සමස්‌ත ලංකා සමස්‌ත ඉන්දියා ධීවර ප්‍රශ්නය

කවුරු කොහොම කිව්වත් ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර "මාළු ප්‍රශ්නය " හැර වෙන කිසිදු ප්‍රශ්නයක්‌ නැත. 1970 ට පෙර තිබූ කල්ලතෝනි ප්‍රශ්නය දැන් නැත. වතු කම්කරු ප්‍රශ්නය ද ශ්‍රී ලංකාවේ ආර්ථිකයට සහ ජන සමාජයට අනුගත ව තිබෙන නිසා සමස්‌ත අර්බුදය තුළ තිබෙන එක අර්බුදයක්‌ පමණක්‌ හැටියට එය රෙජිස්‌aටර් වී අවසන් ය. එහෙත් දෙරටේ මිනිසුන් මාළු බිස්‌නස්‌ කරන තාක්‌ මාළු අර්බුදය නම් අවසන් වන්නේ නැත. අප මාළු අල්ලන්නේ අපට කන්නටය. ඉන්දියාව මාළු අල්ලන්නේ පිටරටවලට කන්නටය. සෑම අවුරුද්දක්‌ අවසානයේදීම මේ කාරණයට අදාල ශේෂ පත්‍රය ගෙන බැලුවොත් පාඩුව ඉන්දියාවට නොව අපටය. මේ පාඩුව හැම අවුරුද්දකම ඉහළ යයි. ශ්‍රී ලංකාව යනු ඈත අතීතයේ පටන් අන් අයගේ හිත සුව පිණිස බොහෝ පාඩු කරගත් රටකි. වතු කම්කරු ප්‍රශ්නය මෙන් "පාඩු" ද අපේ ලේවලටම අනුගත වී අවසන් ය.

තමිල්නාඩුවේ හිර කූඩුවල දමා සිටින ශ්‍රී ලාංකික ධීවරයන් නිදහස්‌ කරන ලෙස ඉල්ලා හලාවත කොළඹ පාරේ තෝප්පුව මංසන්ධියේදී පෙරේදා (18 දා) පැවැති උද්ඝෝෂණයක්‌ ගැන ඊයේ (19 දා) "දිවයිනේ" මුල් පිටුවේ පළ විය. මේ ධීවරයන් නැතිව ඔවුන්ගේ පවුල්වලට නඩත්තු විය නොහැකිය. ඔවුන් අත්අඩංගුවට ගත් තමිල්නාඩු වෙරළාරක්‍ෂක සේවාව විසින් එම පවුල් නඩත්තු කරනු නොලැබේ. අත්අඩංගුවට පත්වන ලාංකික ධීවරයන්ට ඉතා නරකට පහර දීමේ පුරුද්දක්‌ ඉන්දියන් නාවික හමුදාවට තිබේ. මහඇමැති ජයලලිතා මේ අත්අඩංගුවට ගැනීම් දිගටම පවත්වාගෙන යන්නට ඉඩ දෙන්නේ ලංකාවෙන් පළි ගන්නා බව තමන්ට මුදල් වැය කරන මාළු මුදලාලිලාට පෙන්වීමටත් එක්‌ක ය. මෙම මුදල් වැය කිරීම යනු ජයලලිතාට සාරි, සෙරෙප්පු, රත්තරන් බඩු හෝ මේකප් බඩු ගැනීමට කරන වෑයමක්‌a නොව ඇගේ පක්‍ෂයේ ඡන්ද වැඩ සඳහා කරන වියදම් ය.

සමස්‌ත ලංකා - සමස්‌ත ඉන්දියා මාළු අර්බුදය යුද්ධ කාලයේදී යටගොස්‌ තිබූ කර්මාන්තයකි. ඒ කාලයේදී කොටින්ට කප්පම් ගෙවා උතුරු නැගෙනහිර මුහුදේ, පෝක්‌ සමුද්‍ර සන්ධිය හරහා මාළු බෑමට දෙපාර්ශ්වයට ම ඉඩ ලැබිණ. එහෙත් එය ව්‍යාපාරයක්‌ වශයෙන් පාඩු වූයේ ශ්‍රී ලංකාවේ නාවික හමුදාව "ඇතැම් විට" දැඩි ප්‍රතිපත්තියක්‌ අනුගමනය කළ නිසා ය. මෙහිදී "ඇතැම් විට" යන්න නැවතත් අවධාරණය කරමු.

ඉන්දියානු ධීවරයන්ගේ මාළු බෑමේ ක්‍රමවේදය ඉතා දරුණු ය. ඔවුන් සතුව විශාල ටෝලර් යාත්‍රා තිබේ. ඒවා මගින් මුහුදු පත්ල කළඹා මත්ස්‍යයන් අන්ද මන්ද කළ හැකිය. මෙවැනි ට්‍රොaලර් හමුදා පිටින් උතුරට හා නැගෙනහිරටත් ගාල්ලටත් පැමිණෙන අතර සතියක්‌ තුළ එම මුහුදේ සිටින මසුන් සියලුම දෙනා අල්ලාගෙන යැමට එම හමුදාවට පුළුවන. මෙය නීති විරෝධී ක්‍රමයකි. මෙය Bottom Trawling යනුවෙන් හැඳින්වේ. මීට අමතර Pair Trawling නමැති ක්‍රමයක්‌ ද ඉන්දියානුවෝ අනුගමනය කරති. මේ ක්‍රමය නම් විශාල බෝට්‌ටු දෙකක්‌ එකිනෙකට සම්බන්ධ වූ විශාල දැලක්‌ යොදා මුහුදු පත්ල පීරාගෙන යැම ය. එවිට කන නොකන සියලු මාළු ද, සියලු කැස්‌බෑවෝ ද, සියලු මුහුදු ඌරෝ ද, සියලු ජෙලි µsෂ් වර්ග ද, සියලු දුර්ලභ මත්ස්‍ය වර්ග ද දැලට විත් සමුද්‍ර පත්ල කාන්තාරයක්‌ බවට පත්වෙයි. Bottom Trawling ක්‍රමය මෙයට වඩා ටිකක්‌ නම්බුකාරය. Pair Trawling ක්‍රමය ඉතා කාලකණ්‌ණිය.

තමිල්නාඩුව සහ ලංකාව අතර තිබෙන මාළු ප්‍රශ්නය විසඳීමට ඉන්දියන් ආණ්‌ඩුව මේ දිනවල කිසිදු උත්සාහයක්‌ නොගන්නා බව අපට විශ්වාසය. මන්ද, මීළඟ ඉන්දියානු මැතිවරණය ළඟ එන නිසාය. එහිදී දිනන්නේ රාහුල් ගාන්ධි වේවා, නරේන්ද්‍ර මෝඩි වේවා, ඒ කාටත් තමිල්නාඩුව අවශ්‍යය. මේ අනුව ඉන්දියන් හිර ගෙවල්වල සිටින ලාංකිකයන් නිදහස්‌ කර ගැනීමෙන් පමණක්‌ සැනසෙන්නට අපට සිදු වන්නේය.

 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.