සංස්‌කරණය : නාරද නිශ්ශංක

සිනමා තරු මහා මංගල්‍යය හෙටයි...

රෑ තරු බබළනවා...
මල් පිපිලා වාගේ...
එළියෙන් නැහැවෙනවා...
මල් වැහැලා වාගේ...

සීතල උඳුවප් මාසය, නත්තල් කාලය, රෑ අහසේ බබළන තාරුකා වෙනදාට වඩා දීප්තිමත්. හරියට මල් වත්තක පිපී හිනැහෙන නෙක නෙක පැහැ ඇති මල් වගේ...

මේ දීප්තිමත් තාරුකා සෑම නත්තල් මාසයකම එක්‌ දිනෙක සීතල රැයක මහ පොළොවට පා තබන බව දැන් රහසක්‌ නොවේ. අවුරුද්දේ දවස්‌ තුන්සිය හැට හතරක්‌ ආකාසයේ දිදුලන මේ තාරුකා එක්‌ දවසක්‌ පමණක්‌ පොළොවට පා තබන්නේ ඇයි...

රූ රැසේ අඳිනා ලෙසේ අත්
ලෙලදිදී විදුලිය පබා...
රන්රසේ එක්‌වන ලෙසේ... වෙණ
නාද නූපා තබ තබා...

කම්පසේ දෙන සුර ලෙසේ දෙස
බල බලා නෙතඟින් සබා
මම් කෙසේ පවසමි එසේ වර
සුර ළඳුන් දුන් රඟ සොබා...

එදා සුර ළඳුන් ගුත්තිලයන්ගේ වෙණ නදට පා තබමින් නැටූ ආකාරයටම මේ තරු ගොන්නත් පොළොවට පා තබන්නේ සිත් ඇදගන්නා සුළු නර්තනයන් ඉදිරිපත් කරන්නේ... හැබෑවටම මේ මොහොත නෙත් සිත් වසඟ කරන තරු මංගල්ලයකි... රිදී රැයක්‌...

සිනෙස්‌ටාර් පදනම ජයන්ත ධර්මදාස නම් වූ කලාවට හිතැත්තා විසින් මීට අවුරුදු දහයකට දොළහකට කලින් ආරම්භ කළේ සිනමා අඹරේ පායා දිදුලන තාරුකාවලට. ඒ තරුවලට දීප්තියෙන් බබළන උදව් කරන අනෙකුත් ශිල්පීන්ට නිසි තැනක්‌ ලබාදීමේ අරමුණින්. ඒ අරමුණ වඩ වඩාත් ශක්‌තිමත් කරන්න තමයි අවුරුද්දට වරක්‌ සීතල උඳුවප් මාසයේ සිනමා අඹරෙන් බිමට බසින මේ තාරුකා ආදරණීය රසික රසිකාවියන්ගේ දෑස්‌ ඉදිරිපිට රඟන්නේ... අවුරුදු දහයක්‌ තිස්‌සේ රසිකයා ඉදිරියේ සජීවීව රැඟූ ආදරණීය තාරකා මේ අවුරුද්දෙත් රඟනවා. ඒ රිදී රැය උදා වෙන්නේ හෙට 21 දා හවස හතට බණ්‌ඩාරනායක අනුස්‌මරණ සම්මන්ත්‍රණ ශාලාවේදී.

අපේ සිනමා ශිල්පීන්ට අද යම්කිසි ගෞරවයක්‌ ඇතිව ජීවිතය ගෙවන්න අවස්‌ථාව උදාවී තිබෙනවා නම් ඒ තැන ලබාදී තිබෙන්නේ සිනෙස්‌ටාර් පදනම මගින්. රෝගී වූ කල ඕනෑම පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබන්න, ජීවිතයේ අනතුරුදායක අවස්‌ථාවකදී රක්‍ෂණාවරණයක්‌ ලබා ගන්න, වයෝවෘද්ධ වූ කල මාසික දීමනාවක්‌ ලබන්න සිනෙස්‌ටාර් පදනම සිනමා ශිල්පීන්ට ශක්‌තියක්‌. මේ සඳහා විශාල මුදලක්‌ අවශ්‍යයි. පසුගිය කාලයේ මෙන්ම මෙවරද "රිදී රැයක්‌" පවත්වන්නේ සිනෙස්‌ටාර්Êපදනමේ අරමුදල ශක්‌තිමත් කරන්න.

රිදී රැයක්‌, පසුගිය ප්‍රසංග දහය මෙන්ම මෙවරත් අපේ සිනමාවේ ජනප්‍රිය ගීතවලට ප්‍රවීණ තරුණ නළු නිළියන් සුන්දර රැඟුමන් ඉදිරිපත් කරන්න සූදානම්ව සිටිනවා. මෙවර විශේෂත්වය අපේ සිනමාවේ සිහින කුමාරයා වූ විජය කුමාරතුංගයන්ට දක්‌වන උපහාරය... එදා විජය සමග පෙම් ජවනිකා රැඟූ නිළියන් හතර දෙනෙක්‌ ඊට එක්‌වෙනවා. විජය වේදිකාවේ නොසිටියත් ඔවුන් හෙට විජය සමගින් ජනප්‍රිය ගීතවලට රැඟුමන් ඉදිරිපත් කරනවා. විජය මාලනී, විජය ගීතා, විජය ශ්‍රියානි, විජය සබීතා සොඳුරු යුගයන් රසිකයන්ට යළිත් ආවර්ජනය වන බව නම් නිසැකයි.

චන්න විඡේවර්ධන සහ නර්තන කණ්‌ඩායම මෙවරත් රිදී රැයක්‌ සඳහා නර්තන අධ්‍යක්‍ෂණයෙන් සහ නර්තනාංගවලින් දායක වෙද්දී සාරංග දිසාසේකර, අමාලි තිලකරත්න විශේෂ රංගනයක්‌ ඉදිරිපත් කරන්නේ දිසාසේකර පරම්පරාව තවත් ඉදිරියට ගෙන යැමට සූදානම් වන බවට ඉඟිපාමින්. තවද ජයන්ත චන්ද්‍රසිරි අධ්‍යක්‍ෂණය කළ සමනළ සංධවනය චිත්‍රපටයේ ඉකි ගසා හඩන ගීය උද්දික ප්‍රේමරත්නගේ රංගනයෙන් ඉදිරිපත් කෙරේ. අපේ ජනප්‍රිය නිළියන් කිහිප දෙනකු සමග ටෙනිසන් කුරේ මැජික්‌ සංදර්ශනයක්‌ ඉදිරිපත් කරන්නත් සූදානම්. ජයන්ත ධර්මදාස සමග එක්‌වෙමින් රවීන්ද්‍ර රන්දෙනිය, මාලනී ෙµdන්සේකා, ශ්‍රියානි අමරසේන, වීණා ජයකොඩි, ගීතා කුමාරසිංහ, සබීතා පෙරේරා, සංගීතා වීරරත්න, දිල්හානි ඒකනායක ඇතුළු නළු නිළි පිරිසක්‌ සිනෙස්‌ටාර් පදනමේ අධ්‍යක්‍ෂ මණ්‌ඩලය එක්‌ව වෙහෙසී ඉදිරිපත් කරන රිදී රැයක්‌ සඳහා මෙවරත් ශ්‍රී ලංකා ටෙලිකොම් සහ මොබිටෙල් අනුග්‍රහයෙන් දායක වේ.

මෙවරත් ශ්‍රී ලංකා ටෙලිකොම් සහ මොබිටෙල් අනුග්‍රහකත්වය දරයි

අජිත් අලහකෝන්
 

 
Powered By -


  සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.