ශ්‍රී ලංකාවේ කින්නර ජනයා

සුනිල් කුමාරසිංහ අතුකෝරල
athukorala128@gmail.com

''මහා ජාතියක්‌ අතර සිටින කුඩා වර්ගයක්‌ ගෝත්‍ර නමින් හැඳින්විය හැක. කුලය නොවේ, ද්‍රවිඩ යනු ජාතියකි. ඒ ද්‍රවිඩයන් අතරම සිටින මලයාලි, තෙලිඟු, කර්ණාට යන කණ්‌ඩායම් ගෝත්‍ර නම් වේ. ලංකාවේ සිටින වැදි, රොඩී, කින්නර යන මිනිස්‌සු ගෝත්‍රවලට අයත් වෙති. සාමාන්‍යයෙන් රොඩී, කින්නර වර්ග හඳුන්වනු ලබන්නේ කුල වශයෙනි. එහෙත් ඒ වැරදි හැඳින්වීමකි. ගෝත්‍රයක්‌ ඇති වන්නේ යම්කිසි ජාතියක්‌ ප්‍රකෘතිය කොට ගෙනය. ගෝත්‍රයක්‌ මහා ජාතිය කතා කරන භාෂාවම කතා කරන බවක්‌ නොපෙනේ. මලයාලීහු (කොච්චි), ද්‍රවිඩ ගණයට අයත් වුවත් කතා කරන්නේ අමුතු භාෂාවකි. සමහර ජාතීන් අතර එකම භාෂාව කතා කරන ගෝත්‍ර සිටිය හැකියි. කින්නරයන් මෙනි. කින්නරු සිංහල භාෂාව කතා කරති. කින්නරු සිංහල වර්ගයක්‌ නොවෙතියි විශේෂඥයෝ කියති. එහෙත් රොඩීත්, වැද්දොත් අමුතුම භාෂාවක්‌ ව්‍යවහාර කරන්නාහුය. යම් කිසි ජාතියකට අයත් විශාල පිරිසක්‌ තවත් ජාතියකට අයත් පිරිසක්‌ සමඟ මිශ්‍රවීමෙන් ගෝත්‍ර ඇති වෙන බව තීරණය කළ හැක. මේ අපගේ අදහසකි. සංස්‌කෘතික සිද්ධාන්තයක්‌ නොවේ.'' (අපේ සංස්‌කෘතිය, රාජකීය පණ්‌ඩිත බද්දේගම විමලවංශ නාහිමි, පි.24, 25)

ආචාර්ය නන්දදේව විෙ-සේකර මහතා, ''උඩ දුම්බර හා කුරුණෑගල පෙදෙස්‌වල තවමත් වියන්නන් වශයෙන් ඉතා ප්‍රසිද්ධ කින්නර පවුල් ජීවත්වේ. සමහර අංශවලින් මොවුන් වැද්දන්ට සමානය. වෙනත් මානව වංශික ලක්‌ෂණවලින් නම් බොහෝ සෙයින් වෙනස්‌ය. මිටි වූ රළු අංග ලක්‌ෂණ ඇති කින්නරයන්ට දළ දික්‌ හිස කෙස්‌ තිබේ. මොවුන් පරිබාහිර කරනු ලැබූ මනුෂ්‍ය වර්ගයකි.'' (වැද්දන්ගේ විකාශන ක්‍රමය, ආචාර්ය නන්දදේව විෙ-සේකර, පි. 17) යනුවෙන් සඳහන්කර ඇත.

කිනුරු = කින්නර -  mythical being witch a human
figure and the head of a horse ; uncultured people)

සොඳුරු සිය නදන් අනතුරු දෙස සිටි න
කිනුරු නිස සරන් කදහස වෙත නොව න
ඉසුරු දනද සිය නිකෙලෙස්‌ තැන රඳ න
උතුරු දිගිඳු පුර දිනි මෙ පුර වැජඹෙ න



''කිනුරු හෙවත් කින්නර යන වචනයෙහි අරුත් දෙකක්‌ ලෙස ගැනේ, කිං නර, මොකෙක්‌ ද මේ, මිනිහෙක්‌ ද, කියයුතු තත්ත්වයට ඇති සත්වයෝ කින්නරයෝයි. පහත් දේ කිරීමෙන් නින්දා ලබන ඔවුහු ගායනයට දක්‌ෂයෝය. උතුරු දිසාවට අධිපති කුවේරයා ගේ පුරය අලකා නම් වෙයි. එහි කින්නරයන් හා නිශාචරයන් වෙසෙන බව කවියා පවසයි. කින්නරයෝ නරක මිනිසුන් ලෙසත්, නිශාචරයෝ සහ යක්‌ෂයින් ලෙසත් අරුත් ගැන්වෙයි. ජයවර්ධන පුරයෙහි පැවති ශාම්‍ය බව පවසන්නට අලකා පුරයෙහි නරක ගැන කවියා විස්‌තර කරන්නේ මේ ජනයාගේ චර්යාව පිළිබඳවයි. (සැළලිහිණි සංදේශය, 1957. දෙගම්මැද සුමනජෝති සංස්‌කරණය)

කින්නර නමැති දිව්‍යාංගනාවක්‌ මහා සම්මත රජු ගේ බෑණා කෙනෙක්‌ සමඟ විවාහ වීමෙන් රජ වංශයෙන් නෙරපා ඇති බවත් ඔවුන් ගේ දරුවන් ගෙන් කින්නර ජනයා ප්‍රභවය වී යෑයි ද, මහා සම්මත රජු සිංහලය කුල වර්ගීකරණයට ලක්‌කිරිමේ දී කින්නර වශයෙන් කුලයක්‌ නිර්මාණය කළැයි ද, රාජ උදහසට ලක්‌ වූ තම දූ කුමරිය, වැද්දෙකු සමඟ කරකාර බන්දා සිය නුවරින් පිටමං කිරීමෙන් පසුව ඇවිද යන අතර මඟ රාත්‍රියේ දී ප්‍රසව වේදනාවෙන් පෙළුන හෙයින් මඟ අසල කුඩා පැළකට ඇතුළුවීමෙන් පසුව ඇයට වේදනාව උග්‍රවී, කම්මලක්‌ වූ එම ස්‌ථානයේ සවි කර තිබූ කිණිහිරයට පිට දී දරුවා ප්‍රසූත කර ඇත. රාත්‍රිය ගත කර පහන් වීමට ආසන්නයේ දී දරුවා කම්මල තුළ රඳවා ඔවුන් බැහැරව ගියහ. කම්මල්කරු පැමිණ කිණිහිරයෙන් දරුවෙක්‌ ඉපිද ඇතැයි සිතා දරුවා හොඳින් හදා වඩා ගැනීමෙන් පසු කල්යැමේදී මෙම ජන වර්ගයේ ප්‍රභවයට එය සාධක වී ඇතැයි යනුවෙන් ප්‍රවාද ගත ව ඇත. තව ද, මොවුන් උත්තර භාරතයෙන් සංක්‍රමණය වූ කොටසක්‌ වශයෙන් ද හැඳින් වෙයි. කෙසේ වුවද, ජය ශ්‍රී මහා බෝධිය මෙරටට වැඩමකිරීමත් සමඟ අශෝක අධිරාජයා මෙරටට එවන ලද 18 කුලයකට අයත් දහසක්‌ ජනයා පිළිබඳව, මහාවංශ ගත ප්‍රවෘත්තිය අනුව කුල ස්‌ථාපිත වීමේ ඓතිහාසික සිදුවීම ලේඛන ගත ව ඇත.

කව්දැයි ඒ නිරිඳුට කල් බැන්දේ

මැණික්‌පාල බිසවයි කල් බැන්දේ

අපේ උපත මහසම්මත සන්දේ

එරජට වැඩ කරුවන් සිටි සන්දේ

(කින්නර ගීතය, ශ්‍රී ලංකාවේ ප්‍රාථමික ජනතාව,සේපාල සමරසේකර)

පාලි භාෂා ව්‍යාකරණය ට අනුව ශබ්ද වරනැඟීමේ දී 'බුද්ධ' ශබ්දය සමඟ වර නැගිය හැකි ශබ්ද අතර කින්නර ශබ්දය ද හඳුනා ගෙන ඇත. මෙම ජන ව්‍යාප්තිය පිළිබඳ යම් අදහසක්‌ එමඟින් ගම්‍ය වෙයි.

''එවං සුරා නරො රග යCඛා

ගන්දබ්බ කින්නර මනුෂ්‍ය පිසාච පෙතා

මාතංග ජංගම තුරංග වරාග සීතා

ව්‍යාග්‍යච්ඡ කච්ඡ්‍ය තරච්ඡ මිගස්‌ස සොණා''

රාඝවන් උපුටා දක්‌වන විල්හෙල්ම් ගයිගර් පවසන්නේ, කින්නර මිනිසුන්, කර්මාන්ත මිනිස්‌සු, කර්මාන්තකාරයා, කර්මාන්තයෝ හෝ කින්නරයෝ වන බවයි. මහාවංශය අපුටා දක්‌වමින් ගයිගර් අවධාරණය කරන්නේ, ලංකාවේ කර්මාන්ත කරුවෝ වශයෙන් හඳුන්වන පිරිසක්‌ සිටි බවත්, ඔවුන් පෙස්‌ස, පේසියා, පෙස්‌සික (සංස්‌කෘත. පෛqෂ්‍ය) වශයෙන් ව්‍යවහාර කළ බවත් ය. එමෙන්ම ත්‍රිපිටකයට අයත් සුත්ත නිපාතයෙහි තත්ත්කාලීන සමාජය උපුටා දක්‌වමින් කුලීන මෙන්ම කුලහීන යනුවෙන් දෙපිරිසක්‌ සිටි බව සාකච්ඡා කරයි. වෙල්ලාලයන්. කෘෂිකර්මාන්තකරුවන්, ගොවි වංශිකයන් කුලීනයන් වශයෙන් මධ්‍ය කාලීන ලංකාවෙහි සිටි බවත් එකල එම ස්‌ථානයම තම ඉඩමෙහි පදිංචිව සිටින දුප්පත් ගොවියා ට ද හිමි වූ බව වංශ කතා මෙන්ම ආගමික සාහිත්‍යයන් මඟින් ද, ප්‍රකට කරයි.

ගොවි වංශය හෙවත් වෙල්ලාල නම් වූ කුඹුරු ගොවිතැන් කරන්නන් ප්‍රධාන පංතිය ලෙස සලකති. පුරාණ කාලයේ දී කුල සංස්‌ථාව සම්පූර්ණ වශයෙන් පිළිගන්නා ලද බව පෙනේ. (එමර්සන් ටෙනන්ට්‌)

ආචාර්ය නන්දදේව විඡේසේකර සූරීන් ප්‍රාථමික ජනතාව පිළිබඳ සිදු කරන ලද පර්යේෂණවලින් හෙළි කරන ලද තොරතුරුවලට අනුව, උඩදුම්බර හා කුරුණෑගල අසල ගම්වල පරම්පරා ගත විසිතුරු මෝස්‌තර අනුව දුම්බර පැදුරු යයි කියනු ලබන පැදුරු වියන කින්නර ජනයා පදිංචිව සිටී. වැද්දන්ට සමාන හැඩහුරු කම් මොවුන්ට යන්තමින් ඇතත් ඔවුන් අමුතුම වර්ගයකි. හැඩි දැඩි අඟ පසඟ හා දික්‌ ඉසකේ ඇති මිටි වූ කින්නරයෝ දුක සේ ජීවිකාව ලබා ගනිති. සාමාන්‍යයෙන් ඔවුහු පහත් කුල ඇත්තන් මෙන් සලකනු ලැබෙත්. මේ වර්ගයා මෙකී නීච භාවයට පත්වූයේ කෙසේද. එසේ වූ අතරම මෙතරම් විසිතුරු මෝස්‌තරවලින් යුත් විවීමේ විනීත ශිල්පය ආරක්‌ෂා කළේ කෙසේද යනුත් අභිරහසක්‌ යනුවෙන් ද සඳහන් කරයි.

කින්නර ජනයා මාතලේ, මල්ඇහැව, දික්‌වැහැර ඉරිදෙණිය, මීරිගම බෝතලේ, ඉහළගම, නුවර මහියංගන පාරේ හේනාවල සහ ආඳාගල කන්ද, කුරුණෑගල වැහැර, ආදි වශයෙන් ඔවුන්ගේ ව්‍යාප්තිය සිදුව ඇත. වර්තමානය විමසීමේ දී, ඔවුන් මහා සමාජයට අනුකලනය වී ඇති අතර, ශිල්පීය කුසලතා හේතු කොට ගෙන අගනා නිර්මාණ සමාජ ගත වීමෙන් කින්නර නාමය ඉතිරිව ඇති බව ප්‍රත්‍යක්‌ෂ වෙයි. පර්යේෂකයන් පෙන්වා දෙන්නේ, ඔවුන් උතුරු ඉන්දීය ජනකොටස්‌වලට බෙහෙවින් සමානකමක්‌ දක්‌වන බවත්, ලාංකීය සිංහල සමාජය ගොඩනැගෙද්දී ඒ සමඟ පැමිණි කුඩා ශිල්පීය කණ්‌ඩායමකින් කින්නර ජනයා පැවත ආ බව ය. (වැඩි දුර දැනගැනීමට කියවන්න, ශ්‍රී ලංකාවේ ප්‍රාථමික ජනතාව, ආචාර්ය සේපාල සමරසේකර,)

දිගු කලක සිට හුදකලා ග්‍රාමීය ජන කොටසක්‌ වශයෙන් පෙරට ගමන් කළ කින්නර ජනයා සංස්‌කෘතික විසරණය, කාර්මිකකරණය නාගරිකකරණය, ආදී සමාජ විපර්යාස සමඟ සිය චර්යාවන්හි වෙනස්‌කම් පිළිබිඹු වූයේ නව වෙනස්‌කම් සෘජුවම ඔවුන්ගේ ජන ජීවිතයට බලපෑ නිසාය. නාමකරණයන් පවා මේ අනුව වෙනස්‌ව ඇත. ඩිංගිරියා, හවඩියා, ටිකිරා, වස්‌තුවා, මුත්තුවා, කිංහපුවා, පුංචා, කිරා පසු කාලීනව ගුණසිරි, ගුණතුංග, ගුණරත්න, ජයරත්න ආදී වශයෙනුත් කාන්තා නම්, පිංචිනා, පුංචිනා, අනුලාවතී, දයාවතී, ඩොලී, ශාන්ති මේරී ආදි වශයෙනුත් භාවිත වීම තුළින් මෙම වෙනස මනාව පැහැදිලිs වෙයි.

කුලය ජාතියක්‌ තුළ ඇති වංශයක්‌ ලෙසත්, වෘත්තීය අනුව කුල ඇතිවන බවත් දක්‌ෂිණ භාරතීය සමාජය තුළ කුල 3000 පමණ පැවතෙන අතර ඔවුන් ප්‍රධාන වශයෙන් ගෝත්‍ර හතරක්‌ යටතේ හඳුනා ගත හැකි බවත් විමලවංශ හිමියන් (Caste And Tribes of Southern India) කෘතිය උපුටා දක්‌වමින් සඳහන් කරන අතර ආචාර්ය නන්දදේව විෙ-සේකර මහතා ලංකාවේ කුල 43 ක්‌ ගැන සඳහන් කරන අතර ජාතික කෞතුකාගාරයෙහි මානව විද්‍යාඥයෙකුව සිටි රාඝවන් මහතා භාෂාව හා සමාජ සිරිත් විරිත් පරීක්‌ෂා කිරීමෙන් ප්‍රාථමික කුඩා සමූහ ගෝත්‍ර වශයෙනුත් ආචාර්ය නන්දදේව විෙ-සේකර මහතා Cast යන ඉංග්‍රීසි වදනට අනුව කුලය යන වචනය භාවිත කරන්නටත් ඇති බවත් විමලවංශ නාහිමියන් අදහස්‌ කරයි.

පන් සහ හණ කර්මාන්තයෙහි දක්‌ෂයන් වූ කින්නර මිනිසුන් ගෘහස්‌ථ නිෂ්පාදනයන් ගෙන් සමන්විත පිරිසක්‌ විය. පරිසරය සමඟ මනා සබඳතාවකින් යුතුව කටයුතු කළ ඔවුන් ගේ ඥාතීත්වය ප්‍රබල සංස්‌ථාවක්‌ වශයෙන් ප්‍රකට විය. එමිල් ඩූර්කයිම් නමැති සමාජ හා මානව විද්‍යාඥයාට අනුව මේ සමාජවල මුලින් පැවති යාන්ත්‍රික ඒකාබද්ධතාවය තුරන්වී ඓන්ද්‍රීය ඒකාබද්ධතාවයට නැඹුරුවීම නිසා සම්ප්‍රදායෙන්, කුලය හා ප්‍රාදේශීය තත්ත්වයෙන් දුරස්‌ථව ජීවනය පවත්වා ගෙන යති.

ඇතැම් ලාංකිකයින් 'ජන ජීවනය' පිළිබඳ කරන අධ්‍යයනයන් ගැන ආචාර්ය අමරදාස සූරීන් සඳහන් කරන්නේ, ඔවුන් එය යුරෝපීය ක්‍රමයකට කරන්නක්‌ බඳුය යනුවෙනි, ඇතැමුන් තම කාමරයේ, කලාල පැදුරක්‌, වෙස්‌ මුහුණක්‌ එල්ලා ගැනීමෙන් කිසියම් සම්මානයක්‌ පතන බවත්, ඇතැම් යුරෝපීය උගතුන් සංස්‌කෘතිය පවත්නේ ශේක්‌ෂ්පියර්, බිතෝවන්, කාලිදාස, එලියට්‌, ලෝරන්ස්‌, අජන්තාව ආදී මිනිස්‌ ඉහළ තට්‌ටුව තුළම පමණක්‌ යෑයි ද, ඇතැම් දේශීයයන්ට 'ජනයා' යනු නූගත්, අපිරිසිදු. මිථ්‍යා ඇදහිලිවලින් යුත් අර්ධ තිරිසන් කොටසක්‌ යන මානව කේන්ද්‍රීය දැක්‌මකින් යුතු කොටසක්‌ බව ද පෙන්වා දෙයි. මෙරට ජනයා අධ්‍යාපනයෙන් ශික්‌ෂිත කරන්නට උනන්දු බවක්‌ පෙන්වූ බටහිර විද්වත්හු විශ්වවිද්‍යාල ආරම්භ කිරීමට පුරෝගාමී වුවත් එහි මානව ශාස්‌ත්‍ර විද්‍යා උගෙනීමට අවස්‌ථා ඇති නොකළේ මන්ද යන කාරණය ගැන සිතන්නට අප පොළඹවනු ඇත.

''කින්නරුන් ගේ ආර්ථීක තත්ත්වය නඟාලීමට නගරයේ උපදේශකවරුන් කින්නර ගමකට ආණ්‌ඩුවෙන් යවා ඇති තත්ත්වයක්‌ ගැන මනුවිද සමාලෝචනයක සඳහන් වෙයි. ^Raghawan 1951: 242) මේ උපදේශකයෝ කින්නරුන්ට පැදුරු විවීම, සායම් යෙදීම, ආදිය ගැන නවීන ක්‍රම උගන්වන්ට වෑයම් කළහ. ජනයා ගේ පාරම්පරික ජීවිතය ගැන නො දැන සිටි බැවින් උපදේශකයන්ට කින්නරුන් ගේ විශ්වාසය දිනා ගත නො හැකි විය. කින්නරු ඔවුන් ගේ උපදෙස්‌ පිළි නොගත්තෝ ය. උපදේශකයෝ නගරයට පලා ගියා පමණක්‌ නොව, යන ගමන් කින්නරුන්ගේ පාරම්පරික රටා කොපි කර ගෙන ද ගිය හ. එසේ ගෙන ගිය රටා යොදා උපදේශකයෝ අලුත් පැදුරු කර්මාන්ත ශාලාවක්‌ ද ඇරඹූහ.'' (සිංහල ජනශ්‍රැතිය හැදෑරීම ආචාර්ය අමරදාස වීරසිංහ)

'ජනයා' පිළිබඳව තත්ත්කාලීන ඇතැම් උගතුන් ගේ දුර්මත දුරු කිරීමට, ආනන්ද කුමාරස්‌වාමි මහතා Medieval  Sinhalese Art නම් විශිෂ්ට ග්‍රන්ථයත් සිංහල ජන ජීවිතය අළලා විශාල ලේඛන සංඛ්‍යාවකුත් ලියා පළ කළේය. එමෙන්ම ආතර් ඒ. පෙරේරා Sinhalese Folklore notes කෘතියත් රජයේ ප්‍රවෘති දෙපාර්තමේන්තුව Ceylon Today සඟරාවත්, ජන ජීවනය හා සංස්‌කෘතිය විෂය ක්‌ෂේත්‍රය පිළිබඳ දැනුම් සම්භාරයක්‌ මතු පරපුර උදෙසා ආයෝජනය කර ඇත. මානව විද්‍යා විෂය ධාරාවට අයත් ජන ජීවන අධ්‍යයනය උදෙසා ජාතික කෞතුකාගාර සේවයත් මාර්ටින් වික්‍රමසිංහ අනුස්‌මරණ කෞතුකාගාරයත් වැදගත් මෙහෙවරක්‌ ඉටු කරන අතර එම ආයතන දියුණු කිරීම හා ආරක්‌ෂා කර ගැනීම ගැන සෑම අංශයකම යුතුකම හා වගකීම විය යුතු ය.

චාරිත්‍ර විධි

විස්‌තාරිත පවුල් සුළු වශයෙනුත් න්‍යෂ්ටික පවුල් වැඩි වශයෙනුත් පැවති බව හා ඇවැස්‌ස විවාහය, බින්න විවාහය, දීග විවාහය යන ආකාරයන් මඟින් විවාහය තීරණය වූ බවත්, කුඩා ආර්ථීකයක්‌ වශයෙන් පිළිබිඹු වූ කින්නර කුටුම්භ ජීවනය ළං ළංව පැවතීම නිසා සමීප ඥාති සබඳතා පවත්වමින්, බාහිර සමාජය දුරස්‌ථව ඇසුරු කරමින් හාත්පස පරිසරය ග්‍රහණයට නතු කර ගැනීමෙහි ලා දක්‌ෂ අන්දමින් ක්‍රිය කළ සමාජ වෙනස්‌වීම සිදු වන තෙක්‌ම අර්ථ ක්‍රමයේ ඒකාකාරී ස්‌වභාවයකින් පවත්වා ගෙන ගිය පිරිසක්‌ වශයෙන් ඉතිහාස ගතව ඇත.

උපත, වැඩිවිය පැමිණීම, විවාහය, මරණය යන අවස්‌ථාවන් හි දී කින්නර ජනයා වවිධ චාරිත්‍ර අනුගමනය කරයි. දරු ගැබට මාස 04 ක්‌ සම්පූර්ණ වූ පසු මව හා බැඳුන චාරිත්‍ර විධි උපතකදී වැදගත් බව කින්නර ජනයාගේ ද විස්‌වාසයයි.

ගෝත්‍රික සමාජ ගත වැදුම් ගෙයි කිල්ල, මල්වර කිල්ල වැනි කිලි පිළිබඳව ඔවුන් ප්‍රබලව විශ්වාස කරයි. දරු ප්‍රසූතියේදී ද, ඔවුන් විශේෂ ආරක්‌aෂාව පතා සිංහල සමාජයේ මෙන්ම සිය මව සමීපයට යන අතර ගැබ් බර දියණියට විශේෂ ආරක්‌ෂාව පතමින් මව විසින් යාතු කර්ම පවත්වා ආරක්‌ෂාව සලසන බවත් කොට්‌ටඋර මැසීම, දෙබිඩි කෙසෙල් කෑම වැනි දෙයින් වළක්‌වනු ලබයි. (දෙබිඩි දරුවන් ඇතිවෙතැයි යන විශ්වාසය නිසාය) ගර්භණී කාන්තාවට කින්නර සාමාජිකයන් විශේෂ සැලකුම් ලබා දෙන අතර දරුවා කුඩා වයස ඉක්‌මවූ පසු විවීමේ කර්මාන්තයට හුරු කරනු ලබයි. යකුන් ප්‍රේතයන් වැනි අදෘෂ්‍යමාන උවදුරු වලින් වැළකීමට රඹුක්‌ වර්ගයේ ලීයක්‌ තමනිවෙස්‌වල ආරක්‌ෂාවට තබා ගැනීම ඔවුන්ගේ සිරිත විය. (ඇතැම් ප්‍රදේශවල සිංහල ජනයා අගිල් ලීයක්‌ නිවසේ තබා ගනී) වැදි සහ රොඩී ජනයා මෙන්ම කින්නර ජනයාද අනර්ථකාරී අභිරහස්‌ බලයකින් සමන්විත ජන කොටසක්‌ ලෙස හඳුනා ගෙන ඇත. දරු උපතකට සූදානම් වන තැනැත්තියගේ ආශාවන් හෙවත් දොල දුක පිළිබඳව කින්නර සමාජයේ ද ඇගයුමක්‌ ඇති නමුදු ඔවුන් ආගමික වත් පිළිවෙත් පිළිබඳ නොතකයි. එහෙත් ගමේ වෙදා ලවා නූලක්‌ මතුරවා අතේ ගැට ගැසීමෙන් ආරක්‌ෂාව සලසා දෙවනු ලබයි.

කින්නර, කුටුම්බ ජීවිත තුළ පවතින අගනාකම් විමසන මානව හා සමාජ විද්‍යාඥයන් ඔවුන්ගේ සංස්‌කෘතිය තේරුම් ගැනීමේදී විවාහය හා සබැඳි සිරිත් වැදගත් ලක්‌ෂණ නිරූපණය කරන බව පෙන්වා දෙයි. උඩරට විවාහ ක්‍රම පිළිබඳව අවබෝධයක්‌ ඔවුන් සතුව පවතින නමුදු එය ඒ ආකාරයෙන්ම සිදු නොවන අතර ඇවැස්‌ස ඥාති විවාහයට වැඩි බරක්‌ ඇති බවත්, ඔවුහු තම ඇවැස්‌ස නෑනා කුමන හෝ මොහොතක කැඳවා ගෙන යැම එක්‌ පිළිවෙතක්‌ බවත් සඳහන් වෙයි. පෝරුවේ චාරිත්‍රවලින් මිදුණ ඔවුන් එකම දවසක්‌ තුළ දෙපාර්ශ්වයේම හමුවීමත් ආහාර ගැනීම සිදු කිරීමෙන් දෙවැනි ගමනක්‌ ඔවුනට නොමැත. එසේම බින්න විවාහ ද කින්නර සමාජයේ සිදු කරනු ලබති.

කින්නර ජනයා පිටියේ දෙවියන් පිළිබඳ සංකල්පය ඉහළින් පිළිගත් අතර පසු කාලීනව ඒ තැන සමඟ බුදුසමය ආකර්ෂණය වීය. ඇදහිලි හා විශ්වාස සම්බන්ධව කරුණු දක්‌වන ආචාර්ය සේපාල සමරසේකර මහතා පෙන්වා දෙන්නේ, ''කින්නර ජනතාව අතර ක්‍රියාත්මක ස්‌වභාවයේ පවතින ඇදහිලි විශ්වාස අතරින් ප්‍රධාන තැනක්‌ ගන්නේ පිටියේ දෙවියන් පිදීම සඳහා බවය.

සංවර්ධන උපාය මාර්ග පිළිබඳ විමසන විශ්ලේෂකයන් මෑතක සිට සම්ප්‍රදාය පිළිබඳව ද, දක්‌වන අවධානය ගැන සතුටු විය හැකි ය. සාම්ප්‍රදායික සමාජය පුළුල් සමාජයක්‌ වෙත ගෙනයැමේ දී ප්‍රාථමික ජනයා හා ඔවුන්ගේ සංස්‌කෘතීන් පිළිබඳව අමතක නොකිරීම ඵලදායකවන්නේ, ඒ මඟින් සහකම්පනය වර්ධනය කර ගත හැකි බැවිනි. මානව කේන්ද්‍රීය පටු දැක්‌ම සහකම්පනය පිටු දකී, දුරස්‌ථ මිනිසා සහ ක්‍රියා කාර කම් ආසන්නයට ගෙන ඒම මෙන්ම, සම්ප්‍රදාය හා නූතනත්වය අතර පාලම තැනීමේ වගකීම පිළිබඳ වැඩි බර පවතින්නේ මාධ්‍යය සතුව ය.

ආශ්‍රීය කෘති(-

ෆ අපේ සංස්‌කෘතිය - රාජකීය පණ්‌ඩිත බද්දේගම විමලවංශ නාහිමි

ෆ ඉන්දියාවේ සහ ශ්‍රී ලංකාවේ කලා ශිල්ප - ආනන්ද කේ කුමාරස්‌වාමි

ෆ වැද්දන්ගේ විකාශන ක්‍රමය - ආචාර්ය නන්දදේව විඡේසේකර

ෆ සැළලිහිණි සංදේශය - දෙගම්මැද සුමනජෝති හිමි සංස්‌කරණය

ෆ මානව විද්‍යා මූලධර්ම - සේපාල සමරසේකර

ෆ මූලික සමාජ විද්‍යාව - ජ්‍යෙෂ්ඨ කථීකාචාර්ය. මයුර සමරකෝන්

ෆ සිංහල ජනශ්‍රැතිය හැදෑරීම - ආචාර්ය අමරදාස වීරසිංහ

ෆ ශ්‍රී ලංකාවේ ප්‍රාථමික ජනතාව - ජ්‍යෙෂ්ඨ කථීකාචාර්ය, සේපාල සමරසේකර

ෆ ලේඛකයාගේ 'මහාසමාජය සමඟ ශේෂ වී ගිය ප්‍රාථමික ජනයා' නමැති නිබන්ධනය, 2011
 

 

 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.