ප්‍රධාන ජලාශ සහ මධ්‍යම ජලාශවල ජල මට්‌ටම නගී

මාතලේ විශේෂ - නිමල් ගුණතිලක

දිවයිනේ ප්‍රධාන ජලාශ සහ මධ්‍යම ජලාශවල ජල මට්‌ටම (5 දා) වන විට සියයට 42 ක්‌ දක්‌වා ඉහළ ගොස්‌ තිබෙන බව වාරිමාර්ග අධ්‍යක්‍ෂ ජානකී මීගස්‌තැන්න මහත්මිය කියයි.

ඉකුත් සතියේදී ජලාශවල ජල ධාරිතාව සියයට 37 ක්‌ව තිබිණි. ප්‍රධාන ජලාශ 72 ක සහ මධ්‍යම ජලාශ 160 ක ජලධාරිතාව සියයට 5 කින් ඉහළ ගොස්‌ තිබෙන බවද අධ්‍යක්‍ෂ ජානකී මීගස්‌තැන්න මහත්මිය පැවසුවාය.

මඩකලපුව දිස්‌ත්‍රික්‌කයට පෙරේදා (4 දා) මිලි මීටර් 70 ක වැසි ලැබී ඇති අතර එම දිස්‌ත්‍රික්‌කයේ ජලාශවල ජල මට්‌ටම ඉහළ ගොස්‌ ඇත. සෙසු ජලාශ පවතින දිස්‌ත්‍රික්‌කවලට මිලි මීටර් 30 ක්‌ හෝ ඊට අඩු වැසි ප්‍රමාණයක්‌ ලැබීම නිසා ජලාශ ජලයෙන් පිරී යැම අඩු මට්‌ටමක පවතින බවද වාරිමාර්ග දෙපාර්තමේන්තුව කියයි.

ප්‍රධාන ජලාශ, මධ්‍යම ජලාශ යටතේ 2013-2014 මාස්‌ කන්නයේ වී වගාව සඳහා වගා බිම් ප්‍රමාණයෙන් සියයට 90 ක්‌ සඳහා ඊයේ වන විට ජලය නිකුත් කිරීම සිදු වෙමින් පවතින බවත් සියයට 10 ක්‌ සඳහා මෙතෙක්‌ ජලය නිකුත් කිරීමට නොහැකිවී තිබෙන බවත් දෙපාර්තමේන්තුව කියයි.

පදවිය, අනුරාධපුරය, මහකනදරාව, නාගදීප, මොරවැව, මහදිවුල්වැව, තබ්බෝව, ඉඟිනිමිටිය, මීඔය පද්ධතියේ අඹකොළවැව, අතරගල්ල, පාතකඩවල ජලාශ යටතේ මෙතෙක්‌ වී වගාවට ජලය නිකුත් කිරීමට නොහැකිවී ඇති බවද පැවසීය.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.