නාථ දෙවියන් මියගොස්‌ ද?

පසුගිය දා "උගත් ගැමි" මැදිවියේ ජ වි පෙ මන්ත්‍රී අනුර දිසානායක පාර්ලිමේන්තුවේ දී නාථ දෙවියන් ආසනික්‌ ගැන දැනගත්තේ කෙසේ ද යන ප්‍රශ්නය ඇසීය. ඔහුට අනුව ආසනික්‌ ගැන දැනගෙන ඇත්තේ පසුවය. එසේ පසුව දැනගත් ආසනික්‌ ගැන නාථ දෙවියන්ට දැනුමක්‌ නොතිබිය හැකිය යන්න ඔහුගේ ප්‍රශ්නයෙන් ගම්‍ය විය. මෙයින් ඔහු අදහස්‌ කළේ නාථ දෙවියන් මිය යැමෙන් පසුව ලෝකයා ආසනික්‌ ගැන දැනගත් බව ද? ආසනික්‌ සම්බන්ධ ප්‍රශ්නයේ දී නාථ දෙවියන් යනුවෙන් හැඳින්වෙන්නේ කවුරුන් වුව ද (ඒ මෛත්‍රී බෝසතාණන් වහන්සේ නම් නොවේ) ඔහු අදාළ භවයෙන් චුත වී නැත. අනුර දිසානායකට සංකල්ප පැටළවී ඇත. මෛත්‍රී බෝසතාණන් වහන්සේ ද තවමත් දෙව්ලොවින් චුත වී නැත. අනෙක්‌ අතට ආසනික්‌ යන්න සිංහලයන්ට අලුත් වුවත් ඔවුහු පාසානම් නමින් එය ඈත අතීතයේ සිට දනිති. නාථ දෙවියන් යනු කවුරුන් වුව ද ඔහු ද පාසානම් නමින් හඳුන්වනු ලැබූ කාලයේ සිට ආසනික්‌ ගැන දන්නා බව නිසැකය. අනුර දිසානායකලා අද වන විට කෙතරම්දුරට සිංහල බෞද්ධ සංස්‌කෘතියෙන් ඈත් වී තිබේ ද යන්න මෙයින් පැහැදිලි වෙයි.

මා නාථ දෙවියන් ගැන දැනගත්තේ ප්‍රියන්තා සේනානායක මහත්මියගෙනි. මගේ දැනුම අනුව ආසනික්‌ හා සම්බන්ධ නාථ දෙවියන් යනු මනුෂ්‍ය නොවන ප්‍රාණියෙකි. ඔහුට දෙවියන් යෑයි කීව ද ඒ භූතයකු විය හැකි ය. එහෙත් මට එය ප්‍රශ්නයක්‌ නොවේ. මට අවශ්‍ය වූයේ දැනුම ලබාගැනීමට (නිර්මාණය කිරීමට) ඊනියා බටහිර විද්‍යාත්මක ක්‍රමය හැරෙන්නට වෙනත් ක්‍රම ඇති බව ද ජනතාවට පැවසීම ය. එසේ කීම එක්‌ අතකින් වැරදිය. මෙරට ජනයා මා නොකීවාට අවුරුදු දහස්‌ ගණනක්‌ තුළ පංෙච්න්ද්‍රියන්ට සීමා නොවූ විවිධ ක්‍රම මගින් දැනුම ලබාගෙන ඇත. මා කර ඇත්තේ ජනතාවගෙන් යමක්‌ ඉගෙන එය තහවුරු කිරීම පමණ ය. සුද්දෝ අපට ඊනියා විද්‍යාත්මක විධික්‍රමයක්‌ ගැන කියා භූතයන් යනු මිථ්‍යාවන් යෑයි ද භූතයන්ගෙන් දැනුම ලබාගැනීමට නොහැකි යෑයි ද පවසති. සුද්දන්ගෙන් ඉගෙන ගත හැකි නම් භූතයන්ගෙන් ඉගෙන ගත නොහැක්‌කේ මන්දැයි මට නොවැටහෙයි. වඩා භයානක සුද්දා ද භූතයා ද? සුද්දාට හසු වූ කල බොහෝ අයට ගැලවීමක්‌ නැති බව මෙරට නිවට පුහු උගතුන්ගෙන් පැහැදිලි වෙයි. සිංහල බෞද්ධ සංස්‌කෘතියේ ජීවත්වන මට සුද්දාගෙන් ද භූතයාගෙන් ද ගැලවිය හැකි ය. මට තවමත් ගැලවීමක්‌ නැත්තේ මගෙනි. ජනප්‍රිය ගීතයක අදහසක්‌ අවශෝෂණය කරගෙන මට මගේම නොවන මගේ මමක්‌ ඇතැයි කිව හැකිය. ඉන් ගැලවීමට අඩුම තරමෙන් සාරාසංඛ්‍ය කල්ප ලක්‌ෂයක්‌ පෙරුම් පිරිය යුතු ය. වයස අවුරුදු දහහතරේ දී සුද්දාට හසු වූ මට සුද්දාගෙන් ගැලවීමට නම් අවුරුදු විස්‌සකට වඩා නොගියේය. භූතයාගෙන් ගැලවීමට එතරම් කලක්‌වත් නොගියේ ය. එහෙත් අවශ්‍ය වූ විට සුද්දාගෙන් ද භූතයාගෙන් ද දැනුම සිංහල බෞද්ධ සංස්‌කෘතියට අවශෝෂණය කරමි.

අපට නාථ දෙවියන් නමින් හැඳින්වෙන අය මුණගැසුනේ බටහිර විද්‍යාවට හා එහි තාක්‌ෂණික අංගයක්‌ පමණක්‌ වූ බටහිර වෛද්‍ය විද්‍යාවට කෘෂි රසායනික වකුගඩු රෝගයට හේතුව කුමක්‌ දැයි කීමට නොහැකි වූ අවස්‌ථාවක ය. මේ රෝගයට ප්‍රතිකාරයක්‌ බටහිර වෛද්‍ය විද්‍යාවෙහි නැත. පසුගියදා රජයේ (බටහිර) වෛද්‍ය නිලධාරී සංගමය විසින් පවත්වන ලද සම්මන්ත්‍රණයක දී ඇතැම් බටහිර වෛද්‍යවරුන් පවසා ඇත්තේ කෘෂි රසායනික වකුගඩු රෝගයට ප්‍රතිකාරයක්‌ ඔවුන්ට, එනම් ඔවුන්ගේ ස්‌වාමී සුද්දන්ට ඇති බව ය. ඔවුන්ට අනුව ඒ වකුගඩු බද්ධ කිරීම ය. දහස්‌ ගණන් රෝගීන්ට බද්ධ කිරීමට වකුගඩු කඩේ ඇතැයි ඔවුන් සිතනවා විය හැකිය. එහෙත් මේ දොස්‌තරලා ද නො(දත්) දොස්‌තරලා නොදන්නා දේ නම් අවයව බද්ධකිරීම යන්න සමස්‌තය යනු කොටස්‌වල එකතුව යෑයි සිතන නිව්ටෝනීය යාන්ත්‍රික දර්ශනයෙන් ගලා එන්නක්‌ බව ය, මේ අමතර කොටස්‌ සංකල්පය ක්‌වොන්ටම් යාන්ත්‍රිකයේ පැටලීම (එන්ටැන්ගල්මන්ට්‌) යන ෂ්රොඩිංගර්ගේ අවුරුදු හැත්තෑවකට පැරණි සංකල්පයෙන් ඉවත් කෙරී ඇති බව ය. පට්‌ටපල් බොරු වූ බටහිර වෛද්‍ය විද්‍යාව, පට්‌ටපල් බොරු වූ බටහිර භෞතික විද්‍යාව පසුපස නොන්ඩි ගසයි. සේවාර්ජිත දන්ත වෛද්‍ය මහාචාර්ය අශෝක අමරතුංග බටහිර විද්‍යාව අසත්‍ය යෑයි ඔප්පුකරන ලෙස විදුසර පුවත්පත මගින් මගෙන් ඉල්ලා ඇත. ඔහු ඔප්පුකිරීම, සත්‍යය ආදියෙන් කුමක්‌ අදහස්‌ කරන්නේ දැයි නොදනිමි. එහෙත් පට්‌ටපල් බොරු වූ බටහිර විද්‍යාව සත්‍ය යෑයි ඔප්පු කළ හැකි කිසිවකු වේද? බටහිර විද්‍යාවෙහි කෙරෙන්නේ පංෙච්න්ද්‍රියයන්ට ගෝචර සංසිද්ධි තේරුම් ගැනීමට යෑයි කියමින් පට්‌ටපල් බොරු වියුක්‌ත කතන්දර ගෙතීම පමණකි. නිව්ටන්ගේ ගුරුත්වාකර්ෂණ බලය යන්න මොන තරම් පට්‌ටපල් බොරුවක්‌ දැයි අශෝක අමරතුංග නොදනියි.

නාථ දෙවියෝ අපට කෘෂි රසායනික වකුගඩු රෝගයට හේතුව ආසනික්‌, කිවුල් ජලය හා ආසනික්‌ මිතුරු පස්‌ බව කියා දුන්හ. කැඩ්මියම් එහි දී උත්ප්‍රේරකයක්‌ ලෙස ක්‍රියා කරයි. අපි ඒ බව ජනතාවට කීවෙමු. කැනඩාවේ ජීවත්වන මට කෙදිනකවත් මුණ ගැසී නොමැති චන්ද්‍රසිරි ධර්මවර්ධන නම් මහාචාර්යවරයකු විද්යුත් තැපෑල මගින් මා ආසනික්‌ ගැන කීවේ ඊනියා පාරභෞතික ක්‍රමවලින් බවත් මහාචාර්ය පරණගම මහත්මිය ඇතුළු කිහිප දෙනකු එය බටහිර විද්‍යාත්මකව තහවුරු කිරීමට උත්සාහ ගත් බවත් සඳහන් කරයි. ඔහුගේ පාරභෞතිකය පිළිබඳ අර්ථ දැක්‌වීම කෙසේ වුවත් කිසිවකුට අනුව ගුරුත්වාකර්ෂණය ද වෙනත් වියුක්‌ත ප්‍රවාද ද පාරභෞතික ය. ඔහු පරණගම මහත්මියගෙන් අසා දැනගෙනත් එහෙත් නොකියන දෙය නම් කැලණිය විශ්වවිද්‍යාලයේ කණ්‌ඩායම ආසනික්‌ පර්යේෂණ කළේ මගේ මූලිකත්වයෙන් බවත් මා සේවයෙන් ඉවත්වීමෙන් පසුව ඒ පර්යේෂණ නැවතුනු බවත් ය. අපි ආසනික්‌ පිළිබඳ දැනගැනීමෙන් පසුව ඔහු වැන්නන්ට ඒත්තු ගැන්වීම සඳහා කැලණිය විශ්වවිද්‍යාලයේ පර්යේෂණ ඇරඹීමු. එහෙත් තවමත් බටහිර වෛද්‍ය විද්‍යාවට අනුව කෘෂි රසායනික වකුගඩු රෝගයට හේතුව දැනගැනීමට නැත. ඔවුන් ඒ දැනගන්නා තෙක්‌ අප කළ යුත්තේ රෝගීන් මිය යැමට සැලැස්‌වීම ද? එක්‌ කුහක දොස්‌තරවරයකු තමා සෞඛ දෙපාර්තමේන්තුවේ ප්‍රකාශකයකු බව පවසමින් ලෝක සෞඛ සංවිධානයේ වාර්තාවකට අනුව යෑයි කියමින් රෝගයට හේතුව ආසනික්‌ නොව කැඩ්මියම් බව ප්‍රකාශ කළේ අපට නිග්‍රහ කිරීමට ය. එහෙත් ඔහු වාර්තාවක්‌ ලෙස නම් කළේ හතර දෙනකු විද්යුත් සඟරාවක පළකළ පත්‍රිකාවකි. ලෙඩා මළත් හේතුව ආසනික්‌ නොවේ නම් බඩ සුද්ද ය. ලෝක සෞඛ්‍ය සංවිධානය හෝ වෙනත් කිසිවකු හෝ කිවුල ගැන නොකියද්දී ආණ්‌ඩුව නාථ දෙවියන්ගේ කීම මත පදනම්ව කිවුල නැතිකිරීමට ජල පෙරණ සවිකිරීමට තීරණය කර ඇත. එහෙත් කෘෂි රසායන ගොවිතැනෙන් ඉවත් නොකර පෙරණ සවිකිරීම හෝද හෝදා මඩේ දැමීමකි. ආණ්‌ඩුව වැව් ප්‍රතිසංස්‌කරණය කර ජලය බෙදාදීමට ක්‍රමයක්‌ සකස්‌ කළ යුතු ය. එමෙන් ම වැව් තාවුලුවල මිරිකුළු (මුරුංගා) වැනි ශාක වගා කිරීමටත් කෘෂිරසායන ගෙන්වීම ක්‍රමයෙන් නවතා දේශීය පොහොර යොදා ගැනීමටත් ගොවි මහතුන් උනන්දු කළ යුතු ය. ආණ්‌ඩුව බටහිර වෙදකමට වෙන් කරන මුදලෙන් ඉතා සුළු කොටසක්‌ වියදම් කර වෙදමහත්වරුන්ට අදාළ ප්‍රදේශවල වෙදකම් කිරීමට පහසුකම් සලස්‌වන්නේ නම් රෝගීන් සුවකළ හැකි ය. විදේශ විනිමයත් ඉතිරිකර ගත හැකි ය.

 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.