දිවා සුරැකුම් මධ්‍යස්‌ථානයේදී වසර 2ක්‌ පුරා
71 හැවිරිදි මහල්ලාගෙන් 9 හැවිරිදි දැරියට අතවර


මීගමුව සමූහ - විමල් කීර්ති

දෙමාපියන් විරසකවී මව විදේශගතවීම නිසා දිවා සුරැකුම් මධ්‍යස්‌ථානයක ආරක්‌ෂාව සඳහා නේවාසිකව රඳවා සිටි 9 හැවිරිදි දැරියක්‌ පුරා වසර දෙකක්‌ ලිංගික අපයෝජනයට ලක්‌කිරීම සම්බන්ධයෙන් චෝදනා ලබා රිමාන්ඩ් භාරයේ පසුවූ එම දිවා සුරැකුම් මධ්‍යස්‌ථානය භාරකාරියගේ 71 හැවිරිදි මහලු පියා දැඩි ඇප කොන්දේසි මත රුපියල් 10,000 ක මුදල් ඇප සහ රුපියල් ලක්‍ෂ දෙකක ශරීර ඇප මත රිමාන්ඩ් භාරයෙන් මුදා හැරීමට මීගමුව ප්‍රධාන මහෙස්‌ත්‍රාත් ඒ. එම්. එන්. පී. අමරසිංහ මහතා නියෝග කළේය.

රිමාන්ඩ් භාරයේ සිට ඇප නියමවූ සැකකරු වූයේ කොටුගොඩ ඕපාත පදිංචි පී. එම්. ඩී. පියසේන නමැති 71 හැවිරිදි අයෙකි. එම සැකකරුට එරෙහිව ජා - ඇල පොලිසිය මගින් ඉදිරිපත් කළ පැමිණිල්ල අනුව සැකකරුගේ ලිංගික අපයෝජනයට ලක්‌වූ දැරිය මිහින්තලය කුරුන්දකුලම ප්‍රදේශයේ පදිංචිකාරියකි. ඇගේ දෙමාපියන් විරසකවීම නිසා ඇගේ මව විදේශගතවී ඇත. ඇය විදේශගතවීමට ප්‍රථම තම දියණිය දිවා සුරැකුම් මධ්‍යස්‌ථානයකට රැකවරණය සඳහා භාරදී ඇත. එම දැරිය එම දිවා සුරැකුම් මධ්‍යස්‌ථානයේ නේවාසිකව ගත කර ඇත. ඒ අතර ඇය රාගම ප්‍රදේශයේ පාසලකට ඉගෙනීම සඳහා ගොස්‌ ඇත. මෙම දිවා සුරැකුම් මධ්‍යස්‌ථානයේ භාරකාරිය ජා- ඇල ඒකල විශාකාවත්තේ පදිංචිව සිටින අතර ඇය විසින් ළමුන් සඳහා දිවා සුරැකුම් මධ්‍යස්‌ථානයක්‌ පවත්වාගෙන ගොස්‌ ඇත.

පොලිස්‌ විමර්ශනවලදී අනාවරණය වූ කරුණු අනුව දිවා සුරැකුම් මධ්‍යස්‌ථානයේ භාරකාරියගේ පියාවන සැකකරු දැරියට අවුරුදු 7 ලැබූ අවස්‌ථාවේ සිට අවුරුදු 9 දක්‌වා කාලය තුළ අඛණ්‌ඩව ලිංගික අපයෝජනයට ලක්‌කොට ඇත. ඒ බව අධිකරණය වෙත ඉදිරිපත් කළ පැමිණිල්ලේ සඳහන් වේ. මෙම අපචාර ක්‍රියාවේ තොරතුරු අනාවරණය වී ඇත්තේ අතවරයට පත් දැරිය ඒ බව තම සොහොයුරියක්‌ වෙත පැවැසීම නිසාය. ජා-ඇල පොලිසිය පැමිණිල්ල මෙහෙය වීය. වැඩිදුර විභාගය 2014 මාර්තු මස 19 වැනි දින පැවැත්වේ.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.