සංස්‌කරණය : නාරද නිශ්ශංක

සුනිල් ටී. 54 වැනි නිපැයුම "දෝණි" ඊයේ සිට රිදී තිරයේ...

"දෝණි" සැම හදවත් සංවේදී කරන චිත්‍රපටයක්‌
- ප්‍රවීණ චිත්‍රපට නිෂ්පාදක සුනිල් ටී. ප්‍රනාන්දු

 

සිංංහල සිනමා වංශ කතාවේ වැඩිම චිත්‍රපට සංඛ්‍යාවක්‌ නිෂ්පාදනය කළ බොක්‌ස්‌ ඔµSස්‌ ආදායම් වාර්තා තැබූ කලාවට හිතැති, පෙරළිකාර චිත්‍රපට නිෂ්පාදකවරයා ඔහුය. "චණ්‌ඩි පැටව්" (ළමා චිත්‍රපටය), "මද්දුම බණ්‌ඩාර", "පුතුනි මට සමාවෙන්න", "කෝ හතුරෝ", "ජය අපටයි", "මමයි රජා" ඇතුළු චිත්‍රපට 59ක්‌ නිෂ්පාදනය කළ හෙතෙම ඊයේ (19 දා) සිට ඊ.ඒ.පී. මණ්‌ඩලයේ සිනමාහල් 55 කදී ප්‍රදර්ශනය ඇරැඹූ "දෝණි" චිත්‍රපටයේ ද නිෂ්පාදකවරයාය. "දෝණි" ඔහු විසින් නිෂ්පාදනය කරන්න යෙදුණු (තිරගත කළ) 54වැනි චිත්‍රපටය ය. එදා "වැඩිහිටියන්ට පමණයි" ලේබලය යටතේ තිරගත වූ චිත්‍රපට සහ මුළුමනින්ම වාණිජමය අගයක්‌ ගත් චිත්‍රපට නිෂ්පාදනයේ ප්‍රමුඛයා වූ හෙතෙම අද මිනිස්‌ හදවත් සංවේදී කරවන කතා තේමාවක්‌ රැගත් "දෝණි" චිත්‍රපටය සමගින් නැවතත් අප අභිමුවට පැමිණෙයි. මේ සිනමාවේ ජය කෙහෙළි නැංවූ ප්‍රවීණ චිත්‍රපට නිෂ්පාදක සුනිල් ටී. ප්‍රනාන්දු සමගින් "දිවයින සිනමා කලා" පවැත්වූ සංවාදීය සටහනයි.

"දෝණි" කියන්නේ... ඔබේ සිනමා නිෂ්පාදන ගමන් මඟේ යහපත් සිනමාවක්‌ උදෙසා ගත් වෙනස්‌ම ක්‍රියා මාර්ගයක්‌ කියා පැවසුවා. "වැඩිහිටියන්ට පමණයි" චිත්‍රපට නිපදවීම ඔබ විසින්ම වාරණයට ලක්‌ කළාද...?

ඇත්තෙන්ම..."දෝණි" කියන්නේ පවුලේ සැමට එක පේළියට එකට සිට නැරැඹිය හැකි, මිනිස්‌ හදවත් සංවේදී කරන ඉතාමත් ලස්‌සන චිත්‍රපටයකට. මේක කුඩා දැරියක්‌ වටා ගෙතුණු කතාවක්‌. ඊයේ සිට ප්‍රදර්ශනය ඇරැඹුණු නිසා මා වැඩි විග්‍රහයකට යන්නේ නෑ. "වැඩිහිටියන්ට පමණයි" කියන ලේබලයේ චිත්‍රපට හැදීම මම දැන් නතර කළා. කොහොමටත් මිනිස්‌සුන්ගේ ඒ "ටේස්‌ට්‌ එක" දැන් නෑ. දැන් අපේ මිනිස්‌සු බලන්න පුරුදුව ඉන්නේ පවුලේ කතා සහ අපේ ඉතිහාසය ගැන කියෑවෙන කතා. ඒක අලුත්ම ප්‍රවණතාවක්‌. ඒ වගේම අලුත් රැල්ලක්‌. "දෝණී" චිත්‍රපටයට සනත් ගුණතිලක, කමල් අද්දරආරච්චි, සංගීතා වීරරත්න, පබෝධා සංදීපනී ඇතුළු තවත් විශාල පිරිසක්‌ රංගනයෙන් දායක වෙනවා. අධ්‍යක්‍ෂණය කළේ ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්‍ෂ වී. සිවදාසන්.

ඔබ කියූ ප්‍රවණතාව දිගටම රඳවා තබාගැනීම වෙනුවෙන් ඔබත්, නිෂ්පාදන දායකත්වයන් එළිදැක්‌වූ බවද කියන්නේ...?

සත්තකින්ම ඔව්. මැද මාවතේ යන යහපත් සිනමාවක්‌ වෙනුවෙන් මම නිරතුරුව පෙනී සිටින්නට කැමැති චරිතයක්‌. ඒ වෙනුවෙන්ම මා පසුගිය කාල සමයේ දී "තණ්‌හා රතී රඟා", "සිනහව අතරින්", "අජාසත්ත" සහ "අනගාරික ධර්මපාල" කියන චිත්‍රපට නිෂ්පාදනය කළා. මේවා ඉදිරියේදී අපේ සිනමා රසකාමීන්ට යහපත් සිනමාවක උපරිම ආශ්වාදය ගෙන එයි.

චිත්‍රපට නිෂ්පාදකවරයකු වීමේ සිහිනය ඔබට පාසල් සමයේ සිටම ඇතිවූවක්‌..?

ඔව්. මට ඒ වෙනුවෙන් සම්පූර්ණ දිරිගැන්වීම් ලැබුණේ මගේ පියාගෙන්. ඔහු මට මගේ සිහිනය සැබෑවක්‌ කරගැනීමට නිරතුරුව සහාය වුණා. කොළඹ, මොරටුව ශාන්ත සෙබස්‌තියන් විද්‍යාලයේ මා අධ්‍යාපනය ලැබූ අවධියේ උසස්‌ පෙළට මුහුණ දෙනකොට කලාවට ඇතුල් විය යුතු බව සිතේ පැළපදියම් වුණා. ඒ වෙනුවෙන් එදා පාසලට චිත්‍රපට ගෙන්වලා ප්‍රදර්ශනය කළා. ගීතයට, සංගීතයට තිබුණු ආශාව නිසා ලතා වල්පොල මහත්මිය, මොහිදීන් බෙග් මහතා වැනි ප්‍රකට ගායන ශිල්පීන් ගෙන්වා පාසල තුළ සංගීත සංදර්ශන ඉදිරිපත් කළා. මොනවා කළත් චිත්‍රපට නිෂ්පාදකයකු වීමේ අදිටන නිතරම සිතේ තිබුණා. පාපන්දු, රෙස්‌ලින් සහ ජවන හා පිටිය ක්‍රීඩාවන්ටද එදා මං ඉහළ දක්‍ෂතා එළිදැක්‌වූවා.

දරුවන් ගැන කියෑවෙන චිත්‍රපට හැදීමට මෑතක සිට ඔබේ නැඹුරුව ඉහළ ගිය බවකුයි මා දකින්නේ...

ඇත්තෙන්ම ඔව්. මෙලොව සියල්ල මට ලැබුණේ දෙවියන් වහන්සේගේ කැමැත්තට අනුව බව තදින්ම විශ්වාස කරන පුද්ගලයෙක්‌ හැටියට මම හිතනවා මගේ පුතත් මට ලැබුණේ ඒ විදිහට කියලා. ඒත්... අකාලයේ මිලිනව ගිය මලක්‌ වගේ මගේ පුතා මට අහිමි වුණා. ඒක සදාතනික දුකක්‌. මම ඔහු වෙනුවෙන් දරුවන් ගැන කියෑවෙන "දරුවනේ" චිත්‍රපටය හැදුවා. මේ චිත්‍රපටයෙන් සමාජයට යහපත් පණිවිඩයක්‌ දායාද කරන්නට මට හැකිවුණා. "දෝණි"චිත්‍රපටයෙනුත් එවැන්නක්‌ කළ හැකි බව මට විශ්වාසයි. මම ඒ ලැබෙන ප්‍රතිචාර දෙස ඕනෑකමින් බලාගෙන ඉන්නවා.

චිත්‍රපට කිහිපයක්‌ අධ්‍යක්‍ෂණය කරන්නටත් ඔබ මේ වන විට සමත්කම් දක්‌වා තිබෙනවා...

ඔව්. "කෝ හතුරෝ", "කාම සූත්‍ර" සහ "දරු උපත" යන චිත්‍රපට මම අධ්‍යක්‍ෂණය කළා. ඒවායෙන් එදා සමාජය තුළ ලොකු කතිකාවක්‌ ඇතිවුණා. වර්තමානයේ තිබෙන කාර්යබහුලත්වය තමයි මාව අධ්‍යක්‍ෂණයෙන් දුරස්‌කොට තිබෙන්නේ. මට ඉවසීම නැහැ. හැබැයි දෙයක්‌ කළොත් වෙනස්‌ම විදිහට කරනවා. මේ පවතින දෙයට වඩා. එතකොටනේ සමාජ කතිකාවකට මාර්ගය නැවත විවර වන්නේ.

පිටපත් 35 සීමාව වෙනුවෙන් ඔබ චිත්‍රපට සංස්‌ථාව සමග නඩු හබයකටත් යොමුවුණා. මොකක්‌ද ඒකෙ අලුත්ම තත්ත්වය...?

ඒ නඩුව තාම යනවා. මම ඉන්නේ පිටපත් 55 සීමාවේ. "දෝණී" චිත්‍රපටයත් පිටපත් 55ක්‌ මුද්‍රණය කළා. තමන්ගේ නිර්මාණය මිනිස්‌සු අතරට යන බවට තමන් තුළම විශ්වාසයක්‌ තියනවා නම් පිටපත් 55 ට වැඩිය කළත් කමක්‌ නෑ. කොහොම වුණත් පිටපත් ප්‍රශ්නයේදී අපේ පැත්ත සාධාරණ බව දැන් සංස්‌ථාව පිළිඅරගෙන තිබීම අපේ ජයග්‍රහණයක්‌.

සම්මාන උළෙලයන් සඳහා එක්‌ව නිරතුරුව ඔබේ දායකත්වයන් පවා පුදකර සිටියත් ඔබට ලැබුණු ඇගයීමක්‌ නෑ...

ඇත්ත. ඒත්... මම කනගාටු වෙන්නේ නෑ. මොකද මෙතෙක්‌ මම කළ බොහෝ චිත්‍රපට වෙනුවෙන් වැඩිම ආදායම් වාර්තා තැබූ චිත්‍රපට සහ ජනප්‍රිය වූ චිත්‍රපට කියන සම්මාන නිරතුරුව ලැබී ඇති නිසා. මම කලින් සිනමා උළෙලයන් වෙනුවෙන් දායක වුණේ නෑ. නමුත් ඕ.සී.අයි.සී. සිනමා සම්මාන උළෙල පවත්වා ගැනීමට උපකාරයක්‌ ලෙස මා දායකත්වය දැක්‌වූවා. මගේ "දරුවනේ" චිත්‍රපටයත් ඊට ඉදිරිපත්ව තිබුණට කිසිම ඇගයීමක්‌වත් ඉල්ලා සිටියේ නැහැ. මම උපකාර කළා කියලා මගේ අතින් සම්මානයක්‌ දෙන්න වේදිකාවටවත් ගොඩවුණේ නැහැ.

සිනමාව කියන්නේ ඔබේ ජීවිතය හා බැඳුණු ස්‌ථානයකට කියා ඔබ පැවසුවා. එහි ගමන් මඟ දෙස වගකීමෙන් බලන පුද්ගලයකු හැටියට ඉදිරිය පැහැදිලිද...?

නැහැ. ඇත්තටම අද සිනමාව අමාරුවෙන් දුවන ආයතනයක්‌. අද රූපවාහිනී නාලිකාවන් සහ එෆ්.එම්. නාලිකාවන් සමග ලොකු තරගයක්‌ දිය යුතුයි. කතාව වගේම නළු නිළියෝ, කෘතිය ප්‍රබලව දායක කොටගත් හොඳ නිර්මාණයක්‌ නම් මේ තරගකාරී වටාපිටාවත් සමග උරෙනුර ගැටිය හැකියි. මේ සෑම තැනකදීම මුදල වැදගත්. මොනවා කළත් වැඩක්‌ නෑ ප්‍රචාරය හරියට කරගන්න බැරි නම්. මම කවදාවත් මීය කඩලා අත ලෙවකන පුද්ගලයෙක්‌ නොවෙයි. සිනමාව කියන්නේ මගේ ජීවිතය. මම මේක දාලා යන් නෑ. හැබැයි මම ආයෝජනය කරන නිර්මාණ ආදායම් ලැබිය යුතුයි. මම දිනන්නේ ආදායම් ලැබුවොත්. ඒක තමයි මට තවත් නිර්මාණයකට යන්න තියන එකම උත්තේජනය. මගේ ප්‍රාර්ථනාව සිනමාව සහ කලාව රැකගත හැකි සාර්ථක ඉදිරියක්‌ බලාපොරොත්තු වීමයි.

ආචාර්ය ලෙස්‌ටර් ඡේම්ස්‌ පීරිස්‌ සහ සුමිත්‍රා පීරිස්‌ කියන්නේ ඔබ ගරුකොට සලකන චිත්‍රපට ලෝකයේ දැවැන්ත චරිත දෙකක්‌...

ඇත්තෙන්ම ඔව්. ඔවුන්ට ගරු කිරීමක්‌ ලෙස මම සුමිත්‍රා මහත්මිය අධ්‍යක්‍ෂණය කළ "වෛශ්‍යාවී" චිත්‍රපටයේ වැඩ නිම කිරීමට දායකත්වය දැක්‌වූවා.

මා දන්නා පරිදි ඔබ මේ වන විට චිත්‍රපට 59ක්‌ නිෂ්පාදනය කළා. ඉන් 54 වැනි චිත්‍රපටය ලෙස තමයි ඊයේ සිට තිරගත වීම ඇරැඹූ "දෝණි" තිරයට ගෙන ආවේ. ඔබේ නිෂ්පාදන දායකත්වය රැගත් තවත් චිත්‍රපට තිරගත වීමට නියමිතව ඇති බවත් පැවසුවා...

සත්තකින්ම ඔව්. "දෝණි" මගේ 54වැනි චිත්‍රපට නිෂ්පාදනය. ඊට අමතරව "රංජා", "සිනහව අතරින්", "තණ්‌හා රතී රඟා", "වෛශ්‍යාවී" "කොස්‌තාපල් පුඤ්ඥසෝම", "තුන්පත් රෑන" (රේණුකා බාලසූරිය සමග සම නිෂ්පාදනය), "අජාසත්ත", "අනගාරික ධර්මපාල" කියන චිත්‍රපටත් ඉදිරියේ දී ප්‍රදර්ශනයට නියමිතව තිබෙනවා.

සිනමාවේ පෙරළිකාර නිෂ්පාදකවරයා වන ඔබ, පුංචි තිරය වෙනුවෙන් එතරම් උනන්දුවක්‌ නැති බවක්‌ පෙන්වනවා. ඒ... ඇයි..?

පුංචි තිරය වෙනුවෙන් මගේ ලොකු කැමැත්තක්‌ නැහැ. ඒත් එක නිර්මාණයක්‌ කළා "මන්දාකිණි" කියලා. ඒක ඉදිරියේ දී ස්‌වර්ණවාහිනියේ විකාශය වීමට නියමිතයි.

ආදරය කරලා ඉක්‌මනින්ම විවාහ වුණු බවටයි ආරංචි...

අනේ ඔව්. එහෙම කළේ ඇය නැතිවෙයි කියලා බයට. අද ඇය තමයි මගේ කලා දිවියේ යෝධ සෙවණැල්ල. ඉලංගිකා ප්‍රනාන්දු කියන්නේ එදා මගේ පෙම්වතිය. ඇගේ උපන්දිනය දවසෙම මම ඈව විවාහ කරගත්තා. දැන් ඇය මගේ ආදරණීය බිරිඳ. අපිට දෙවියන් වහන්සේ සෑම දෙයක්‌ම වගේ දරුවන් දෙදෙනෙකුත් ලබා දුන්නා. දෙවියන් විසින්ම මගේ රිකී පුතා නැවත ලබා ගත්තා. ඒ වියෝව තවමත් මගේ හදවතට දුකක්‌. දුව ක්‍රිස්‌ටීන් ඈන් ප්‍රනාන්දු බම්බලපිටිය හෝලි µeමිලි විද්‍යාලයේ අධ්‍යාපනය ලබනවා.

සිනමාවේ සුන්දර මතක රැන්දූ චිත්‍රපට නිෂප්දානය කළ ඔබට එහිදී මුණගැසුණු අපේ සිනමාවේ ශිලපීන් පිළිබඳවත් කතා කළ යුතු මතකයන් ඇති. ඒවා වර්තමානය සමග සැසඳුවොත්...

ඇත්තටම සිනමාවේ මගේ මුල් යුගය වගේම විජය, ජීවන්, සනත්, රවීන්ද්‍ර, රොබින්, රෙක්‌ස්‌ වැනි ප්‍රවීණ රංගධරයන් සමග එක්‌ව කටයුතු කළ කාලය කිසිදාක සිතින් මැකී නොයන මතකයන් හැටියට පැවසිය හැකියි. ඔවුන් වෙලාවට වැඩකළා. කිසි දිනක මුදල කියන සාධකය පෙරට දැම්මෙ නෑ. ඒත් අද තියෙන්නේ හැම දේකින්ම "බිසී" වෙච්ච ලෝකයක්‌. අද රංගන පරපුරේ හුඟක්‌ අය වෙලාවට වැඩ නැතත්, මුදල මත පදනම්ව තමන්ගේ ගමන යන්නන් පිරිසක්‌ බවට පත්වෙලා. ඒක කලාවේ අනාගතයට එතරම් යහපත් නැහැ.

සංවාද සටහන- සුජීව තත්සර

 

 
Powered By -


  සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.