සහලින් රට ස්‌වයංපෝෂිත කරන්න
'වාරිමාර්ගය' දැවැන්ත මෙහෙයක්‌ කළා

- ඇමැති නිමල් සිරිපාල ද සිල්වා

කුෂාන් සුබසිංහ, අජිත් අලහකෝන්

ප්‍රමාණවත්තරම් ඉංජිනේරුවන්, කාර්මික ශිල්පින් නොමැතිව බාධක මැද රට සහළින් ස්‌වයංපෝෂිත කිරීමට වාරිමාර්ග දෙපාර්තමේන්තුව දැවැන්ත කාර්යභාරයක්‌ සිදු කළ බව වාරිමාර්ග හා ජල සම්පත් කළමනාකරණ ඇමැති සභානායක නිමල් සිරිපාල ද සිල්වා මහතා ඊයේ (10 දා) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.

වාරිමාර්ග හා ජල සම්පත් කළමනාකරණ අමාත්‍යාංශයේ වැය ශීර්ෂයට එක්‌වෙමින් ඇමැතිවරයා එසේ කීවේය.

වේත්‍රධාරි අනිල් පරාක්‍රම සමරසේකර මහතා විසින් සෙංකෝලය තැන්පත් කළ පසුව කථානායක චමල් රාජපක්‌ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුව ඊයේ (10 දා) පෙරවරු 9.30 ට රැස්‌විණි.

නිවේදන, වාර්තා, ලිපිලේඛන සහ පෙත්සම් ඉදිරිපත් කළ පසුව වාචික පිළිතුරු අපේක්‌ෂාවෙන් මන්ත්‍රීවරුන් අසා තිබූ ප්‍රශ්නවලට අදාළ ඇමැතිවරු උත්තර දුන්හ.

අනතුරුව අයවැය කාරක සභා අවස්‌ථාවේ විවාදය අටවැනි දිනටත් පැවැත්විණි. සම්ප්‍රදායික කර්මාන්ත හා කුඩා ව්‍යවසාය කර්මාන්ත හා වානිජ කටයුතු, කෘෂිකර්ම, වාරිමාර්ග හා ජලසම්පත් කළමනාකරණ යන අමාත්‍යාංශවල වැය ශීර්ෂයන් පිළිබඳ විවාදය ආරම්භ කරමින් පත්කළ මන්ත්‍රී (එජාප) අනෝමා ගමගේ මහත්මිය - "මේ අයවැයෙන් සහන ලැබේවි කියා ජනතාව සිතා සිටියා. ජනතාවට සහන දෙන්න බැරි වුණත් ව්‍යවසායකයින් දිරි ගන්වන නිෂ්පාදන දිරි ගන්වන අයවැයක්‌ ඉදිරිපත් වේය කියා හිතුවා. ඇමැති මණ්‌ඩලය වැඩි කරගෙන අද අලිබබා සහ හොරු හතළිහ කතාවට අලුත් පරිච්ඡේදයක්‌ එකතු කර තිබෙනවා. ඇමෙරිකාවට යුරෝපයට බැන්නට ඒ රටවලට පිං සිද්ධවෙන්න තමයි ඇඟළුම් කෝටා යවන්නේ. පුහුණු ශ්‍රමිකයන් නැති නිසා ඇඟළුම් කම්හල් හිමියන්ට තම කර්මාන්ත පවත්වාගෙන යාම අසීරුවෙලා. ණය මත පදනම්වූ ආර්ථිකය වෙනුවට නිෂ්පාදනය මත පදනම් වූ ආර්ථිකයක්‌ ගොඩනගා ගත යුතුයි. කන්ටේනර් සඳහා අය කරන බද්ද මේ අයවැයෙන් කපා හැර තිබෙනවා. ඊට අපනයන කරුවන් වෙනුවෙන් මා රජයට ස්‌තුතිය පුද කරනවා.

උද්භිද උද්‍යාන හා පොදු විනෝදාත්මක කටයුතු ඇමැති ජයරත්න හේරත් මහතා - අපනයනකරුවන්ට විදේශීය වෙළෙඳපොළක්‌ සොයා ගැනීමේ වැඩසටහනට ජනාධිපතිතුමා පොදුරාජ්‍ය මණ්‌ඩල සභාපති පදවියෙන් පිදුම් ලැබීම ශක්‌තියක්‌. කර්මාන්ත ක්‌ෂේත්‍රයේ විශාල පරිහානියක්‌ එජාප සමයේ පැවැතියා. එනිසා එජාපයට මේ ගැන කතා කරන්න අයිතියක්‌ නැහැ. අද කර්මාන්ත ක්‌ෂේත්‍රයේ යම්කිසි ප්‍රගතියක්‌ ලබා තිබෙනවා.

වන්නි දිස්‌ත්‍රික්‌ (ද්‍රජාස) මන්ත්‍රී එම්. කේ. අඩෙක්‌කලනාදන් මහතා - කර්මාන්ත ක්‌ෂේත්‍රයේ ප්‍රවර්ධනයට ප්‍රමාණවත් වැඩකොටසක්‌ සිදුකර නෑ. ආරක්‌ෂාව සඳහා වෙන්කර ඇති මුදල් හා සසඳද්දී කුඩා කර්මාන්ත සංවර්ධනයට විශාල ප්‍රතිපාදන වෙන්කර නෑ. ඇමැතිවරුන් නිකං කඩේ ගියාට වැඩක්‌ නෑ. මධ්‍යස්‌ථව කරුණු ඉදිරිපත් කරමින් මේවා ඉල්ලා සිටිය යුතුයි. කෘෂිකර්මාන්තය උතුර නැගෙනහිර පසුබෑමකට ලක්‌වෙලා. ඇඟළුම් කර්මාන්තය හැර වෙනත් ආදායම් උත්පාදන මාර්ග කෙරෙහි අවධානය යොමු කරලා නැහැ. වන්නි ජනතාව අන්ත දුගී භාවයෙන් පෙළෙනවා. යුද්ධයෙන් අංගවිකල වූ බොහෝ දෙනා ඉන්නවා. ඒ අය වෙනුවෙන් යමක්‌ කළ යුතුයි.

ගම්පහ දිස්‌ත්‍රික්‌ (එජාප) මන්ත්‍රී අජිත් මාන්නප්පෙරුම මහතා - චින්තනය යථාර්ථයක්‌ කර ගන්න බැරිව ආණ්‌ඩුව අද ඇටිකෙහෙල් කාපු උගුඩුවෝ වගේ දඟලනවා. කම්හල් තුන්සියයක්‌ ආරම්භ කරනවා කීවා. ඒත් කෝ ඒවා. රුපියල් කෝටි නවදාහකට වඩා පිටරටට ණය පොලි ගෙවනවා. කර්මාන්ත කරුවෝ බොහෝම අමාරුවෙන් විදේශ මුදල් ලංකාවට ගෙනැවිත් දෙනවා. මේ කර්මාන්ත නඟාසිටුවීමට යම් ආයෝජනයක්‌ කළ යුතුයි. අද සුළුපරිමාණ කර්මාන්තවල කොන්ද කඩලා. චීනයත් සමග ගිවිසුම් ගහන්න යනවා. මේ ගිවිසුම ගැහුවොත් අපේ කර්මාන්ත හාන්සියි. එනිසා ගිවිසුමට කළින් කර්මාන්තකරුවන් සමග සාකච්ඡා කළ යුතුයි.

කර්මාන්ත හා වාණිජ කටයුතු නියෝජ්‍ය ඇමැති ලක්‌ෂ්මන් වසන්ත පෙරේරා මහතා - අද උතුරේ පේෂකර්මාන්ත ගම්මාන පිහිටුවා තිබෙනවා. අද නව නිෂ්පාදන ලොවට හඳුන්වාදීමේ ක්‍රමවේදයක්‌ ආරම්භ කර තිබෙනවා. අද මේ රට අපනයනය දිරිමත් කිරීම සඳහා කටයුතු කරමින් සිටිනවා. අද දේශීය කර්මාන්තකරුවන් රැකගැනීමට සහනදී තිබෙනවා.
 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.