දෙමළ එපා නම් ජාතික ගීතයක්‌ උතුරට අවශ්‍ය නෑ
- ද්‍රවිඩ සන්ධාන මන්ත්‍රීවරු මැතිසබේදී කියති

කුෂාන් සුබසිංහ - අජිත් අලහකෝන්

ද්‍රවිඩ භාෂාවෙන් ගායනා කිරීමට ඉඩ නොදෙන්නේ නම් උතුරට ජාතික ගීයක්‌ අවශ්‍ය නොවන බව ද, ශ්‍රී ලංකාව හින්දු රටක්‌ බැවින් හින්දු ජනයාගේ අයිතිවාසිකම් ආරක්‍ෂා කළ යුතු යෑයි ද ද්‍රවිඩ ජාතික සන්ධාන මන්ත්‍රීවරු ඊයේ (17 දා) පාර්ලිමේන්තුවේදී පැවැසූහ.

ශ්‍රී ලංකාව හින්දු රටක්‌. රාවණා රට පාලනය කළා. ඔහු හින්දු රජෙක්‌. එනිසා හින්දුන්ගේ අයිතිවාසිකම් රැකිය යුතුයි. මහා වංශය තහවුරු කරනවා මේක හින්දු රටක්‌ කියලා. රාවණා ශිව භක්‌තිකයෙක්‌. විජයත් දමිළ රජෙක්‌. දේවානම්පියතිස්‌ස රජුත් පසු කාලයේ හින්දු ආගම වැළඳ ගත්තා. දරුවන්ටත් හින්දු නම් තැබුවා. පණ්‌ඩුකාභය ශිව වන්දනා කළා යෑයි මඩකලපුව දිස්‌ත්‍රික්‌ ද්‍රවිඩ ජාතික සන්ධාන මන්ත්‍රී එස්‌. යෝගේෂ්වරන් මහතා කීවේය.

ඉන් පෙර කතා කළ පී. අරියනේත්‍රන් මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේ උතුර - නැගෙනහිර පළාත්වල ජාතික ගීය දෙමළ භාෂාවෙන් ගායනා කිරීමට ඉඩ නොදෙන්නේ නම් එම පළාත්වලට ජාතික ගීයක්‌ අවශ්‍ය නොවන බවය.

මීට පිළිතුරු දුන් මහජන සම්බන්ධතා ඇමැති මර්වින් සිල්වා මහතා "මහා රාවණා යනු ශ්‍රී ලංකාවේ සිටි සිංහල මහා විරුවෙක්‌. සිංහල රජවරු ඉන්දියාවෙන් කාන්තාවන් ගෙන්වා කසාද බැන්දා. ඒ කාන්තාවන්ට වඳින්න පුදන්න කෝවිල් හැදුවාට මේක හින්දු රටක්‌ නොවේ. කතරගම දෙවියෝ උපන්නේ ශාක්‍ය වංශයේ. වැරදි අර්ථකථන දෙන්න එපා යෑයි ද්‍රවිඩ ජාතික සන්ධාන මන්ත්‍රීවරුන්ගෙන් ඉල්ලා සිටියේය.
 

 
Powered By -


       උපාලි නිව්ස්‌පේපර්ස්‌ ප්‍රයිවට්‌ ලිමිටඩ්
           223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13.