හිඟ ගොවි විශ්‍රාම වැටුප් ගෙවනවාද?
- අනුර කුමාර දිසානායක (ප්‍ර.ජා.සං.)

අනුරාධපුර දිස්‌ත්‍රික්‌ මන්ත්‍රී පී. හැරිසන් මහතා (එජාප) - මෙවර අයවැයෙන් ගොවි ජනතාව සඳහා සාධාරණය ඉෂ්ට වුණේ නැහැ. ගොවි විශ්‍රාම වැටුපට වයස අවුරුදු 18 සිට දායක වන ගොවියාගේ විශ්‍රාම වැටුපේ හිමිකම වයස අවුරුදු 63 වන තුරු ප්‍රමාද කරන්නේ ඇයි? ගොවිසෙත ලොතරැයියට එකතු වුණු මුදල් පිළිබඳව ආණ්‌ඩුව අද කතා කරන්නේ නැහැ. ඇමැතිවරුන්ගේ බිරින්දෑවරු පොලිසියේ ආරක්‍ෂාව පතන තත්ත්වයක්‌ අද රටේ උදාවෙලා. සභාපතිවරුන් ගෙන් වැඩි පිරිසක්‌ අද හිරේ ඉන්නවා. මේ දේශපාලනඥයන්ගෙන් වැඩි පිරිසක්‌ ආණ්‌ඩුව නියෝජනය කරන දේශපාලනඥයන් බව කිව යුතුයි. පිරිසිදු පලතුරු ටිකක්‌ කන්න පුළුවන් විදිහට මේ රටේ කෘෂි කර්මාන්තයක්‌ නෑ. බණ්‌ඩක්‌කා ඇටයක්‌, කැකිරි ඇටයක්‌ හදාගන්න බැරි කෘෂි කර්මාන්තයක්‌ අද තියෙන්නේ.

අගමැති දි. මු. ජයරත්න මහතා - ගොවීන්ගේ හදවතට කතා කිරීමට පුංචි දරුවෙක්‌ නළවනවා වගේ කතාකළ මන්ත්‍රීතුමා සියයට හැත්තෑපහක්‌ ගොවි ජනතාව නියෝජනය කරන ප්‍රදේශයකින් ඇවිත් ඉන්නේ. බල්ලන්ට කෑම දීම වැදගත්. හුඟාක්‌ ගෙවල්වල බල්ලෝ ඉන්නවා. පොලිසියේ ඉන්න බල්ලන්ටත් හොඳට කෑම දිය යුතුයි. බෞද්ධයන් ලෙස සත්තුන්ට කන්න දීම හොඳ දෙයක්‌.

හැරිසන් මහතා - ඇයි මිනිසුන්ගේ කෑම ගැන කතා නැත්තේ....

අගමැතිවරයා - ඔව්. ඔව්. බල්ලන්ට හොඳින් අන්දවන්නත් ඕනේ.

ගොවි විශ්‍රාම වැටුප් 1200 ගණනේ වයස හැටතුනේදී දෙන එක හොඳයි. හැටතුන හොඳයි. ලංකාවේ ජනතාවගේ වයස ඉහළට යද්දී මේවාත් ඉහළට යා යුතුයි. ලබන අවුරුද්දේ දී හැටපහ කළ යුතුයි. පහසුවෙන් ජීවත් වෙන්න සකස්‌ කිරීම තුළින් හිඟමනට පත්වෙනවා. වැඩ කළ යුතුයි. මහන්සි විය යුතුයි. නැතිනම් දියවැඩියාව හැදෙනවා. විපක්‍ෂයේ මන්ත්‍රීවරු රැසක්‌ කුඹුරකටවත් බැහැලා නෑ. දල්ලක්‌වත් කඩලා නෑ. හාල්, සීනි, පලතුරු පිටරටින් ගෙන එන එක නතර කළ යුතුයි.

මඩකලපුව දිස්‌ත්‍රික්‌ මන්ත්‍රී පොන් සෙල්වරාසා මහතා (ද්‍ර.ජා.සං.) - උතුරු නැගෙනහිර අනවසර පදිංචි කිරීම් මෙන්ම අනවසර වගාකිරීම් නිසාත් කෘෂි කර්මාන්තයේ යෙදී සිටින අයට ප්‍රශ්න මතුවෙලා. මඩකලපුව ජනතාවට තම ගොවිතැන් ආරක්‌ෂා කරගන්න බැරිවී තිබෙනවා. මේ තත්ත්වය මත මඩකලපුව වී නිෂ්පාදනය ප්‍රමාණවත් ලෙස සිදුකළ නොහැකි වේවි. මේ ප්‍රශ්නය අම්පාර, ත්‍රිකුණාමලය වගේම උතුරෙත් තියෙනවා. උතුරට අක්‌කර 6500 ක කෘෂි කර්මාන්තය කරන්න බැරි තත්ත්වයක්‌ රජය විසින් ඇතිකර තිබෙනවා.

ගම්පහ දිස්‌ත්‍රික්‌ මන්ත්‍රී අතුරලියේ රතන හිමි (එජනිස) - වගාකරන හෙක්‌ටයාර් ගණන, නෙළා ගන්නා අස්‌වැන්න වැඩි වුණත් අනෙක්‌ ක්‌ෂේත්‍රවල වැඩිවීමක්‌ දක්‌නට ලැබෙනවද... අද වන විට විශාල ලෙස බීජ ආනයනය කරනවා. ගොවීන් අත බීජ තබා ගැනීම පනතින් තහනම් කර තිබෙනවා. බීජ සඳහා අයිතිය ඉල්ලා කතා කිරීම තහනම් කර තිබෙනවා. දැනට මේ පනත කැබිනට්‌ එකට ඉදිරිපත් කර නෑ. කාගේ උවමනාවකටද මේක සැලසුම් කළේ. මේ පනත යටතේ ලංකාවේ තියෙන බීජ සියල්ල අමාත්‍යාංශයට ගන්නවා. අද යාපනයේ විශාල ලෙස ළිං ජලය අපවිත්‍ර වෙලා. කිලිනොච්චියේත් වකුගඩු රෝගය පැතිරෙමින් යනවා.

පත්කළ මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා (ප්‍ර.ජා.සං.) - අගමැති කිව්වා දොඩම්, සීනි ගෙන එන එක නතර කළ යුතුයි කියා. අපි අගමැතිතුමාට කියනවා කුඩු ගෙන එන එකත් නතර කළ යුතුයි කියා. ගොවි ජනතාවගෙන් 9,52,000 ක්‌ ගොවි විශ්‍රාම වැටුපට දායක වුණා. අනූදෙදහසක්‌ ගොවි විශ්‍රාම වැටුප ලබමින් සිටියා. තවත් පනස්‌දහසක්‌ සුදුසුකම් ලබමින් සිටියා. මෙම විශ්‍රාම වැටුප නතර කළා. හිඟ ගොවි, විශ්‍රාම වැටුප ගෙවන්න කෝටි 215 ක්‌ අවශ්‍යයි. ඒත් අයවැයෙන් වෙන්කළේ කෝටි 100 යි. හිඟ වැටුප දෙනවද... මෙතෙක්‌ ඔවුන් ලබමින් සිටි වැටුපම දෙනවද කියා කිව යුතුයි. පනතේ තියෙන්නේ වයස අවුරුදු හැටේදී ගොවි විශ්‍රාම වැටුප දෙන බව අයවැයේදී ජනාධිපති කියනවා හැටතුනේදී දෙනවා කියා. පනත උල්ලංඝනය කරලා. සංශෝධන කරන්න ඉඩ දෙන්නෙත් නෑ.

වනජීවී සංරක්‍ෂණ ඇමැති විජිත් විජයමුණි සොයිසා මහතා - අපේ සාම්ප්‍රදායික භෝග සංරක්‍ෂණය කිරීමේ වැඩපිළිවෙලකට යා යුතුයි. මීට වඩා වෙනස්‌ ආකාරයට සිතිය යුතු කාලය ඇවිත්. ගොවියාගේ සුරක්‍ෂිත භාවය රකින්න අපි කටයුතු කරනවා.

කුරුණෑගල දිස්‌ත්‍රික්‌ මන්ත්‍රී ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතා (එජාප) - මීමැස්‌සා යන්නේ රොන් සොයාගෙන. ඉහඳයා යන්නේ නරක හොයාගෙන විෂකුරු සර්පයෝ දැන් පාර්ලිමේන්තුවේ. කැලේ කපනවා. පරිසරය විනාශ වෙලා. ඉතින් සර්පයෝ එනවා. ජලය අපිරිසිදු වෙලා. බීජ පනතක්‌ ගෙන එන්න යන බව හාමුදුරුවෝ කීවා. මේවා කරන්න දෙන්න එපා.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.