උතුරේ ආණ්‌ඩුකාරවරයාගේ
සේවය තවදුරටත් උතුරට ඕනෑ

- ජාතික සංවිධාන එකමුතුවෙන් ජනපතිට ලිපියක්‌

සිරිමන්ත රත්නසේකර

කවුරුන් කෙසේ බලපෑම් කළත් උතුරු පළාත් ආණ්‌ඩුකාර ජී. ඒ. චන්ද්‍රසිරි මහතාගේ සේවය තවදුරටත් උතුරේ ජනතාවට ලබා ගැනීමට අවස්‌ථාව සලසා දෙන ලෙස ජාතික සංවිධාන එකමුතුව ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාට ඊයේ (19 වැනිදා) ලිපියක්‌ යොමු කරමින් ඉල්ලා ඇත.

බෙදුම්වාදී නව ඊළාම් සැලසුම ඉදිරියට ගෙන යැම සහ උතුරේ වර්තමාන ආණ්‌ඩුකාරවරයා ඉවත් කිරීම එකිනෙකට බැඳී ඇති කරුණක්‌ බැවින් මෙය රටේ අනාගතය තීන්දු කරන ගැටලුවක්‌ ලෙස සලකන ලෙසත් එම සංවිධාන එකමුතුව ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටී.

උතුරු පළාත් මහ ඇමැතිවරයාගේ ක්‍රියාකලාපය අනුව ඔහුගේ න්‍යායපත්‍රය ඉදිරියට ගෙන යැමට ඇති ප්‍රධානතම බාධකය ආණ්‌ඩුකාරවරයා වන බවත් ඔහු ඉවත් කිරීම බෙදුම්වාදී නව ඊළාම් සැලසුමේ පූර්ව කොන්දේසියක්‌ වී ඇති බවත් ජාතික සංවිධාන එකමුතුව පවසයි.

ත්‍රස්‌ත සංවිධානයක ගරිල්ලා භටයන්ට උතුරු පළාත් සභාවේ නිලතල දැරිය හැකිනම් රටේ නිත්‍යානුකූල හමුදාවෙන් විශ්‍රාමගිය නිලධාරියකුට ආණ්‌ඩුකාර තනතුරක්‌ දැරිය නොහැක්‌කේ මන්දැයි එම සංවිධාන එකමුතුව ප්‍රශ්න කර සිටී.

කුමන බලපෑම් පැමිණියත් ආණ්‌ඩුකාරවරයාගේ සේවය තවදුරටත් උතුරට අවශ්‍යය යෑයිද ව්‍යවස්‌ථාවට පටහැනිව ජනාධිපතිවරයාට බලපෑම් කිරීමට දේශීය හෝ විදේශීයව කිසිදු බලවේගයකට අයිතියක්‌ නැති බවද දේශප්‍රේමී භික්‍ෂු පෙරමුණේ සභාපති බෙංගමුවේ නාලක හිමි හා දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ සභාපති ආචාර්ය ගුණදාස අමරසේකර මහතාගේ අත්සනින් යුතුව ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා වෙත යොමුකළ ලිපියේ සඳහන් වේ.

 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.