ඇඟේ විෂ ඉවත් කරන්නම් කියා තරුණියට අතවර කළ කපුවා අත්අඩංගුවට

සීගිරිය විශේෂ

දඹුල්ල - රත්මල්ගහ ඇල ප්‍රදේශයේ පවත්වා ගෙන ගිය දේවාලයකට ශාන්ති කර්මයක්‌ සඳහා පැමිණි 16 හැවිරිදි තරුණියකට අතවර කිරීමේ චෝදනාවට දේවාලයේ තරුණ කපුවෙකු දඹුල්ල පොලිසිය මගින් 9 දා රාත්‍රියේ අත්අඩංගුවට ගෙන ඇත.

එම ප්‍රදේශයේම පදිංචි තරුණියක්‌ අතවරයට පත්ව ඇත. ඇය වෛද්‍ය පරීක්‍ෂණයක්‌ සඳහා දඹුල්ල රෝහලට ඇතුළත් කර ඇත.

අත්අඩංගුවට ගත් කපුවා මීට පෙර කන්දකැටිය, පේරලන්ද ප්‍රදේශයේද දේවාලයක්‌ පවත්වා ගෙන යන මුවාවෙන් නිධානයක්‌ ලබා ගැනීමේ සිද්ධියකට අත්අඩංගුවට පත් සැකකරුවන් පිරිසක පස්‌ වැන්නා වන බවද පොලිස්‌ පරීක්‍ෂණවලදී අනාවරණය වී ඇත.

සැකකරු තවත් අපරාධ චෝදනා රැසකට සම්බන්ධ බවට පොලිසිය පවසා ඇති අතර ඒ සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර ඇති බවද පවසයි.

අතවරයට පත් තරුණියට කාම කාලි දිෂ්ටියකින් විෂක්‌ ශරීර ගත ඇති බවත් ඊට ශාන්ති කර්මයක්‌ කළ යුතු බවක්‌ කපුවා තරුණියට පවසා ඇත. තරුණිය අඹු කමට ගෙන සිටි තරුණයාට මේ බව දැනුම් දීමෙන් පසු ශාන්ති කර්මය මීට දෙසතියකට පෙර රාත්‍රී 10.00 ට ආරම්භ කර ඇත.

කාලි අම්මා දිෂ්ටියෙන් මායම් වී ඇති කපුවා දෙහි කපමින් ශාන්ති කර්මය සිදුකරන අතරතුර පවසා ඇත්තේ සිරුරට ඇතුල් වී ඇති විෂ ඉවත් කිරීමට කන්ඩලම වැවෙන් ජලය රැගෙන එන ලෙස තරුණයාට පවසා ඇත. ඒ අනුව තරුණයා කණ්‌ඩලම වැවට ගොස්‌ ඇත. දේවාලයේ කපුවා හා තරුණිය පමණක්‌ සිට ඇත. සිරුරේ තිබෙන විෂ ඉවත් කිරීමට ස්‌පර්ශ කළ යුතු බව පවසා තමාට අතවර කළ බව තරුණිය පොලිසියට පවසා ඇත.

තරුණිය අඹුකමට ගත් තරුණයා ද පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ඇප මත මුදා හැර ඇත.

දඹුල්ල සහකාර පොලිස්‌ අධිකාරී කේ. ජී. ඥානසේන මහතාගේ උපදෙස්‌ මත වැඩබලන මූලස්‌ථාන පොලිස්‌ පරීක්‍ෂක ඒකනායක, නොවිසඳුනු අපරාධ ඒකකයේ ස්‌ථානාධිපති ඡේ. ඇලෝසිස්‌ ළමා හා කාන්තා කාර්යාංශයේ ස්‌ථානාධිපති ප්‍රමිලා වනිගසේකර, ඩී. එම්. ජයසිංහ (කා. පො. කො.) යන අය පරීක්‍ෂණ සිදු කරති.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.