සංස්‌කරණය : නාරද නිශ්ශංක

සදා ඔබේ ගිම් බෙදා ගනිමි මම් ජීවිතයේ...

නෙතින් නෙතඟ ගැටෙනා රාග සිත
ලෙවන් නෙතින් පිසදා හරින්නට
බියෙන් සැකෙන් නැගෙනා තාප ගිනි
දයාදියෙන් සනහා නිවන්නට
කාලයයි නිදුකාණනේ...
දීපයයි නිදුකාණනේ...
දේශයයි නිදුකාණනේ...
වඩිනු මැන නිදුකාණනේ...

සමාජය දූෂිතවෙලා. දහමට වඩා මිනිසුන් නැඹුරු වන්නේ අදහමට. එකිනෙකා නොහඳුනන මිනිසුන් පාපකාරී ක්‍රියාවන් තුළින් විමුක්‌තියක්‌ සොයනවා. සමාජය වල්මත්වෙලා. සංස්‌කෘතිය සදාචාරය පලා ගිහින්. මිනිසුන්ගේ සිත් රළුවෙලා. සංවේදී බව හදවත්වලින් පලා ගිහින්.

ගෙවා සුවහස්‌ යොදුන් මේ කතරේ
සොයා යනමං නොදැන මේ අඳුරේ
යුගෙන් යුගයේ පතා ආයෙමි
හිමියනේ ඔබේ... ඔබේ බුදු සිසිලක්‌...

මිනිසුන්ගේ හදවත් මෘදු විය යුතුයි. අනෙකා ගැන හිතන සමාජයක්‌, සංවේදී සිත් ඇත්තන් පිරි රටක්‌ හදන්න නම් මිනිසාගේ හදවතට කතා කළ යුතුයි. රසයෙන් අර්ථයෙන් මෙන්ම භාවයෙන් පිරි ගීයකට මෙය කළ හැකියි. මිනිස්‌ හදවත් සුවපත් කිරීමට සුභාවිත ගීය තරම් ඔසුවක්‌ තවත් ඇතැයි සිතිය හැකිද...

දෙසවන් සනහා මා නැළවූ ඔබ
මියුරු මියෑසියේ අරුත කියා දුනි
ඒ මියෑසිය අද මා ගයනා විට
මා සිප ගන්නට ඔබ මා ළඟ නැත...

අම්මා... අම්මා...

සුවහසක්‌ ජනතා හදවත් සුභාවිත ගීයෙන් නිවා සනහාලන ගායන ශිල්පියා සුනිල් එදිරිසිංහ... සිය සංගීත චාරිකාවේ හතළිස්‌ පස්‌වැනි වසරට පා තබමින් සිටී. හේ සංගීත දිවියේ හතළිස්‌පස්‌ වැනි වසරට පා තබන්නේ මේ වසරාවසානයේ සුවිශේෂී කඩඉමක්‌ද සනිටුහන් කරමිනි.

සඳකඩ පහණක කැටයම් ඔපලා
පාවෙන දේදුණු ලැගුම් ගනී
කැලතුණු රසයක පැන ආ බුබුලක්‌
අකුරු වැලක්‌ දෙහදක ලියෑවේ

"සඳකඩ පහණ" සුනිල් එදිරිසිංහයන්ගේ ඒකපුද්ගල ගේය සිත්තම වසර අවසාන සුවිශේෂී ප්‍රසංගය සමග මෙම 28 දා සවස

6.30 ට බණ්‌ඩාරනායක ජාත්‍යන්තර අනුස්‌මරණ සම්මන්ත්‍රණ ශාලාවේදී දැහැන්ගත වන්නට සුභාවිත ගීයට පෙම් බඳින රසිකයාට අවස්‌ථාව උදා වේ. ගීත ගැයීම පමණක්‌ම නොවේ ගැයෙන ගීවල පසුබිම් කතාව, සංගීත ආකෘතිය මෙන්ම ගී පබැඳුම්වල රසවත් තොරතුරුද කතාබහ කෙරෙන මේ ප්‍රසංගය රසිකයාට නැවුම් මෙන්ම අමතක නොවන අත්දැකීමක්‌ද ලබාදෙනු ඇත.

දරුවන් හත්දෙනකුගෙන් යුත් පවුලක බාලයා ලෙස පැටිකිරිගේ එදිරිසිංහ සහ උස්‌හෙට්‌ටිගේ එළිසබෙත් පෙරේරා යුවළට දාව කැලණිය වරාගොඩදී උපත ලද සුනිල් පාසල් ගමන 1955 දී ආරම්භ කළේ ශ්‍රී ධර්මාලෝක විද්‍යාලයෙනි. ඉන්පසු සපුගස්‌කන්ද මහා විද්‍යාලයටත්, දෙල්ගොඩ කල්‍යාණ ප්‍රදීප පිරිවෙනටත් ගිය සුනිල් 1969 දී සිය ද්විතීයික අධ්‍යයනය නිමා කළේය. ඉන්පසුව රජයේ මුද්‍රණ සංස්‌ථාවේ රාජකාරියට ගිය සුනිල් එදිරිසිංහ ගායකයකු බවට පත්වූයේ "සඳකඩ පහණක" ගීයෙනි. සිය සොහොයුරු සතිස්‌චන්ද්‍ර එදිරිසිංහගේ "මාතර ආච්චි" චිත්‍රපටයට ගැයූ මේ ගීයේ පද රචකයා වොලී නානායක්‌කාරය. ගී තනු/සංගීතය වික්‌ටර්Êරත්නායකගේය.

එසේ ගීත ගායනයට ආ සුනිල් ලක්‌නව් සරසවියෙන් සහ විශාරද පී. වී. නන්දසිරිගෙන් සංගීතය හැදෑරුවේය. ඉන්පසු 1975 දී ඉන්දියාවේ භාත්ඛණ්‌ඩ ඇකඩමියෙන් පළමු පංතියේ ගෞරව සම්මානයක්‌ ද ලබාගත් සුනිල් ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්‌ථාවටද සම්බන්ධ වූවේය.

චන්ද්‍ර මඬල බැද්දවටින් මෝදුවෙලා
කලු නැන්දගෙ දුව යන්න ගියා...
බැල්ම හෙලා....

සුනිල් එදිරිසිංහ 1980 දී සිය ප්‍රථම කැසට්‌ පටය "චන්ද්‍ර මඬල" නමින් එළිදැක්‌වූවේය. 1979 දී නන්දනී කුමුදු මුණසිංහ සමග විවාහ වූ සුනිල්ගේ පුතා සංඛ චමින්ද්‍ර එදිරිසිංහය.

දුවේ නුඹ මගෙ ප්‍රාණයයි
සැබෑ වුණ සුබ සිහිනයයි
සෙනෙහසින් කුලගෙට පිය නගන්නේ
සනුහරේ අභිමානයයි

දියණිය සංධනී එදිරිසිංහද මෙම 28 වැනිදා පියා සමගින් "සඳකඩ පහණ" ට ගී ගයන්නීය.

සුනිල් එදිරිසිංහ මේ වන විට ගයා ඇති ගීත අතර බුදුගුණ ගී, මවුගුණ ගී, දේශාභිමානි ගී, ආදර ගී, වියෝ ගී පමණක්‌ නොව ගුණධර්ම යහ පැවැත්ම සඳහා ඔවදන් සැපයෙන ආදර්ශවත් ගීතද රැසක්‌ ගයා ඇත. මේ ගීත අතරින් සුවිශේෂී ගීත සමුච්චයක්‌ රැගෙන "සඳකඩ පහණ" ට පිවිසෙන සුනිල් එදිරිසිංහ ප්‍රවීණ ශිල්පියා පිළිබඳ තබන සටහනට ඔහුගේ අදහස්‌ කිහිපයක්‌ද එක්‌ කරන්නට සිතුවෙමි.

පළමුව ඔහු පැවසුවේ සුභාවිත ගීය පිළිබඳ ශ්‍රාවක රසඥතාවය ගැනය.

රසඥතාව මොටවෙලා නෑ. සුභාවිත ගී ප්‍රසංග කිහිපයක්‌ම අපේ ප්‍රවීණයන් රට පුරා පවත්වනවා. ඒ සඳහා ලැබෙන රසික ප්‍රතිචාර සාර්ථකයි. රසඥතාව මොටවෙලා නම් කොහොමද රසිකයෝ මේ ප්‍රසංගවලට එන්නේ... සිද්ධ වී තිබෙන්නේ සුභාවිත ගීය ඇසෙන ප්‍රමාණය වාර ගණන අඩුවීම පමණයි. ඒත් හැත්තෑව අසූව දශකය වගේම රසික ප්‍රජාව අප වටා ඉන්නවා... යෑයි ඔහු කීවේය.

දෙපා සැලෙන මුත් බෙර කවි තාලෙට
කරළිය හිමි නැති අපේ ළමයි
හේනට කුඹුරට ගත සවි දියකර
කරළිය අබියස බලා හිඳී....

"සඳකඩ පහණ" වසරාවසාන ප්‍රසංගයේ ඇති සුවිශේෂත්වය ගැන සුනිල් එදිරිසිංහ හෙළි කළේ මෙලෙසිනි.

"සඳකඩ පහණ" ගම් දනව්වලට යද්දී විශාල වාදක මණ්‌ඩලයක්‌ ගෙන ගියේ නෑ. උපරිම දසදෙනයි. ඒත් මේ ප්‍රසංගයට විස්‌සකට ආසන්න වාදක මණ්‌ඩලයක්‌ රෝහණ වීරසිංහ ප්‍රවීණ සහෘදයාගේ මෙහෙයවීම මත පසුබිම් සංගීතය සපයනවා. "සඳකඩ පහණ" පසුතල සැකැස්‌මත් මෙවර වෙනස්‌ කළා. මගේ දුව සංධනී ගීත ගැයීමත් මෙවර විශේෂත්වයක්‌. ඒ වගේම මීට පෙර ප්‍රසංගවල නොගැයූ ගීත මම මෙහිදී ගයනවා.

සුනිල් එදිරිසිංහ සඳකඩ පහණින් ලබන ලාභය සද්කාර්යයකට වැය කරන්නත් සූදානම්. මෙහි ලාභයක්‌ ලැබුණොත් පිළිකාවෙන් පීඩා විඳින කුඩා දරුවන් උදෙසා පිරිනමන්න ඔහු තීරණය කර තිබෙනවා. ඒත් එය ප්‍රසිද්ධ කිරීම සම්බන්ධව ඔහු තුළ කැමැත්තක්‌ නොතිබිණි. ඒ බව ප්‍රචාරය කිරීම මගින් ප්‍රවේශ පත්‍ර අලෙවි කර ගැනීමට කටයුතු කරන්නේ යෑයි තමන්ට චෝදනා එල්ල වේ යෑයි යන සාධාරණ බිය ඔහු සිත තුළ ඇත. එහෙත් ඔහුගේ අකමැත්ත මත හෝ අප මෙම ලිපියේ ඒ පිළිබඳ සටහන් තැබුවේ ඔහුගේ සද්කාර්යය අගය කිරීමක්‌ ලෙසිනි.

මේ ප්‍රසංගයට කිසිම අනුග්‍රාහක ආයතනයක්‌ නෑ. ඒත් නම ප්‍රසිද්ධ කරන්න අකමැති සද් ගුණවත් මහත්මයෙක්‌ වියදම් කරනවා. ඔහු මෙය කරන්නේ හොඳ හිත රැකගැනීමේ ෙච්තනාවෙන්. ඊට අමතරව ප්‍රසංගයේ පිටපත සහ කළමනාකරණය පුෂ්කර වන්නිආරච්චි, පසුතල නිර්මාණය ජයන්ත බිබිලේ, වේදිකා සැකසුම තිලක්‌ ගුණදාස, සම්බන්ධීකරණයෙන් සුසන්ත ප්‍රියදර්ශන උදව් කරනවා. ප්‍රධාන සංවිධායක උදයකාන්ත වර්ණසූරිය චිත්‍රපට අධ්‍යක්‍ෂවරයා යෑයිද, පරිපාලනය කසුන් සවුන්ඩ්ස්‌ය.

නුඹ හඳක්‌ වෙලා පායා
මට එළිය වූ වගයි
නුඹ සඳක්‌ සේම බැසයයි
මට ඉතිරි කළුවරයි...
මගෙ මතකය එපමණයි
මා ඉතින්... යන්න යනවා...
මට යන්න අවසරයි...

ඔහු ගැයූ ගීතවල පද මාලාව බලන්න. ආදරය ගැන, විරහව ගැන සංයමයෙන් යුක්‌තව ලියූ පදමාලා සුනිල් එදිරිසිංහ ගයන්නට තෝරා ගත්තේ ඔහුද නිවුණු ගති ඇත්තෙක්‌ නිසාය. කලබලයක්‌ නැතිවූ ඉවසීමෙන් යුතුව ගැයෙන ඔහුගේ ගී රසික හදට සමීප නොවන්නේ නම් ඒ පුදුමයකි.

අද ප්‍රවීණයන් අතින් කලින් කළා වගේ ගී පද නිර්මාණ වන්නේ නෑ. ගී පද මාලාවල අද ගුණාත්මක වටිනාකමේ අඩුවක්‌ දකින්න නැතත් ප්‍රමාණාත්මකව අඩුවක්‌ දකිනවා. ඊට කිසිවෙකුට චෝදනා කරන්න බෑ. කලාකරුවා මුහුණ දෙන පරිසරය අනුවනේ නිර්මාණ බිහි වන්නේ. අප අද ගයන අලුත් හොඳ ගීත ප්‍රචාරය වන්නේ නැත්නම් පසුබෑමක්‌ ඇති වෙනවා. මම අවුරුදු දෙකකට විතර කලින් මගේ අලුත්ම ගීත එකතුව "මල් වැහිපොද" එළිදැක්‌වූවා. ඊට ලැබුණ ප්‍රතිචාර ප්‍රශස්‌ත මට්‌ටමක නෑ. හරි නම් මේ වෙද්දී ඒ ගීත නාලිකා ඔස්‌සේ ප්‍රචාරය විය යුතුයි. ඒත් එහෙම නෑ. මේ නව නිර්මාණ කරන ප්‍රවීණයන් කාටත් තිබෙන ප්‍රශ්නයකි. ප්‍රවීණයන් ගයන අලුත් ගීත අපට නෑසෙන්නේ ඔවුන් නැවුම් නිර්මාණ නොකරන නිසා නොවේ. කරනු ලබන නව නිර්මාණ ප්‍රචාරය නොවීම නිසාය.

කෙසේ වෙතත් "සඳකඩ පහණ" සුනිල් එදිරිසිංහගේ ගේය සිත්තම අඳුර වෙත ගමන් කරන්නන්ට එළියක්‌ වේවා යෑයි පතමු. සමාජයේ සිත් තැවුල් නිවාලන්නට තම ගී හඬ වාහකයෙක්‌ වේ නම් එය ගායකයකු ගායිකාවක විසින් ලබන උපරිම සතුටකි. සැනසීමකි. ඒ සතුට සුනිල් එදිරිසිංහයන් එදා මෙන්ම අදත්, අද මෙන්ම හෙටත් විඳින බව නිසැකය.

සිල් බිඳී නුවන් කැළඹූ වනේ
බිම නොලා නෙළු ඵල මාවතේ
සදා ඔබේ ගිම් බෙදා ගනිමි මම්
තැවුල් සැඟව යාවී... මාරුතයේ....

අජිත් අලහකෝන්
 

 
Powered By -


  සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.