"HNB" නැණ පුබුදුව පුස්‌තකාල ව්‍යාපෘතියෙන් රුපියල් මිලියන 25ක පොත් සහ උපකරණ

ශ්‍රී ලාංකේය මූල්‍යක්‍ෂේත්‍රයේ ඉදිරියෙන්ම සිටින පෞද්ගලික බැංකුවක්‌ වන හැටන් නැෂනල් බැංකුව (HNB) මෙරට ජනතාවගේ දියුණුව වෙනුවෙන් සිදු කරන සමාජ සත්කාරක ක්‍රියාවලියේ තවත් පියවරක්‌ පසුගියදා නිමාව දුටුවේය. 2013 නොවැම්බර් මස 19 වන දිනයේ දී මෙරට අඩු පහසුකම් සහිත පාසල් 200 ක්‌ සඳහා රුපියල් මිලියන 25 ක වටිනාකමකින් යුත් පොත්පත් සහ පුස්‌තකාල උපකරණ බෙදාදීම සිදු කෙරුණි. මෙහිදී අඩුපහසුකම් සහිත පාසල්වල ඉගෙනුම ලබන දරුදැරියන්ගේ අධ්‍යාපනය දියුණු කිරීමත්, විවිධ වූ විෂයක්‍ෂේත්‍ර ඔස්‌සේ ඔවුන්ට ස්‌වයං අධ්‍යයනයක යෙදීමේ පහසුකම් සැලසීමත්, එමගින් මෙරට අනාගත පරපුර දැනුමින් සන්නද්ධ වෘත්තිකයන් පිරිසක්‌ බවට පත්කිරීමත් මෙම ක්‍රියාන්විතයේ මූලික අරමුණ ලෙස හැඳින්විය හැකිය. 2005 වසරේ සිට අඛණ්‌ඩව ක්‍රියාත්මක වන "HNB නැණ පුබුදුව" පාසල් පුස්‌තකාල සංවර්ධන වැඩසටහනට සමගාමීව සිදු කෙරුණු මෙම පොත්පත් සහ පුස්‌තකාල උපකරණ බෙදාදීමේ වැඩසටහන ක්‍රියාත්මක වූ අතර පසුගිය කාල වකවානුව තුළදී මෙරට අඩුපහසුකම් සහිත පාසල් විශාල සංඛ්‍යාවක්‌ සඳහා පුස්‌තකාල පහසුකම් හා පරිගණක පහසුකම් ලබා දී තිබේ.

මෙම අවස්‌ථාවට හැටන් නැෂනල් බැංකුවේ කළමනාකාර අධ්‍යක්‍ෂ හා ප්‍රධාන විධායක නිලධාරි ජොනතන් අලස්‌ මහතා සහ සහකාර සාමාන්‍යාධිකාරී චිරන්ති කුරේ මහත්මිය අතින් පාසල් දරුදැරියන් වෙත පොත් ප්‍රදානය සිදු විය.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.