කොළඹට නව ප්‍රවාහන සැලැස්‌මක්‌
- ප්‍රවාහන ඇමැති කුමාර වෙල්ගම හෙළිකරයි

චමින්ද සිල්වා

දිනකට විවිධ අවශ්‍යතා සඳහා කොළඹ ප්‍රදේශයට ලක්‍ෂ 20 ක ජනතාවක්‌ පැමිණෙන බව හෙළිවී ඇතැයි ප්‍රවාහන ඇමැති කුමාර වෙල්ගම මහතා ඊයේ (10 වැනිදා) පැවැසීය.

වැඩකරන දිනයක පැමිණෙන මෙම පිරිස අතරින් කොළඹ සහ අවට ප්‍රදේශවලින් ලක්‍ෂ 10 ක්‌ද පිට පළාත්වලින් තවත් ලක්‍ෂ 10 ක්‌ පැමිණෙන බව ඇමැතිවරයා කියා සිටියේ කොළඹ නාගරික හා තදාසන්න පෙදෙස්‌හි ප්‍රවාහන පද්ධතිය සංවර්ධනය කිරීමේ ඉදිරි සැලැස්‌ම පිළිබඳව ඊයේ (10 වැනිදා) කොළඹ පැවැති මාධ්‍ය හමුවකට සහභාගි වෙමිනි.

මේ වන විට වැඩකරන දිනයකදී පෙරවරුවේ සහ සවස්‌ කාලයේ කිලෝ මීටර් 8 ක්‌ ගමන් කිරීමට පැයක්‌ ගතවනු ඇතැයිද කී ඇමැතිවරයා එය සංවර්ධන සැලැස්‌ම ක්‍රියාත්මක කිරීම තුලින් පැයකට කිලෝ මීටර් අවම වශයෙන් 20 ක්‌ දුර යැමට හැකිවනු ඇතැයි කීය.

නව සැලැස්‌ම සකස්‌ කිරීම සඳහා 2011 වර්ෂයේ සැලසුම්කර 2012 මැයි මාසයේ ජයිකා ආයතනය සමග ගිවිසුම් අත්සන් කළ බවද කීය. මේ සඳහා ජපානයේ ජයිකා අනුග්‍රහය මත ලබාදුන් රුපියල් මිලියන 5 ක මුදලින් සැලසුම් සකස්‌කර 2014 අප්‍රේල් වන විට ඉදිරි වසර තිස්‌පහ සඳහා අදාළ සැලසුම රජයට ඉදිරිපත් කිරීමට කටයුතු කරන බවද ඇමැතිවරයා අවධාරණය කර සිටියේය.

මෙම සැලැස්‌ම සකස්‌ කිරීම සඳහා බස්‌නාහිර පළාතම ආවරණය වන පරිදි පවුල් 31,000 ක්‌ නියදියක්‌ යොදාගෙන පුද්ගල ප්‍රවාහන අවශ්‍යතා පිළිබඳව පුළුල් සමීක්‍ෂණයක්‌ කර ඇතැයි ද කීය.

මෙම ව්‍යාපෘතියේ ක්‍රියාවලිය සම්බන්ධීකරණය කිරීම සඳහා රාජ්‍ය ආරක්‍ෂක අමාත්‍යාංශය මහා මාර්ග, වරාය හා නාවික අමාත්‍යාංශය ආදී ප්‍රවාහන ක්‍ෂේත්‍රයට අදාළ රාජ්‍ය ආයතන 12 ක සහභාගීත්වයෙන් මෙහෙයුම් කමිටුවක්‌ පත්කර ඇතැයිද කී ඇමැතිවරයා ක්‍ෂේත්‍රයේ ප්‍රවීණ විද්‍යාර්ථයින්ගේ හා මොරටු විශ්වවිද්‍යාලයේ සහයද ලබාගෙන ඇතැයි කීය. මෙම ව්‍යාපෘතිය සඳහා ඉදිරි දිනවලත් අදහස්‌ ලබා ගැනීමට ප්‍රවාහන අමාත්‍යාංශය කටයුතු කරන බවද මෙහිදී ඇමැතිවරයා වැඩිදුරටත් අවධාරණය කර සිටියේය.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.