ගොවි ජනතාවගේ ජීවන මට්‌ටම ඉහළ ගිහින්
- නියෝජ්‍ය ඇමැති සිරිපාල ගම්ලත්

වාරිමාර්ග හා ජල සම්පත් කළමනාකරණ ඇමැති නිමල් සිරිපාල ද සිල්වා මහතා - රඹකැන් ඔය ව්‍යාපාරය සම්පූර්ණ ශ්‍රී ලාංකීය වාරි ඉංජිනේරු තාක්‍ෂණය ඔස්‌සේ නිමකර ජනතා අයිතියට භාර දුන්නා. ඉරාණයට සම්බාධක පැනවීම නිසා උමා ඔයට ප්‍රශ්න ආවත් භාණ්‌ඩාගාර ලේකම්වරයා මුදල් වෙන්කළා. 2016 දී එය නිම කරනවා. යාපනය හා උතුරට ජලය ලබා දෙන ව්‍යාපෘති ආරම්භ කර තිබෙනවා. මිලියන 9000 කින් අපේ වැව් අමුණු 32 ක්‌ තෝරාගෙන වේලි සෑදීම සිදු කරනවා. වැව්වල ජලාශ එක ස්‌ථානයක සිට දැක ගැනීමේ ඩිජිටල් තාක්‍ෂණික ව්‍යාපෘතියක්‌ අරඹා තිබෙනවා. අවශ්‍ය ප්‍රමාණයේ ඉංජිනේරුවන්, කාර්මික ශිල්පීන් නැතිව දැවැන්ත වැඩකොටසක්‌ අප විසින් සිදුකර තිබෙනවා. වී වගාව සඳහා ගොවීන් යොමු කිරීම පමණක්‌ නොවේ අතුරු භෝග සඳහාත් ගොවි ජනතාව යොමු කිරීම මහවැළි අධිකාරියේ අරමුණ වුණා.

අප සතු ඉඩම් ප්‍රමාණයෙන් සියයට 20 ක්‌වත් අතුරුභෝග වගා කිරීමට අපි ලබන වසරේදී අරමුණු කර තිබෙනවා.

ශ්‍රියානි විඡේවික්‍රම මහත්මිය මුලසුනට පැමිණියාය.

අනුරාධපුර දිස්‌ත්‍රික්‌ මන්ත්‍රිනී චන්ද්‍රdනි බණ්‌ඩාර මහත්මිය (එජාප) - ජාතියට බත සපයන ගොවියාට මේ ආණ්‌ඩුවෙන් කුඩම්මාගේ සැලකිලි හිමි වෙනවා. රුපියල් 350 ට අද පොහොර නැහැ. රුපියල් 1300 ටවත් පොහොර නැති තත්ත්වයක්‌ තමයි රටේ තිබෙන්නේ. ආනයනික පොහොරවල ගුණාත්මකභාවය පිළිබඳ ප්‍රශ්න තිබෙනවා. වකුගඩු රෝගය නිසා අප ප්‍රදේශවල දිනකට මිනිස්‌ ජීවිත දෙක තුනක්‌ අහිමි වෙනවා. කෘෂිකර්මාන්තයට යොදාගන්නා රසායනික පොහොර, කෘමි නාශක පිළිබඳව නිසි පරීක්‍ෂණයක්‌ සිදු කළ යුතුයි.

කුරුණෑගල දිස්‌ත්‍රික්‌ මන්ත්‍රී තාරානාත් බස්‌නායක මහතා (එජනිස) - දැදුරු ඔය ව්‍යාපෘතිය තව මාස කිහිපයකින් ජනතාවට විවෘත වෙනවා. කුරුණෑගල සහ ඒ අවට ජනතාවට මේ මගින් විශාල සහනයක්‌ අත්වෙනවා. ප්‍රධාන වාරියෝජනා ක්‍රම 4 ක්‌ මා නියෝජනය කරන ආසනයේ ක්‍රියාත්මකයි. මහින්ද චින්තනය බොරු නොකර ජනතාව ආරක්‍ෂා කළා.

මඩකලපුව දිස්‌ත්‍රික්‌ මන්ත්‍රී පී. ආරියනේත්‍රම් මහතා (ද්‍රජාස) - මඩකලපුව දිස්‌ත්‍රික්‌කයේ පිළිකා රෝගය ව්‍යාප්ත වීමේ ප්‍රවණතාවය ඉහළයි. මහින්ද චින්තනය තුළින් ලැබිය යුතු ප්‍රතිලාභ උතුරු නැගෙනහිර ජනතාවට ලැබෙන්නේ නැහැ. දෙමළ ජාතික සන්ධානයේ ඉල්ලීම්වලට රජයෙන් අඩුසැලකිලි හිමිවෙනවා. රටේ සංවර්ධනයට අපි විරුද්ධ නැහැ.

ඉඩම් නියෝජ්‍ය ඇමැති සිරිපාල ගම්ලත් මහතා - ගොවි ජනතාවගේ ජීවන මට්‌ටම වසරින් වසර ඉහළ යමින් පවතිනවා. 2005 වසරේ සිට මේ තත්ත්වය ඇති වුණා. රටේ විරැකියා ප්‍රශ්නයට හොඳම විසඳුම ගොවිතැනයි. රුපියල් මිලියන 38000 ක්‌ මෙවර අයවැයෙන් ගොවියා වෙනුවෙන් වෙන් කර තිබෙනවා. රුපියල් 350 සහනාධාර පොහොර මිටිය එලෙසම ගොවියාට ලබා දෙනවා. 2005 වසරට පසුව තම ණය ගෙවා ගැනීමට නොහැකිව කිසිදු ගොවියෙක්‌ වස බිව්වේ නැහැ ඒ ගෞරවය ජනාධිපතිවරයාට හිමි විය යුතුයි.

මොණරාගල දිස්‌ත්‍රික්‌ මන්ත්‍රි රංජිත් මද්දුම බණ්‌ඩාර මහතා (එජාප) - නගර අලංකාර කිරීමට බිලියන 100 කට වඩා මේ රජයෙන් වෙන් කර තිබුණත් සියයට 40 ක්‌ වන ගොවි ජනතාව වෙනුවෙන් වෙන් කර තිබෙන්නේ බිලියන 40 කටත් වඩා අඩු ප්‍රමාණයක්‌. විශ්‍රාම වැටුප නොගෙවා ආණ්‌ඩුව මේ රටේ ගොවියටත් පොලු තියලා තිබෙනවා. උම්බලකඩ කිලෝවක්‌ ගැනීමට වී මිටියක්‌ විකුණන්න සිදු වෙලා තිබෙනවා. නුවරඑළියේ අල ගොවියා ගෙවල් දොරවල් උගස්‌ කරන තත්ත්වයට පත් වෙලා. කුරහන් සාටකය ඇඟේ දවටගෙන කුරක්‌කන් ටොන් 2000 ක්‌ වසරකට ආනයනය කරනවා.

බදුල්ල දිස්‌ත්‍රික්‌ මන්ත්‍රී රේනුක විදානගමගේ මහතා (එජනිස) - සමගි පෙරමුණ රජය යටතේ ඇති කළ ගොවිජන සේවා මධ්‍යස්‌ථාන නවීකරණය කිරීම සඳහා රජය අවධානය යොමු කර තිබෙනවා. ඒ සඳහා අයවැයෙන් මුදල් වෙන් කර තිබෙනවා.

පුත්තලම දිස්‌ත්‍රික්‌ මන්ත්‍රී පාලිත රංගෙ බණ්‌ඩාර මහතා (එජාප) - කෘෂිකර්මයට සම්බන්ධ ඇමැතිවරු 10 යි. නියෝජ්‍ය ඇමැතිවරු 10 යි. සහ පළාත් ඇමැතිවරු 9 ක්‌ ලෙස ඇමැතිවරු 29 ක්‌ ඉන්නවා. මෙච්චර ඇමැතිවරු ඉඳලා කෘෂිකර්මාන්තයට අත් වෙලා තිබෙන ඉරණම කුමක්‌ද මහින්ද චින්තනයේ ජල සහ කෘෂි ව්‍යාපෘති බොහෝමයක්‌ පොතට පමණක්‌ සීමා වෙලා. ගොවියා ගොනාට අන්දන්න ආණ්‌ඩුව කටයුතු කරනවා. සහනාධාර පොහොර මිටියෙන් ආණ්‌ඩුව ගසා කනවා.

වැය ශීර්ෂ සම්මත විය. කාරක සභා අවස්‌ථාවේ විවාදය අද (11 දා) පෙරවරු 9.30 දක්‌වා කල් තැබිණි.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.