විශ්‍රාම වැටුප් ක්‍රියාවලිය සංවර්ධනය සඳහා රුකුලක්‌ වේද?

ශ්‍රී ලාංකික සමාජය අතීතයේ පටන් සිය යුතුකම් හා වගකීම් මැනවින් ඉටුකරන කළගුණ දත් අෙන්‍යාaන්‍ය බැඳීමකින් යුතුව සිය චර්යාව ගොඩනගාගත් පිරිසක්‌ ලෙසින් සමාජගතව ඇති බව දෙස්‌ විදෙස්‌ පිළිගැනීමයි. එබැවින් ලොව අන් රටවල් සමගින් සංසන්දනාත්මකව බැලීමේදී ලාංකිය සමාජයේ සාමාජිකයන්, දෙමාපියන්, වැඩිහිටියන් මෙන්ම ගුරුවරුන් කෙරෙහි දක්‌වන්නේද ඉමහත් බැඳීමකි. මෙම බැඳීම නිරායාසයෙන් පරපුරෙන් පරපුරට පැවැත එන සුන්දර චාරිත්‍රාංගයක්‌ බවට පරිවර්තනය වී ඇත. එබැවින් අපේ වැඩිහිටි පරපුර මෙරට ජ්‍යෙෂ්ඨ පුරවැසියන් ලෙසින් තම ජීවිත කාලය පුරාවට උකහා ගන්නා ලද දැනුම් සම්භාරය තව දුරටත් සමාජගත කරමින් රටෙහි දිශානතිය නිවැරදිව හැසිරවීමට අවැසි මගහසර සකසන්නේය. එය රටෙහි ආර්ථික ප්‍රවාහය සක්‍රීයණය කිරීමේ දී, සමාජ සංස්‌කෘතිය වැඩිදියුණු කිරීමේදී, දේශපාලන නවීකරණය කිරීමේදී, අධ්‍යාපනය ප්‍රචලිත කිරීමේදී. තවමත් තිරය පිටුපසින් සිට අවැසි ශක්‌තිය ලැබ දෙන්නේ මෙම පරිණත වැඩිහිටි ප්‍රජාවයි. එබැවින් මෙවන් සේවාවන් රටට සැපයූ සහ සපයන ජ්‍යෙෂ්ඨ පුරවැසි ප්‍රජාව වෙත සෙත සැලසීම සඳහා විවිධ සමාජාරක්‍ෂණ ප්‍රතිලාභ සම්පාදනය තුළින් ඔවුන් වෙත කළගුණ සැලකීම, ඔවුන් සමාජයේ හුදෙකලා නොකිරීම, ඉච්ඡාභංගත්වයට පත් නොකිරීම තුළින් ඔවුන් තවදුරටත් මෙම යාන්ත්‍රණය තුළ ජව සම්පන්න කිරීම කාලීන හා උපායශීලී මෙන්ම සදාචාරාත්මක අවශ්‍යතාවයක්‌ සේම රටෙහි ජාතික අවශ්‍යතාව ශක්‌තිමත් කිරීමකි.

ශ්‍රී ලංකාවේ සමාජාරක්‍ෂණ ප්‍රතිලාභ සලසාදෙනු ලබන වැඩසටහන් අතර විශ්‍රාම වැටුප් ප්‍රතිදානය ඉතාමත් විශාල වැඩසටහනක්‌ වන අතර ඒ තුළින් රටක්‌ හා සමාජයක්‌ ලෙසින් ළඟා කරගෙන ඇති ප්‍රතිලාභයන් හා තව දුරටත් ළඟා කරගත යුතු සමාජාර්ථික ප්‍රතිලාභ කුමනාකාරද යන්න පිළිබඳ විපරම් කිරීම කාලීන වටිනාකමකි. විශේෂයෙන් සංවර්ධනය වන රටක්‌ ලෙස ශ්‍රී ලංකාව සිය ආර්ථික, සමාජ, සංස්‌කෘතික සංවර්ධනය ළඟා කරගැනීමේ දී රාජ්‍ය අංශය අතිප්‍රබල ලෙස ඒ සඳහා මැදිහත් වෙමින් රට නිවැරැදි දිශානතියක්‌ ඔස්‌සේ ගමන් කරවීමට අවැසි කටයුතු ඉටු කරනු ලබයි. එහිදී විශාල ශ්‍රම බලකායක්‌ රාජ්‍ය අංශයේ සේවා නියුක්‌ත වී සිටින අතර එම රාජ්‍ය සේවකයන් සේවය අවසන් කරන ලද අවස්‌ථාවේදී නියමිත සුදුසුකම් සපුරා තිබේ නම් විශ්‍රාම වැටුප් ප්‍රතිලාභ ලබා ගැනීම සඳහා හිමිකම් ලැබේ. මේ ආකාරයෙන් විශාල පිරිසක්‌ මේ වන විට විශ්‍රාම වැටුප් ප්‍රතිලාභ ලබාගනු ලබන අතර දෛනිකව මෙම ප්‍රතිලාභ ලබා ගැනීම සඳහා අලුතින් සැලකිය යුතු පිරිසක්‌ විශ්‍රාමික ප්‍රජාව වෙත එකතුවේ. ඒ අනුව මෙම විශ්‍රාමික ප්‍රජාව වෙත අදාළ විශ්‍රාම වැටුප් ප්‍රතිලාභ ලබාදීම සඳහා වාර්ෂිකව විශාල මුදල් ප්‍රමාණයක්‌ ජාතික අයවැයෙන් වෙන් කරනු ලබන අතර එම ප්‍රතිපාදන ජාතික ආදායමට වැය බරක්‌ පමණක්‌ය යන මතය ඉස්‌මතු කිරීමට වෙරදරන පිරිස්‌ද මෙම සමාජය තුළ නැතුවාම නොවේ. එහෙත් සමාජාර්ථික සංවර්ධනය හුදෙක්‌ පටු සීමාවකට ලඝූ නොකොට එම ප්‍රතිලාභය ගලායනු ලබන දිශානතිය හා එහි ප්‍රතිලාභ නැවත සමාජගතව දෙනු ලබන ප්‍රතිපාදනයන් විමර්ශනය කිරීමේදී විශ්‍රාම වැටුප් ගෙවීම සමාජාර්ථික සංවර්ධනයේදී ඉවහල් වන ආකාරය පිළිබඳ පැහැදිලි තහවුරුවක්‌ ලබා ගත හැකිය.

ශ්‍රී ලංකාවේ විශ්‍රාම වැටුප් ක්‍රමය 1875 වර්ෂයේ සිට ආරම්භ වී ඇත. 1898 සිට වැන්දඹු අනත්දරු දායක විශ්‍රාම වැටුප් ක්‍රමය නීතියක්‌ වශයෙන් ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක විය. අනතුරුව 1906 දී මෙම ක්‍රමය අහෝසි වී සිවිල් විශ්‍රාම වැටුප් ක්‍රමය හා වැන්දඹු හා වැන්දඹු අනත්දරු විශ්‍රාම වැටුප් ක්‍රමය ආරම්භ විය. 1934 පෙබරවාරි 05 වැනි දින නිකුත් කළ විශ්‍රාම වැටුප් ව්‍යවස්‌ථා සංග්‍රහය මගින් විශ්‍රාම වැටුප් ක්‍රමයට නෛතික පදනමක්‌ ලබා දී තිබේ. විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව 1970 දී ඒ ශ්‍රේණියේ දෙපාර්තමේන්තුවක්‌ ලෙස ස්‌ථාපනය කරන ලදී, වර්තමානයේ විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව රාජ්‍ය පරිපාලන හා ස්‌වදේශීය කටයුතු අමාත්‍යාංශයට අයත් දෙපාර්තමේන්තුවක්‌ ලෙස ක්‍රියාත්මක වේ.

විශ්‍රාම වැටුප් ව්‍යවස්‌ථා සංග්‍රහයට අනුව විශ්‍රාම වැටුපක්‌ යනු 1946 ශ්‍රී ලංකා රාජ්‍ය ආඥවෙහි ආණ්‌ඩුව වෙනුවෙන් රජයේ සේවයේ නියුක්‌තව සිටි හෝ විශ්‍රාම ගිය සියලුම පුද්ගලයන්ට, ඔවුන්ගේ වැන්දඹුවන්ට, දරුවන්ට හෝ යෑපෙන්නන්ට ලබා ගැනීමට හිමිකම් ලබන ප්‍රතිලාභයකි. මෙහිදී යම් යම් නීතිමය විධිවිධාන යටතේ යම් යම් සුදුසුකම් සම්පූර්ණ කිරීම හා කොන්දේසිවලට යටත්ව මෙම ප්‍රතිලාභය ලැබිය හැකිය.

වර්තමානයේ විශ්‍රාම වැටුප් ප්‍රතිලාභ ගෙවීමේ වැඩසටහනේදී මිලියනයකට අධික රාජ්‍ය සේවක පිරිසක්‌ එමගින් ආවරණය කරනු ලබන අතර පළාත් සභා රාජ්‍ය සේවකයන්, මධ්‍යම රජයේ රාජ්‍ය සේවකයන් හා අධිකරණ නිලධාරීන් හැරුණු විට සන්නද්ධ සේවා නිලධාරීන් සේවය අවසන් කරනු ලබන අවස්‌ථාවේදී ඔවුන් විශ්‍රාම වැටුප් ප්‍රතිලාභ සඳහා හිමිකම් කියයි. මෙහිදී සේවයෙන් විශ්‍රාම යන විශ්‍රාම වැටුප් හිමි රාජ්‍ය සේවකයා හට ඔහුගේ ජීවිත කාලය පුරාවටම විශ්‍රාම වැටුප් ප්‍රතිලාභ ලැබෙන අතර ඔහුගේ හෝ ඇයගේ ඇවෑමෙන් එම කලත්‍රයාට වැන්දඹු, වැන්දඹු පුරුෂ විශ්‍රාම වැටුප ජීවිත කාලය පුරාවටම හිමිකම් කියයි. ඊට අමතරව විශ්‍රාම වැටුප් හිමි තනතුරක සේවයේ නියුක්‌ත රාජ්‍ය සේවකයා හෝ විශ්‍රාමිකයාගේ ඇවෑමෙන් ඔහුට රැකියා විරහිත අවු. 26 ට අඩු දරුවන් සිටීනම් එම දරුවන් වෙත අනත්දරු ප්‍රතිලාභ ලෙස ඔවුන් වයස අවු. 26 දක්‌වා රැකියාවක නිරත වන තෙක්‌ එම ප්‍රතිලාභ හිමිගන්වයි. එපමණක්‌ නොව රාජ්‍ය නිලධාරියාගේ ඇවෑමෙන් පසු ඔහුට හෝ ඇයට ආබාධිත දරුවන් සිටී නම් එම ආබාධිත දරුවාගේ ජීවිත කාලය පුරාවට ආබාධිත විශ්‍රාම වැටුපක්‌ සේ මාසික වැටුප් හිමි ගන්වනු ලැබේ. මේ ආකාරයෙන් යම් රාජ්‍ය සේවකයකු එක්‌ දිනක්‌ හෝ විශ්‍රාම වැටුප් හිමි පත්වීමක සේවය කර මියගිය හොත් ඔහු හෝ ඇය වෙත මාසික විශ්‍රාම වැටුප හැර ඉහත සඳහන් සියලු ප්‍රතිලාභ ඔහුගේ කල ත්‍රයා හා දරුවන් වෙත හිමි ගැන්වේ. මේ ආකාරයට යම් පුද්ගලයකු රාජ්‍ය සේවයේ ස්‌ථිර තනතුරකට පැමිණීම ඔහුගේ හෝ ඇයගේ පමණක්‌ නොව සමස්‌ත දරු පවුල වෙතම සුවිශාල රැකවරණයක්‌ හා ස්‌ථාවරත්වයක්‌ ලැබෙන ප්‍රතිලාභයක්‌ බවට පත්වේ. මෙවන් රැකවරණයක්‌ අන් කිසි රක්‍ෂණ ක්‍රමයකින් හෝ වෙනත් කවර ප්‍රතිලාභ ක්‍රමයකින් නොලැබෙනු ඇත.

විශ්‍රාම වැටුප් ගෙවීම සඳහා රජය වාර්ෂිකව විශාල මුදලක්‌ වැය කරනු ලබයි. එය කොතරම්ද යත් මෙරට ආරක්‍ෂක වියදමට නැතහොත් අධ්‍යාපන වියදම අභිභවා ගිය පිරිවැයකි. මෑත වකවානුව තුළ විශ්‍රාම වැටුප් වියදම ශීඝ්‍රයෙන් වැඩිවී ඇත. මීට හේතුව වී ඇත්තේ අන් කවර කාලයකවත් නොවූ විරූ අයුරින් රාජ්‍ය සේවාව වෙත ජනතාවගේ එකතුවීමයි. ඒ හැරුණු විට රාජ්‍ය සේවය පුළුල් වීම, විශ්‍රාම ගැන්වීමේ නව විධිවිධාන හඳුනවා දීම, විශ්‍රාමිකයන් සඳහා ජීවන වියදම් දීමනා ලබා දීම, රාජ්‍ය සේවක වැටුප් වැඩි වීම හා ඊට සමාන සමගාමීව විශ්‍රාම වැටුප් ද වැඩි කිරීම, විශ්‍රාම වැටුප් විෂමතා ඉවත් කිරීම. රටේ පැවැති යුද්ධය හේතුවෙන් වැන්දඹු හා අනත්දරු විශ්‍රාම වැටුප් ප්‍රතිලාභීන් සංඛ්‍යාව වැඩි වීම, විශ්‍රාම වැටුප් විෂමතා ඉවත් කිරීම හා ජන ගහනයේ ආයු අපේක්‍ෂාව ඉහළ යැම ආදී සාධක මේ සඳහා හේතු කාරක විය.

විශ්‍රාම වැටුප් ගෙවීම රජයේ ඒකාබද්ධ අරමුදලින් ගෙවනු ලබන අතර එම වියදම සංක්‍රාම ගනයට ගැනෙන වියදම් ලෙස සලකනු ලබයි. මෙහිදී සංක්‍රාම වියදම් ලෙස හඳුන්වනු ලබනනේ රජය යම් පාර්ශවයක්‌ සඳහා කරනු ලබන වියදම් වෙනුවෙන් එම පාර්ශවයෙන් රජයට කිසිදු ප්‍රතිලාභයක්‌ නොලැබෙන ආකාරයේ වියදම් සඳහාය. මෙහිදී එක්‌ දිශාවකට පමණක්‌ ගලායන වියදම් මේ ගනයට අයත්ය, එහෙයින් මෙවැනි වියදම් ඒකාබද්ධ අරමුදලට වැය බරක්‌ ලෙස ආර්ථික විශ්ලේෂකයන් පෙන්වා දෙනු ලැබේ. එහිදී විශ්‍රාම වැටුප් ගෙවීම ඒකාබද්ධ අරමුදලට වැය බරක්‌ ගෙන දෙනු ලබන වියදමක්‌ පමණක්‌ය යන්න ආර්ථික ක්‍ෂේත්‍රයේ මෙන්ම සමාජයේ බොහෝ ක්‍ෂේත්‍රයන්හි පැලපදියං වී ඇති මතයක්‌ වී ඇත.

එමගින් ආර්ථික සංස්‌ථාවට වන බලපෑම සමාජ සංස්‌කෘතික සංස්‌ථාවලට මෙන්ම සෙසු සමාජ සංස්‌ථාවන්ගේ වර්ධනය කෙරෙහි අහිතකර ලෙස බලපාන බව ඉන් කියෑවෙන මතයකි. රටක ජාතික ආර්ථිකය යනුවෙන් අප හඳුන්වන්නේ දේශීය හා විදේශීය වශයෙන් රටක්‌ තුළ සිදුවන්නා වූ සියලුම ක්‍රියාකාරිත්වයන් හා එම ක්‍රියාකාරිත්වයන්ගේ ප්‍රතිඵල හා බලපෑම් මත රටක ආර්ථික කටයුතු ක්‍රියාත්මක වීමයි. එමගින් රටක ආදායම ගලායැම, නිෂ්පාදනය, වෙළෙඳපළ හුවමාරුව සහ ඒ සම්බන්ධව පවතින බලය හා ආයතනවල ක්‍රියාකාරිත්වයයි. මෙම ක්‍රියාකාරිත්වය යහපත් වන විට එවැනි තත්ත්වයක්‌ පවතින රටක සමාජ ආර්ථික තත්ත්වය වැඩි දියුණු වීම කෙරේ එම ක්‍රියාකාරිත්වය බලපානු ලැබේ.

වර්තමානයේ මෙරට විශ්‍රාමික ප්‍රජාවෙන් බහුතරයක්‌ අධ්‍යාපන, ව්‍යාපාරික, සෞඛ්‍ය, නීති හා අධිකරණ ආරක්‍ෂක රක්‍ෂණ සංචාරක ආදී ක්‍ෂේත්‍රයන්හි තව දුරටත් නියෑලෙමින් මෙරට සමාජාර්ථික සංස්‌කෘතික සංවර්ධනයට අවශ්‍ය සේවාවන් හා දැනුම ලබාදෙනු ලබන අතර තවත් බහුතරයක්‌ දෙවැනි පරම්පරාවක්‌ පෝෂණය කරමින් රැකබලා ගනිමින් අනාගතයට ඔබින ශක්‌තිමත් දරු පරපුරක්‌ ඇයට බිහි කිරීමේ අති බැරෑරුම් කාර්යයක නියුක්‌ත වී ඇත. වර්තමාන බොහෝ සමාජ පර්යේෂණ මගින් තහවරු වී ඇත්තේ මෙම රටේ දෙවැනි පරපුරේ දරු දැරියන් බහුතරයක්‌ දෙනා තවමත් රැක බලා ගනු ලබන්නේ සහ ඔවුන් පෝෂණය කිරීම රැකබලා ගැනීම හා සමාජානුයෝජනය කරන්නේ වැඩිහිටි පරපුර විසින් බවයි. මේ අනුව ලොව අන් රටවල වැඩිහිටි පරපුර සමස්‌ත සමාජයෙන්ම විශ්‍රාම ගන්වා ඇති විටෙක ලාංකික සමාජයේ අප තවමත් වැඩිහිටි ඇසුර ලබමින් ගරු බහුමන් කරමින් ඔවුන් විවිධ මට්‌ටමෙන් සපයන උපදේශනයන් සේවාවන් දැනුම හා අත්දැකීම් ඔවුනොවුන් සමඟින් බෙදාගනිමින් ගහට පොත්ත මෙන් දැඩි ආත්ම බැඳියාවකින් කටයුතු කරනු ලබන පිරිසක්‌ ලෙසින් සමාජගතව ඇත. මෙලෙසින් වැඩිහිටි පරපුර මෙම සමාජ යාන්ත්‍රණය තුළ ජව සම්පන්න කර සමාජ සම්බන්ධතා සමඟින් යාවත්කාලීන කරන්නට රාජ්‍ය විශ්‍රාම වැටුප තදබල සමත්කමක්‌ දක්‌වා ඇත.

* ලක්‌ඛණ රාමනායක
 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.