක්‌ සකස්‌ කිරීමටද මේ වන විට පියවරගෙන තිබෙනවා. මෙම ආචාර ධර්ම පද්ධතිය බැංගලෝ ප්‍රඥප්තිය හරහා සිදු කරනවා.

අධිකරණ පද්ධතිය තුළ කටයුතු වඩාත් කාර්යක්‍ෂම ලෙස පරිගණක ජාල ගත කරමින් ඉහළ අධිකරණයට ඉදිරිපත් කරන පෙත්සම් අධිකරණය වෙත නොපැමිණ ''නැණ සලකුණ'' ක්‍රමය හරහා ඉහළ අධිකරණයට ඉදිරිපත් කිරීමට මහජනතාවට අවස්‌ථාව සලසා දීමට කටයුතු කරනවා.

පෞද්ගලික අංශය මෙන්ම බහු ජාතික සමාගම් මේ රට තුළ අල්ලස, දූෂණය, විශාල වශයෙන් පතුරුවා හරින්නට උත්සාහ දරනවා.

රාජ්‍ය සේවකයින් තම විවිධ ආර්ථික ගැටලු නිසා අල්ලසට, දූෂණයට අද පෙලඹිලා තිබෙනවා.

මෙම බහු ජාතික සමාගම් පෞද්ගලික අංශය අල්ලස්‌ දීමට එරෙහිව කොටුකර ගැනීමට නීති පද්ධතියක්‌ සකස්‌ විය යුතුයි. ඒ වගේම අල්ලස, දූෂණය රටතුළ පැතිරීම වළක්‌වා ගැනීමට නීති බලසම්පන්න විය යුතුයි.

ජාත්‍යන්තර රටවල් ගණනාවක්‌ අල්ලස, දූෂණය වළක්‌වාලීමට ගෙන ඇති දැඩි පියවරවල් මෙන්ම රාජ්‍ය සේවකයා අල්ලසට යොමුවීම වැලැක්‌වීමට අවංක සේවයට කැපවී සිටින රාජ්‍ය සේවකයින් වෙනුවෙන් එම රටවල් ක්‍රියාත්මක කරන වැටුප් වැඩි කිරීම්, සේවය උසස්‌ කිරීම් දිරි දීමනා ක්‍රියාත්මක කිරීම අත්‍යාවශ්‍යයි.

මෙම අවස්‌ථාවට නීතිපති පාලිත ප්‍රනාන්දු, අල්ලස්‌ හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමේ සභාපති හා හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ජගත් බාලපටබැඳිගේ, එම කොමිසමේ කොමසාරිස්‌ හා හිටපු අභියාචනාධිකරණ විනිසුරු එල්. කේ. විමලචන්ද්‍ර, එම කොමිසමේ කොමසාරිස්‌ හා හිටපු පොලිස්‌පති ආචාර්ය ජයන්ත වික්‍රමරත්න එම කොමිසමේ අධ්‍යක්‍ෂ ජනරාල් ලක්‌ෂ්මි ජයවික්‍රම යන මහත්ම මහත්මීහු සහභාගි වූහ.

 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.