අලුත් තනතුරක්‌ භාර ගැනීමට
පොස්‌පේට්‌ තනතුරෙන් අස්‌වුණේ මාස 6 කට පෙරයි

- අද්මිරාල් දයා සඳගිරි

ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ ඉල්ලීම මත තමා මුහුදු ආරක්‍ෂක ආයතනයක කටයුතුවලට සම්බන්ධවීමට පසුගිය ජුනි මස සිට ලංකා පොස්‌පේට්‌ සමාගමෙන් ඉවත්වූ බව අද්මිරාල් දයා සඳගිsරි මහතා ඊයේ (10 දා) දිවයිනට පැවැසීය.

පොස්‌පේට්‌ සභාපති තනතුරින් ඉවතට යන ශීර්ෂය යටතේ ඊයේ (10 දා) පුවත්පතේ මුල් පිටුවේ පළවූ පුවත ගැන කරුණු දක්‌වමින් ඒ මහතා එලෙස කියා සිටියේය.

පොස්‌පේට්‌ සමාගමට චීනයෙන් ගෙන්වන ලද යන්ත්‍රය සඳහා අනුමැතිය දුන්නේ තාක්‍ෂණ කමිටු නිර්දේශ මත රාජ්‍ය ව්‍යවසාය අමාත්‍යාංශයයි. මේ යන්ත්‍රය ගැන ඉංජිනේරුවරුන් නිර්දේශ කර එය බැලීමට චීනයට ගියා. යන්ත්‍රය මෙරට සවි කිරීමේදී අඩුපාඩු තිබීම නිසා මා ඒ ගැන අමාත්‍යාංශයට දැනුම් දීමෙන් විමර්ශන කමිටුවක්‌ද පත් කළා යයි සඳගිරි මහතා හෙළි කළේය.

පොස්‌පේට්‌ සමාගමින් තමා ඉවත් කළ බවට පළකර ඇති පුවත මුළුමනින්ම සාවද්‍ය බව පැවසූ ඒ මහතා පසුගිය ජුනි මස සිට පොස්‌පේට්‌ සභාපති ලෙස ක්‍රියා කරන්නේ ජාලිය කුළසේකර බව පළ කළේය.

තාක්‍ෂණ කමිටු සහ ඇගයිම් කමිටු පත්කර සියලු කටයුතු සිදුකළේ රාජ්‍ය ව්‍යවසාය අමාත්‍යාංශ්‍ය බවද අද්මිරාල් සඳගිරි කියා සිටියේය.

මේ ක්‍රියාදාමයට අදාළ ලියකියවිලි තමා සතුව ඇතැයි පළ කළ අද්මිරාල්වරයා තමා ඉවත් කිරීමක්‌ සිදුවූවේ නැතැයි කීවේය.

පසුගිය ජුනි මස ජනාධිපතිතුමා මට කතාකර වැදගත් රාජකාරියක්‌ බාරදීමේ අවශ්‍යතාවයක්‌ ඇතැයි කියා මුහුදු ආරක්‍ෂක සමාගමේ කටයුතුවලට යොමු කළ බවද සඳගිරි මහතා පළ කළේය.

චීනයෙන් මෙම යන්ත්‍රය ගෙන්වනු ලැබුවේ පොස්‌පෙට්‌ නිෂ්පාදනය වැඩි කිරීමට බවද පළ කළ ඒ මහතා එය සවි කිරීමේ යෙදී සිටි දේශීය කණ්‌ඩායමට නිසි ලෙස එය සවි කිරීමට නොහැකිවීම නිසා තමා ඔවුන්ගේ ඇප මුදල ගෙවීමද තහනම් කළ බව කීවේය.

මෙම යන්ත්‍රය ගෙන්වීමේදී සිදුවී බවට කියන අක්‍රමිකතා චෝදනා හෙතෙම මුළුමනින්ම ප්‍රතික්‌ෂේප කළේය.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.