පහේ ශිෂ්‍යත්වය ඉවරයි!
2016 සිට සාධන දැනුම මනී-ජනප්‍රිය පාසල් හඹා යැමක්‌ නෑ

නිලන්ත මදුරාවල

දෙදහස්‌ දහසය වසරේ (2016) සිට පහ ශේ්‍රණියේ ශිෂ්‍යත්ව විභාගය අහෝසි කරන බව අධ්‍යාපන ඇමැති බන්දුල ගුණවර්ධන මහතා පැවැසීය.

එම වසරේ සිට පහ ශේ්‍රණියේ දරුවන්ගේ සාධන මට්‌ටම මැනීම සඳහා පමණක්‌ විභාගයක්‌ පවත්වන බවද එය කිසිසේත්ම ජනප්‍රිය පාසල්වලට සිසුන් තෝරා ගැනෙන තරගකාරී විභාගයක්‌ නොවන බවද ඒ මහතා සඳහන් කළේය.

ඇමැතිවරයා මේ බව ප්‍රකාශ කළේ අධ්‍යාපන අමාත්‍යාංශයේ ඊයේ (19 වැනිදා) පැවැති මාධ්‍ය හමුවේදීය.

2016 වසර වන විට ද්විතීයික පාසල් දහසේ සංවර්ධන වැඩසටහන අවසන් කෙරෙන හෙයින් තවදුරටත් ජනප්‍රිය පාසල්වලට ඇතුළත් වීමේ තරගය අදාළ නොවන බවත් සියලු පහසුකම් සහිතව ප්‍රාදේශීය ලේකම් කොට්‌ඨාශයකට පාසල් තුන බැගින් සංවර්ධනය කෙරෙන ද්විතීයික පාසල් දහසට ඇතුළත් වීම සඳහා දරුවන්ට ඉඩකඩ ලැබෙන බවත් ගුණවර්ධන මහතා කීවේය.

ජාතික අධ්‍යාපන කොමිෂන් සභාව විසින් ජනාධිපතිවරයාට හා තමාට භාරදෙනු ලැබ ඇති නිර්දේශ වාර්තා අනුව ලබන වසරේ සිට ශිෂ්‍යත්ව විභාගය ලිහිල් කිරීමේ ක්‍රියාවලිය ආරම්භ වී ඇතැයි ද එම නිර්දේශ අනුව දරුවන්ට පීඩනයක්‌ ඇති නොවන පරිදි පැය එකයි කාලක ප්‍රශ්න පත්‍රයක්‌ ලබාදීමට නියමිත යෑයිද ඇමැතිවරයා ප්‍රකාශ කළේය. ලිහිල් කිරීමේ ක්‍රියාවලිය අතරතුර පාසල් දහසේ සංවර්ධන වැඩසටහන අවසන් කරන බවද ඒ මහතා කීවේය.

ශිෂ්‍යත්වය අහෝසි කිරීමෙන් පසුව සාධන මට්‌ටම මැනීම සඳහා පැවැත්වෙන විභාගයෙන් ප්‍රාථමික මට්‌ටම අවසානයේ සිය දරුවන්ගේ අධ්‍යාපන මට්‌ටම පිළිබඳ අවබෝධයක්‌ ලබා ගැනීමට දෙමව්පියන්ට හැකි වන බවත් ගුණවර්ධන මහතා ප්‍රකාශ කළේය.
 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.