තමිල්නාඩුවේ බලපෑමෙන් සතුන්වත්තේ
සත්ව හුවමාරුවත් නවතී


එස්‌. පී. ආරියරත්න - රත්මලාන

සත්ව හුවමාරු වැඩසටහන යටතේ දෙහිවල ජාතික සත්වෝද්‍යානයෙන් ඉන්දියාවේ ඉන්දිරා ගාන්ධි සත්වෝද්‍යානයට ඉකුත් 14 වැනිදා සවස ගුවන් මගින් යෑවීමට සැලසුම්කර තිබූ හඳුන් දිවියන් හා කුරු හිපෝ පැටවුන් යෑවීම තමිල්නාඩු ප්‍රාන්ත රජයෙන් ඉන්දීය මධ්‍යම රජයට සිදුකළ බලපෑම් හේතුවෙන් අත්හිටුවීමට සිදුවී ඇතැයි සත්වෝද්‍යාන ආරංචි මාර්ග සඳහන් කරයි.

ලංකාවේ සතුන් ඉන්දියාවට භාර නොගන්නා ලෙසත් ඉන්දියාවේ කිසිදු සත්වෝද්‍යානයකින් සතුන් ලංකාවට නොයවන ලෙසත් තමිල්නාඩු ප්‍රාන්ත රජය ඉන්දීය මධ්‍යම රජය වෙත සිදුකර ඇති බලපෑම නිසා මෙම සත්ව හුවමාරුව නවතා දැමීමට සත්වෝද්‍යාන බලධාරීනට සිදුවීය.

ඒ අනුව දෙහිවල ජාතික සත්වෝද්‍යානයෙන් කුරු හිපෝ පැටවුන් දෙදෙනකු හා හඳුන් දිවියන් හතර දෙනෙකු ඉන්දිරා ගාන්ධි සත්වෝද්‍යානයට යෑවීමටත් කළු මුවා දස දෙනකු හා එමු පක්‍ෂීන් හතර දෙනකු රැගෙන ඒමටත් සැලසුම් කර තිබුණු අතර එම සතුන් හම්බන්තොට රිදීගම "සµdරි" සත්වෝද්‍යානය වෙත යෑවීමටත් කටයුතු සූදානම් කර තිබිණි.

කෙසේ වූවද සත්ව හුවමාරු වැඩසටහන් වලදී ඉතිහාසය පුරාවටම දෙහිවල ජාතික සත්වෝද්‍යානය අවාසි සහගත තත්ත්වයක්‌ භුක්‌ති විඳ ඇති අතර මෙවරද එවන් තත්ත්වයක්‌ නිර්මාණය වී තිබිණි.

ඒ අනුව කුරු හිපෝ පැටවකු ඇ.ඩොලර් 250 කට මිලකර තිබුණු අතර හඳුන් දිවියකු ඇ.ඩොලර් 100 කට මිලකර තිබුණි. ඒ අනුව ඉන්දියාවට යෑවීමට සැලසුම් කර තිබූ සතුන් 6 දෙනාගේ මුළු වටිනාකම ඇ.ඩොලර් 900 කි.

ඉන්දියාවෙන් මෙරටට ගෙන ඒමට සිටි කළුමුවා  සතෙකු ඇ. ඩො. 50 කටත් එමු පක්‍ෂියකු ඇ.ඩො. 30 කටත් මිල කර තිබුණු අතර සතුන් 14 දෙනාගේ වටිනාකම ඇ.ඩොලර් 620 කි.

මෙම ගනුදෙනුවේ අලාභයක්‌ සිදුවී ඇතැයි පවසන එම ආරංචි මාර්ග මීට පෙරද චීනයෙන් පෙළපත් සටහන් නොමැතිව රැගෙන ආ ව්‍යාඝ්‍රයන්ගෙන් වසර ගණනක්‌ ගතවූවත් එකදු පැටියකු හෝ බිහිකර ගැනීමට සත්වෝද්‍යාන බලධාරීනට හැකියාව ලැබී නොමැත.
 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.