සංස්‌කරණය : නාරද නිශ්ශංක

දැන්..මගේ ඉදිරිය පැහැදිලියි
- උදේනි නදීකා පීරිස්‌

රූපවාහිනි මහගෙදර වන ස්‌වාධීන රූපවාහිනියේ දී විකාශය නිමාව දුටු 'පබා' ටෙලි නාට්‍ය නිර්මාණයේ ඈ නිරූපිත චරිතය වූ 'මාර්තා' නිසාවෙන් ප්‍රේක්‌ෂක හද බැඳ ගැනීමටත්, ප්‍රවීණ නිර්මාණවේදීන් ගේ නිර්මාණ වෙනුවෙන් නිබඳව දායක වීමටත් ඈ වාසනාවන්ත වූවාය. එහෙත්.. ජීවිතය යනු ප්‍රශ්නවලින් පිරුණු තැනකි. බෝහෝ මිනිසුන් එවැනි ප්‍රශ්න අභිමුවෙහි සසළ වෙති. දුක්‌වෙති. මානසිකව ඇද වැටෙති. සමහරුන් ප්‍රශ්න ඇතිකරගන්නේ සිතාමතාය. තවත් සමහරු හොදින් ජීවිතයට මුහුණ දෙමින් සිටින්නන් ප්‍රශ්න කරා ඇදගෙන යන්නේ බලහත්කාරයෙනි. මේ අප දිවි ගෙවන සමාජයේ ස්‌භාවයයි. නමුත් මේ සියල්ලට නිවැරදිව සහ අධිෂ්ඨානශීලීව මුහුණ දෙන්නන් අවසානයේ සැනසීම ළඟාකර ගනුයේ තමන්ගේ නිදොස්‌ බව ද ලොවට පසක්‌ කරමිනි. අද අප කතා නායිකාවද ඉකුත් කාල සමයේදී එක්‌තරා සිඳුවීමකට නතුව කතා බහට ලක්‌වූවියකි. ඒ සිද්ධිය හමුවේ ඇය යම් මානසික පසුබෑමකට ලක්‌වූ බවත්, කලාවේ නාමයෙන් එයට මුහුණ දෙමින් අවසානයේ සාධාරණය හිමිකර ගැනීමට තමා වාසනාවන්ත වූ බවත් අපට පැවසූවාය. මේ.. අදත් පුංචි තිරය හරහා ඔබට සමීප, ජනප්‍රිය රංගන ශිල්පිනි උදේනි නදීකා පීරිස්‌ සමග අප කළ කතා බහයි.

එදා ඔබට අසාධාරණයක්‌ සිඳුවුණැයි කියන ඒ සිඳුවීම ගැන අද මොනවද කියන්නට තිබෙන්නේ..?

ඒ සිද්ධිය වූණේ 2011 දී. කලාව තුළ මම යනෙන සාර්ථක ගමන බලා සිටින්නට බැරිවුණු කිසිවකු විසින් කරන ලද අසාර්ථක උත්සාහයක්‌ විඳිහටයි මම අද මේක දකින්නේ. එදා මාව වැරදි කාරියක්‌ කරන්න, වරදකට කොටු කරන්න, ඒ සිද්ධියෙන් උත්සාහ කළා. මට පුළුවන් තරම් අපහාස කළා. අන්තර්ජාලයෙන් සහ තවත් නොයෙක්‌ ක්‍රමවලින් මඩ ගැහුවා. කලා නිර්මාණ වෙනුවෙන් යොමුවීමට තිබුණු අවස්‌ථා නැති කරන්න උත්සාහ කළා. ඒත් ප්‍රවීණ නිර්මාණ ශිල්පීන් බොහෝ පිරිසක්‌ යටතේ මා වැඩ කළා. ඔවුන් ඇත්ත දැනගෙන සිටියා. නමුත් අපේම සමහර රංගන ශිල්ප ශිල්පිණින් පවා කරණු හරිහැටි නොදැන මට මඩ ගැහුවා. නමුත් මම මේ සෑම ප්‍රශ්නයකටම එදා මුහුණ දුන්නේ කෙදිනක හෝ සත්‍ය ඔප්පුකර පෙන්වනවා යෑයි දැඩි අධිෂ්ඨානයෙන් යුතුවයි. එදා සමහර මාධ්‍යයන් පවා මා ගැන රටට ඉදිරිපත් කළේ වැරදි තොරතුරු. මේ ප්‍රශ්නය නිසා මම වසර දෙකකට වැඩි කාලයක්‌ නොයෙක්‌ අපහසුතාවනට මුහුණ දුන්නා. මට විරුද්ධව තිබුණු නඬුව බාරව තිබුණේ නීතිපති දෙපාර්තමේන්තුවට. ඒත් අවසානයේ මා වෙත ගොනු කොට තිබුණු සාක්‌ෂි ප්‍රමාණවත් නෙවුණු නිසා මා නිදොස්‌ කොට නිදහස්‌ කර සාධාරණය ඉටු කිරීමට නීතියට හැකි වුණා. මගේ අධිෂ්ඨානය ජය ගත්තා. මම කලාවේ මෙතෙක්‌ නිරූපණය කළෙත් වැදගත් චරිත. මගේ රටේ ප්‍රේක්‌ෂකයෝ ඒක දන්නවා. ඉතිං මට සාධාරණය ඉටුවීම ඇත්තටම මානසිකවත්, කායිකවත් අද සතුට දනවන්නක්‌.

ඔබ කලාවට පිවිසියේ ප්‍රමාදව..?

ඒක ඇත්තක්‌. මට කලාවට යොමුවීමට ආශාව ඇතිවුණේ පාසල් සමයේදීමයි. ඒත්... මම හිතුව තරම් ඉක්‌මනින් එයට ඇතුළුවෙන්නට එදා නිවසින් කැමැත්ත ලැබුණේ නැහැ. මගේ සහෝදරයෝ එයට විරුද්ධ වුණා. නමුත් විවාහයෙන් පසුව මට මගේ කලා දක්‍ෂතා මතුකර ගනිමින් ඉන් නිසි ප්‍රයෝජන ගැනීමට අවස්‌ථාව උදා වුණා.

මෙතෙක්‌ ඔබ නිරූපිත කුමන චරිත හරහාද ප්‍රේක්‌ෂකයින් ඉඳිරියේ වැඩිපුර 'කැපී' පෙනුනේ..?

'පබා' ටෙලි නිර්මාණයේ 'මාර්තා' සහ 'සිහින වසන්තේ' දුක්‌විඳින මව හුඟක්‌ ජනප්‍රියයි. සමහර චරිත වෙනුවෙන් ජීවය මැවීමට මේ පවතින සමාජයම මට රුකුලක්‌ වුණා. 'කාව්‍යා', 'වසූදා', 'කිඳුරංගනා', 'සිහින වසන්තයක්‌', 'ඉසුරු ගිරි තරණය', 'වැහිලිහිනි' සහ 'පිත්තල කොණ්‌aඩෑරුම' ටෙලි නිර්මාණවල මා කළ චරිත ජනතාව අතරට ගියා. හොඳ ප්‍රතිචාර ලැබුණා සහ ලැබෙමින් පවතිනවා. කොහොමත් මා රඟපෑ ටෙලි නාට්‍ය 50ක්‌ පමණ දැනට විකාශය වුණා.

පුංචි තිරය වෙනුවෙන්...මේ දිනවල මොනවද කරන්නේ..?

අනුර වරාගොඩ මහතාගේ 'දෙරණා ගමනය' වෙනුවෙන් කුරුණෑගල සහ රන්මිහිතැන්නේ දී රූපගත කිරීම්වලට එක්‌ වුණා. මෙහි මම ප්‍රධාන චරිතයක්‌ කරනවා. චන්ද්‍රරත්න මාපිටිගමගේ 'හිරු ඇවිත් රෑ' ටෙලි නිර්මාණයටත් එක්‌ වුණා. මේ ටෙලි නාට්‍ය දෙකම නුදුරේදීම විකාශයට නියමිතයි. මේ දිනවල විකාශය වන 'මිරිඟු දිය' ටෙලි නාට්‍යයේ මගේ චරිතයත් 'උදේනි'. 'ඉස්‌සරහට යන්න' හි රහස්‌ පරීක්‌ෂක චරිතයක්‌. 'සඳ සාවී' එකේ මම නිරූපණය කරන්නේ චන්ද්‍රdනි කියන මවගේ චරිතය. ඉතිං මේවටත් ලැබෙන ප්‍රතිචාර හුගක්‌ හොඳ බව කියන්න ඕනෑ.

සිනමාව වෙනුවෙන් දැක්‌වූ දායකත්වය ප්‍රමාණවත් ද ..?

හුඟක්‌ ජනප්‍රියවීමේ අදහසින් සිටියා නම් චරිත සොය සොයා ගිහින් ඒ අරමුණට පහසුවෙන් ළඟාවෙන්න තිබුණා. මම කොතැනකදීවත් චරිතවලට කොටු නොවුණු ගැහැනියක්‌. හැබැයි චරිත තෝරා ගැනීමක්‌ සිදු කරනවා. මගේ වයසට සහ චරිතයට දිය හැකි සාධාරණය ගලපා බලනවා. අනික අද මම දරු දෙදෙනකුගේ මවක්‌. එයත් සිහි තබා ගත යුතු දෙයක්‌. කොහොමටත්, මට මුල් කාලයේ චිත්‍රපට ලැබුණේ නැහැ. පසුව මාපිටිගම මහතාගේ 'උයනට මල් ගේන්න' සහ 'ජොලි ඇන්ඩ් ප්‍රීති' චිත්‍රපට දෙකේම රඟපෑවා. මේ දකෙම ප්‍රදර්ශනයට සූදානම්. වේදිකාවේ, පුංචි තිරයේ සහ රිදී තිරයේ වුවත්, ජනප්‍රිය වෙන්න ප්‍රධාන චරිතය හෝ පෙම්වතියගේ චරිතයම කරන්න අවශ්‍ය නැහැ. දැන් මම කලාවේ යම් තැනක සිටින නිසා සිතා බලා තීන්දු තීරණ ගත හැකියි.

දශකයකට ආසන්න වු ඇගේ කලා දිවියේ දී නිර්මාණ වෙනුවෙන් දැක්‌වූ දායකත්වයන් සහ දක්‍ෂතාවන් ඇගේ ඉදිරි ගමනට ද අත්වැල් සපයන ශක්‌තිය වනු ඇත. උදේනි නදීකා පීරිස්‌ ජනප්‍රිය කලා ශිල්පිනියගේ ඉදිරි කලා දිවියට අපි සුබ පතමු.

සුජීව තත්සර
ඡායා- ප්‍රියන්ත මද්දුමආරච්චි

 
Powered By -


  සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.