ශ්‍රී ලාංකිකයන්ට කරන මෙහෙය අගය කරනවා
ලන්ඩන් ඊස්‌ට්‌හැම් පා. මන්ත්‍රි ස්‌ටීවන් ටිම්ස්‌



මහා බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස්‌ කාර්යාලයේ කන්සියුලර් හා ආගමන අංශ ප්‍රධානි නීතිඥ චමින්ද කුලරත්න මහතා වෙනුවෙන් උපහාර උළෙලක්‌ පසුගිය දා බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ දී පැවැත්විය.

වසර 03 ක කාලයක්‌ පුරා ඔහු රාජ්‍ය තාන්ත්‍රික නිලධාරියකු ලෙස සිදුකරනු ලබන සේවය අගය කරනු වස්‌ ලන්ඩන් - ඊස්‌ට්‌හැම් පාර්ලිමේන්තු මන්ත්‍රී ස්‌ටීවන් ටිම්ස්‌ මහතා විසින් මෙම උපහාර උළෙල සංවිධානය කොට තිබුණි.

බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව තුළදී ශ්‍රී ලංකා රාජ්‍ය තාන්ත්‍රික නිලධාරියකු මෙලෙස උපහාරයට ලක්‌වීම ඉතා සුවිශේෂි අවස්‌ථාවකි.

මෙම අවස්‌ථාවට බ්‍රිතාන්‍ය විදේශ කටයුතු අමාත්‍යාංශය හා එරට ස්‌වදේශ කටයුතු අමාත්‍යාංශය නියෝජනය කරමින් ප්‍රධාන පෙළේ නිලධාරීන් රාශියක්‌ ද, ලන්ඩනය පාදක කොටගත් තානාපති කාර්යාල හා මහ කොමසාරිස්‌ කාර්යාල නියෝජනය කරමින් රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීන් රැසක්‌ ද එරට පුරා විසිර සිටින සිංහල, දෙමළ හා මුස්‌ලිම් ශ්‍රී ලාංකික ප්‍රජාව නියෝජනය කරමින් ශ්‍රී ලාංකිකයන් රාශියක්‌ ද සහභාගි වූහ.

මෙහිදී අදහස්‌ දැක්‌වූ ලන්ඩන් - ඊස්‌ට්‌හැම් පාර්ලිමේන්තු මන්ත්‍රි ස්‌ටීවන් ටිම්ස්‌ මහතා - කුලරත්න මහතා විසින් ඔහුගේ මැතිවරණ කොට්‌ඨාසය තුළ ජීවත්වන ශ්‍රී ලාංකිකයන් වෙත කරන ලද මෙහෙවර අගය කරමින් මෙවැනි සුවිශේෂී උපහාර උළෙලක්‌ පැවැත්වීමට ලැබීම ගැන මා බෙහෙවින් ආඩම්බර වෙනවා. කුලරත්න මහතාගෙන් ශ්‍රී ලාංකික ප්‍රජාව වෙත සිදුවන සේවය සාර්ථක කොට ගැනීමට ඒ මහතාගේ භාර්යාව වන යෝග්‍යා කුලරත්න මහත්මිය විසින් ලබාදුන් දායකත්වය විශිෂ්ටයි.

ඊස්‌ට්‌හැම් නාගරික මන්ත්‍රිනි ලක්‌මිණි ෂා මහත්මිය - ශ්‍රී ලංකා මහ කොමසාරිස්‌ කාර්යාලය ශ්‍රී ලාංකික ප්‍රජාව වෙත සමීප කිරීමට කුලරත්න මහතා විසින් සිදුකරන ලද්දේ අනභිබවනීය කාර්ය භාරයක්‌. කුලරත්න මහතා වැනි දක්‍ෂ නිලධාරියකුගේ සේවය මෙරටට අහිමිවීම කනගාටුවට කරුණක්‌. එක්‌සත් රාජධානිය තුළ ජීවත්වන සියලුම ශ්‍රී ලාංකික ජන කොටස්‌ නියෝජනය කරමින් නීතිඥ අනුර හෑගොඩ, ප්‍රදීප් කන්දප්පා, අම්ජාඩ් සලීම් හා නලින් පෙරේරා යන මහත්වරුන් විසින් ද චමින්ද කුලරත්න මහතා විසින් පසුගිය වසර 03 ක කාලයක්‌ පුරා කිසිදු භේදයකින් තොරව සිංහල, දෙමළ, මුස්‌ලිම්, සියලුම ජන කොටස්‌ සඳහා කරන ලද සේවය බෙහෙවින් අගය කළහ.

බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස්‌ වෛද්‍ය ක්‍රිස්‌ නෝනිස්‌ මහතා - කුලරත්න මහතා ඔහුගේ සේවා කාලය තුළ කරන ලද සේවය පොදුවේ ශ්‍රී ලංකා රජයටත්, මහකොමසාරිස්‌ කාර්යාලයටත් පෞද්ගලිකව තමාටත් විශාල ශක්‌තියක්‌ වූවා.

නීතිඥ චමින්ද කුලරත්න මහතා - පසුගිය වසර 03 ක කාලය පුරා තමාගෙන් යම් සේවාවක්‌ බ්‍රිතාන්‍යයේ වාසය කරන ශ්‍රී ලාංකික ප්‍රජාව වෙත සිදුවූයේ නම් තමා විසින් එය සිදුකරන ලද්දේ රාජ්‍ය තාන්ත්‍රික නිලධාරියකු වශයෙන් පමණක්‌ නොව ශ්‍රී ලාංකිකයකු වශයෙන්ද තමාගෙන් රටට ඉටුකළ යුතු යුතුකමක්‌ ඉෂ්ඨ කිරීමක්‌ වශයෙනි.

තානාපති ප්‍රජාව, වෙනුවෙන් ශීෂෙල්ස්‌ රාජ්‍යයේ කොන්සල් ජනරාල් හා ලන්ඩන් කන්සියුලර් නිලධාරි සංගමයේ සභාපති බර්නාඩ් සිල්වර් මහතාද කතා කළේය.
 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.