අනතුරු රැසක්‌ සහිත නව බීජ පනත
ගෙන එන්නේ කාගේ අවශ්‍යතාවයටද?

- අතුරලියේ රතන හිමි (එජනිස)

කුෂාන් සුබසිංහ, අජිත් අලහකෝන්

බරපතළ අනතුරු රැසක්‌ සහිත නව බීජ පනත රජය විසින් ගෙන එන්නේ කාගේ අවශ්‍යතාවක්‌ මතදැයි ගම්පහ දිස්‌ත්‍රික්‌ මන්ත්‍රී (එජනිස) අතුරලියේ රතන හිමියෝ ඊයේ (10 වැනිදා) පාර්ලිමේන්තුවේදී ප්‍රශ්න කළහ.

මෙම පනත් කෙටුම්පතට කිසිසේත් එකඟ විය නොහැකි බවද රතන හිමියෝ ඊයේ කෘෂිකර්ම අමාත්‍යාංශයේ වැය ශීර්ෂය පිළිබඳ විවාදයට එක්‌වෙමින් පැවැසූහ.

ගොවීන් සන්තකයේ බීජ තබා ගැනීම, ගොවීන් අතර බීජ බෙදා ගැනීම මෙන්ම බීජ සම්බන්ධව අදහස්‌ දැක්‌වීම, උද්ඝෝෂණය කිරීමද නව පනත් කෙටුම්පත මගින් තහනම් කර ඇතැයි රතන හිමියෝ පැවැසූහ.

කැබිනට්‌ මණ්‌ඩලයට ඉදිරිපත් කර නැතත් මෙම පනත් කෙටුම්පත සකස්‌ කර අවසන් බව කී රතන හිමියෝ අදාළ පනත් කෙටුම්පත් කිරීම පිළිබඳව කෘෂිකර්ම ඇමැතිවරයාවත් නොදන්නා බව කීහ.

ඇමැතිවරයාවත් නොදැනුවත්ව මෙම පනත් කෙටුම්පත සැලසුම් කළේ කවුරුන්දැයි රටට හෙළි කළ යුතු බවද කී රතන හිමියෝ ගොවීන් සතු බීජ වර්ග නව පනත මගින් අමාත්‍යාංශය සන්තකයට ගැනෙන බවද කීහ.

වකුගඩු රෝගයට බලපාන කෘෂි රසායන ද්‍රව්‍ය කිහිපයක්‌ වෙළෙඳ පොළේ තහනම් කිරීමට කෘෂි උපදේශක සභාව තීරණයක්‌ ගෙන ඇතත් ඊට අදාළ චක්‍ර ලේඛය ගොවිජන සේවා මධ්‍යස්‌ථානය වෙත මෙතෙක්‌ නිකුත් කර නැතැයිද කී රතන හිමියෝ කරුණු 15 ක්‌ සහිත එම ලියවිල්ල ක්‍රියාත්මක නොකර යටගසා තිබෙන්නේ කවුරුන් විසින්දැයි හෙළිකරන ලෙසද ඉල්ලා සිටියේය.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.