හෙළ උරුමය අගමැතිට මඩ ගහනවා
- ජෝන් අමරතුංග (එජාප)

විපක්‌ෂයේ ප්‍රධාන සංවිධායක ජෝන් අමරතුංග මහතා - අගමැතිවරයා අත්අඩංගුවට ගන්නා ලෙස රජයේම පාර්ශ්වයක්‌ කියනවා. මේක රටට හොඳ නෑ. විපක්‌ෂයේ ඉඳගෙන අපිවත් අගමැතිට මඩ ගහන්නේ නෑ. ඒත් ජාතික හෙළ උරුමය කීදේ හැම පත්තරයකම සඳහන් කරලා. අපේ කර්මාන්තවලට ආරක්‌ෂාව ලබා දිය යුතුයි. ඒත් මේවගේ කර්මාන්තවලට ඉඩ දෙන්න එපා.

සම්ප්‍රදායික කර්මාන්ත හා කුඩා ව්‍යවසාය සංවර්ධන නියෝජ්‍ය ඇමැති වීරකුමාර දිසානායක මහතා - අද සියයට අටක කාර්මික සංවර්ධනයක්‌ ආර්ථිකයට එකතු කරන්නට අපට හැකිවී තිබෙනවා. කාර්මික ක්‌ෂේත්‍රයේ කුඩා නිෂ්පාදන රැසක්‌ ඉහළ දමන්නට මෙවර අයවැයෙන් අවධානය යොමුකර තිබෙනවා. රටේ ග්‍රාමීය නිෂ්පාදනය වැඩි කළ යුතු නිසා ඒ ඒ ප්‍රදේශවල අමුද්‍රව්‍ය උපයෝගී කරගෙන, ජනතාවට පුහුණුව හා අවශ්‍ය තාක්‌ෂණය ලබාදීලා ඔවුන් ශක්‌තිමත් කරනවා.

පුත්තලම දිස්‌ත්‍රික්‌ (එජාප) මන්ත්‍රී නිරෝෂන් පෙරේරා මහතා - යුද්ධය නිමවීමෙන් පසු එන සාමය සමග සියලු ක්‌ෂේත්‍ර දියුණුවෙලා ජනතාවට දැනෙන වෙනසක්‌ සිදුවේවි කීවා. යුද්ධය ඉවරවෙලා වසර හතරයි. එන්න එන්නම අපේ අපනයන ක්‌ෂේත්‍රය කඩාවැටිලා. 2009 දී තිබූ ආනයන අපනයන පරතරය ඇමරිකානු ඩොලර් මිලියන 3022 යි. 2012 දී එය ඇමරිකානු ඩොලර් මිලියන 9409 බවට පත්වෙලා. කොළඹ කොටස්‌ වෙළෙඳ පොළ අද හොර ගුහාවක්‌ වෙලා.

සම්ප්‍රදායික කර්මාන්ත හා කුඩා ව්‍යවසාය සංවර්ධන ඇමැති ඩග්ලස්‌ දේවානන්දා මහතා - ජාත්‍යන්තර ප්‍රජාව මහින්ද චින්තනය කෙරෙහි විශ්වාසය පළකර තිබෙනවා. සහශ්‍ර සංවර්ධන ඉලක්‌කවලට අපේ රට ඇතුළු වී තිබෙනවා. ව්‍යවසාය ගම්මාන සැදීමට තාක්‌ෂණ හුවමාරු වැඩසටහන් හඳුන්වාදීමට කටයුතු කර තිබෙනවා.

කොළඹ දිස්‌ත්‍රික්‌ මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතා (ප්‍ර.ජා.ස.) - උතුරු පළාත් මැතිවරණය නිමවන තුරු ඒ පළාතේ සංවර්ධනයට ආණ්‌ඩුව මැදිහත් වුණා. උතුරේ වැන්දඹුවන් ඉන්නවා 12000 කට වැඩිය. මව පියා අහිමි දරුවන් විශාල සංඛ්‍යාවක්‌ ඉන්නවා. දේවානන්ද ඇමැතිතුමාගේ අමාත්‍යාංශයෙන් උතුරේ අලුතින් ආරම්භ කළ කර්මාන්ත පහක්‌ තියෙනවද... මොනවද ඒ කර්මාන්ත.

ඩග්ලස්‌ දේවානන්ද මහතා - අච්චුවේලි කර්මාන්ත පුරයක්‌ ආරම්භ කළා. කර්මාන්ත ශාලා විසිපහට වැඩිය එහි ඉදිකරනවා. කුඩා කර්මාන්ත ඉදි කරනවා.

හඳුන්නෙත්ති මහතා - අවුරුදු පහක්‌ අමාත්‍යාංශය කරල අච්චුවේලිවල කර්මාන්ත පුරයක්‌ හදන්න හිතාගෙන ඉන්නවා. උතුරේÊසම්පත් ගැන හිතලා කොහොමද සැලසුමක්‌ හදන්නේ. ඒ ප්‍රජාව සම්බන්ධ කර ගන්නවා කියලා උතුර නැගෙනහිර යුද්දෙන් පීඩාවට පත්වූ ජනතාව ගැන හිතලා හදපු සැලසුමක්‌ නෑ. මේ අමාත්‍යාංශයට ලැබී තිබෙන්නේ එවැනි තැනක්‌.

නුවරඑළිය දිස්‌ත්‍රික්‌ මන්ත්‍රී ශ්‍රී රංගා මහතා (එජාප) - දේශීය නිෂ්පාදනය ව්‍යාපාරිකයන් ප්‍රවර්ධනයට කිසිම වැඩපිළිවෙළක්‌ නෑ. ආසියාවේ ආශ්චර්යය සිහිනයක්‌ පමණයි. එය සැබෑ වෙන්නේ නෑ. තමන් දැන හඳුනාගත් සමාගම් ඉහළට ඔසොවා තැබීම පමණයි සිද්ධ වන්නේ.

කළුතර දිස්‌ත්‍රික්‌ මන්ත්‍රී අජිත් පී. පෙරේරා මහතා (එජාප) - කාන්තාවන් සඳහා ලබා දෙනවා කියු රුපියල් දෙලක්‍ෂ පනස්‌දහසේ ණය මුදලට අවශ්‍ය ප්‍රතිපාදන කිසිම අමාත්‍යාංශයකට වෙන්කර නැහැ. ඒ වගේම කිසිදු බැංකුවක්‌ ඒ පිළිබඳව දැනුවත් කර නැහැ. ඒ නිසා ඒ ණය මුදල පිළිබඳව අයවැයෙන් ප්‍රකාශ කර තිබෙන්නේ සම්පූර්ණ බොරුවක්‌ බව කිව යුතුයි. බස්‌නාහිර පළාතේ කර්මාන්ත සඳහා සේවකයන් සොයා ගැනීමට අපහසුවෙලා. පරිසරය ආරක්‌ෂා කිරීමට මේ අයවැයෙන් පියවර ගෙන නැහැ.

කර්මාන්ත හා වාණිජ කටයුතු ඇමැති රිෂාඩ් බදියුදීන් මහතා - යුද්ධයෙන් පීඩාවට පත් වැන්දඹු කාන්තාවන් වෙනුවෙන් පේෂ කර්මාන්ත ආරම්භ කරනවා. පරිසර ආරක්‍ෂණය සඳහා ප්‍රමුඛත්වය දෙමින් කටයුතු කිරීම අපේ අරමුණයි. ජීඑස්‌පී සහනය නැතත් ඇඟළුම් කර්මාන්තයේ විශාල දියුණුවක්‌ ඇතිවී තිබෙනවා. අප සතුව තිබූ කර්මාන්ත ශාලා විශාල ප්‍රමාණයක්‌ යුද්ධය නිසා විනාශ වුණා. පසුගිය ඔක්‌තෝබර් මස ඩොලර් බිලියනයක වාර්තාගත අපනයන ආදායමක්‌ වාර්තා කරන්නට අපි සමත් වුණා.

දිවා විවේකයෙන් පසුව නියෝජ්‍ය කාරක සභාපති චන්ද්‍ර කුමාර් මුරුගේසු මහතාගේ ප්‍රධානත්වයෙන් යුතුව සභාව රැස්‌විය.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.