දකුණේ පොලිස්‌ නිලධාරීන්ගේ පැටිකිරිය ගැන කොමිසමට පැමිණිලි

ලකී වෛද්‍යසේකර - අම්බලන්ගොඩ අතිරේක

දකුණු පළාතේ පොලිස්‌ නිලධාරීන් 73 දෙනකු සම්බන්ධයෙන් ජාතික පොලිස්‌ කොමිසමට පැමිණිලි ලැබී ඇතැයි කොමිසමේ දකුණු පළාත් අධ්‍යක්‍ෂ ජී. හේවාවිතාරණ මහතා පැවැසීය.

මෙයින් 42 ක්‌ම ගාල්ල දිස්‌ත්‍රික්‌කයේ කරන්දෙණිය හා යක්‌කලමුල්ල පොලිස්‌ නිලධාරීන් සම්බන්ධව වන අතර මාතර දිස්‌ත්‍රික්‌කයේ පොලිස්‌ නිලධාරීන් 20 දෙනකුට විරුද්ධවද හම්බන්තොට දිස්‌ත්‍රික්‌කයේ පොලිස්‌ නිලධාරීන් 11 දෙනකුට විරුද්ධවද මෙසේ පැමිණිලි ලැබී ඇතැයි හේවාවිතාරණ මහතා පවසයි.

මෙම පැමිණිලිවලින් වැඩි හරියක්‌ බලය අයුතු ලෙස පාවිච්චි කිරීම, පක්‍ෂග්‍රාහීවීම, උදාසීන ලෙස රජකාරි කටයුතු ඉටුකිරීම, අයුතු ලෙස සැකකරුවන් රඳවා තබා ගැනීම ආදිය සම්බන්ධයෙන් බව හේවාවිතාරණ මහතා පවසයි. මෙම පැමිණිලි 55 ක විමර්ශන කටයුතු මේ වනවිට නිම කොට ඇති අතර අවශ්‍ය පියවර ගැනීම පිණිස ජාතික පොලිස්‌ කොමිසමේ ප්‍රධාන කාර්යාලයට යවා ඇතැයි පැවැසේ.

ඒ අනුව චෝදනා ඔප්පු වුවහොත් එම පොලිස්‌ නිලධාරීන් මාරු කිරීම, වැඩතහනම් කිරීම හා සේවයෙන් පහ කිරීමටද භාජනය වනු ඇති බව හේවාවිතාරණ මහතා පවසයි.

 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.