එජාප මහා සම්මේලනයට විශේෂ යෝජනා 04 ක්‌

අකිත පෙරේරා

ලබන 21 වැනිදා පැවැත්වීමට නියමිත එක්‌සත් ජාතික පක්‍ෂයේ මහා සම්මේලනයට, විශේෂ යෝජනා හතරක්‌ ගෙන ඒමට පක්‍ෂයේ කෘත්‍යාධිකාරී මණ්‌ඩලය ඊයේ (10 දා) අනුමැතිය ලබා දෙන ලදී.

එක්‌සත් නායකත්ව මණ්‌ඩලය නීතිමය තත්ත්වයක්‌ ලබාදීම, විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම, ජීවන බර හෑල්ලු කරන ලෙස ආණ්‌ඩුවට බල කිරීම, එක හඬකින් යුතුව පක්‍ෂයේ මතය කීම, යන මෙම විශේෂ යෝජනා හතරට අනුමැතිය හිමිවූ බව එජාප මාධ්‍ය ප්‍රකාශක ගයන්ත කරුණාතිලක මහතා "දිවයින"ට පැවසීය.

මේ අතර එජාප නායකත්ව මණ්‌ඩලය විසින් ගෙන ඇති ක්‍රියාමාර්ග සම්බන්ධව එහි සභාපති කරු ජයසූරිය මහතා විසින් ඊයේ කෘත්‍යාධිකාරි මණ්‌ඩලයට වාර්තාවක්‌ ඉදිරිපත් කොට ඇති අතර "ජනජය" නමින් දින 100 ක පක්‍ෂ ප්‍රතිසංවිධාන වැඩසටහන ක්‍රියාත්මක කිරීමටද අනුමැතිය හිමිව ඇත.

ලබන වසර (2014) ආණ්‌ඩුව පළවාහරින වසර ලෙසට නම් කොට දිගින් දිගටම ආණ්‌ඩුවට විරෝධී උද්ඝෝෂණ සංවිධාන ක්‍රියාත්මක කිරීමටද පක්‍ෂ කෘත්‍යාධිකාරී මණ්‌ඩලය තීරණය කළ බවත් ගයන්ත කරුණාතිලක මන්ත්‍රීවරයා වැඩිදුරටත් කීය.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.