විකිරණ තාක්‍ෂණවේදීහු ලෙඩින්:
පරීක්‍ෂණ 500ක්‌ අවලංගු වෙයි


ඒමන්ති මාරඹේ

දිවයින පුරා සියලු රජයේ රෝහල්වල සේවය කරන විකිරණ විද්‍යා තාක්‍ෂණවේදීන් (රේඩියෝ ග්‍රැµර්ස්‌) විසින් ඊයේ (12 දා) ලෙඩ නිවාඩු මත සේවයට වාර්තා නොකිරීම හේතුවෙන් රෝහල්වල සිදුකෙරෙන එක්‌ස්‌කිරණ, සී. ටී. ස්‌කෑන්, එම්. ආර්. අයි., එන්ජියෝග්‍රෑම් ඇතුළු විකිරණ පරීක්‍ෂණ 500 කට අධික සංඛ්‍යාවක්‌ අවලංගු කෙරුණු බව රෝහල් ආරංචි මාර්ග පැවසීය.

වෙනත් වෘත්තීය සමිති ක්‍රියාමාර්ගවලදී මානුෂීය හේතූන් මත වර්ජනයට එක්‌කර නොගන්නා මහරගම පිළිකා රෝහලේද විකිරණ විද්‍යා තාක්‍ෂණවේදීන් ලෙඩ නිවාඩු වාර්තා කිරීම හේතුවෙන් එම රෝහලේ සිදු කෙරෙන සියලු විකිරණ පරීක්‍ෂණයන්ද නතර වී තිබිණි. මෙම තත්ත්වය මත ඊයේ එම විකිරණ පරීක්‍ෂණයන්ට මුහුණ දීමට නියමිතව සිටි හෘද, පිළිකා ඇතුළු රෝගීන් විශාල පිරිසක්‌ දැඩි අසීරුතාවකට පත්ව සිටි බව රෝහල් ආරංචිමාර්ග සඳහන් කළේය.

විශේෂයෙන්ම හෘද රෝගීන්ට හදවත් සැත්කම් සිදු කිරීමට පෙර කරනු ලබන එන්ජියෝ ග්‍රෑම් පරීක්‍ෂණයන් 60 ක්‌ පමණ ඊයේ නොකෙරුණි. අසාධ්‍ය රෝගීන්ට සිදුකෙරෙන හදිසි විකිරණ පරීක්‍ෂණයන් පමණක්‌ සාමාන්‍ය පරිදි සිදු කෙරුණු බව රජයේ විකිරණ විද්‍යා තාක්‍ෂණවේදීන්ගේ සංගමය පවසයි.

මෙම ලෙඩ නිවාඩු දැමීමේ ක්‍රියාමාර්ගය අද (13 දා) උදැසනට 8.00 ට අවසන් කෙරේ. දැනට රජයේ රෝහල්වල පවතින විකිරණ විද්‍යා තාක්‍ෂණවේදීන්ගේ උග්‍ර හිඟය විකිරණ විද්‍යා තාක්‍ෂණවේදී උපාධිධාරීන්ගෙන් නොපුරවා අ.පො.ස. උසස්‌ පෙළ සමතුන් පුහුණුවට බඳවාගෙන එම හිඟය පිරවීමට සෞඛ්‍ය අමාත්‍යාංශය ගෙන යන වැඩපිළිවෙළට විරෝධය පාමින් මෙම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය දියත් කළ බව එම සංගමය කියයි.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.