මේ ආණ්‌ඩුව කුඩු, එතනෝල්,
කැසිනෝ මගින් ගොඩනැගුණු අමුතු සන්ධානයක්‌

- අනුර කුමාර දිසානායක

සිරිමන්ත රත්නසේකර

වත්මන් ආණ්‌ඩුව කුඩු, එතනෝල්, කැසිනෝ මගින් ගොඩනැගුණු අමුතු සන්ධාන ආණ්‌ඩුවක්‌ යෑයි ජනතා විමුක්‌ති පෙරමුණේ දේශපාලන මණ්‌ඩල සභික අනුර කුමාර දිසානායක මහතා ඊයේ (19 වැනිදා) සඳහන් කළේය.

මේ වන විට ආණ්‌ඩුවේ ප්‍රමුඛ කාර්ය වී ඇත්තේ මුළු රටම කුඩුවලින්, එතනෝල්වලින් පිරවීම බවත් හෙතෙම පැවසීය.

දඬුවම් දෙන්න ඉන්න අයම වැරදි කරන්නේ නම් ජනතාව කුමක්‌ කරන්න දැයි ප්‍රශ්න කළ අනුර කුමාර මහතා රටේ නීතිය වළපල්ලට ගොස්‌ ඇති බවත් පැවසීය.

ඒ මහතා ඊයේ (19 වැනිදා) එම අදහස්‌ පළ කළේ බත්තරමුල්ල පැලවත්තේ පිහිටි එම පක්‍ෂ ප්‍රධාන කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදී අදහස්‌ දක්‌වමිනි.

එහිදී අනුර කුමාර දිසානායක මහතා වැඩිදුරටත් මෙසේද පැවසීය.

මේ වන විට ආණ්‌ඩුව ප්‍රාදේශීය සභාවල අයවැය ලේඛන සම්මත කිරීමට මැර කල්ලි, මැර බලය, තර්ජන, බිය වැද්දීම් යොදා ගනිමින් තිබෙනවා. මෙය ප්‍රජාතන්ත්‍රවාදය, ජනතා පරමාධිපත්‍යය පැත්තෙන් ඉතාම බරපතළ තත්ත්වයක්‌. වත්තල ප්‍රාදේශීය සභාවේ දෙවැනි වර ඡන්ද විමසීම පැවැත් වූ ආකාරයෙන් ප්‍රජාතන්ත්‍රවාදයේ ඉරණම පැහැදිලි කරනවා. මෙය වැළැක්‌විය යුතු කරුණක්‌. මන්ත්‍රීවරුන්ගේ අයිතිවාසිකම් උල්ලංඝනය කරන අප පක්‍ෂයේ වත්තල ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රී ජූඩ් ක්‍රිස්‌ටෝපර් සහෝදරයාට ප්‍රාදේශීය සභාවට පවා ඇතුළු වීමට ඉඩ දුන්නේ නැහැ. ආණ්‌ඩුවට හිතවත් මැර කණ්‌ඩායම් යොදලා කරන මෙම ක්‍රියාදාමය මැර සංස්‌කෘතියේ ස්‌වභාවය පෙන්නුම් කරනවා.

මෙම පළාත් පාලන ආයතනවල මතුවෙලා තිබෙන තත්ත්වය ප්‍රජාතන්ත්‍රවාදය, ජනතා පරමාධිපත්‍යය මුළුමණින්ම උල්ලංඝනය කරනවා. පළාත් පාලන ආයතන කියන්නේ ග්‍රාමීය ජනතාවගේ ඕනෑ එපාකම් සෘජුව ගැටගැසී තිබෙන ඔවුන්ගේ දෛනික කාර්යයන් සපුරා ගතහැකි ආයතනයයි. ප්‍රාදේශීය සභා, නගර සභා, මහ නගර සභා තව තවත් ශක්‌තිමත් කළ යුතුයි. ග්‍රාමීය ජනතාවට තමන්ගේ මූලික වුවමනාවන් සපුරා ගැනීමට තමන්ගේ ජනතා නියෝජිතයන් හා සෘජුව ගැට ගැසුණු සම්බන්ධය තව තවත් වැඩිදියුණු කරන්න කියලයි ජවිපෙ අපේ ස්‌ථාවරය. ආණ්‌ඩුව එම වැදගත් සම්බන්ධය කඩාදමමින්, උල්ලංඝනය කරමින් තිබෙනවා.

මේ වන විට ආණ්‌ඩුව ප්‍රාදේශීය සභා 16 ක පමණ අයවැය පරාජයට පත්වී තිබෙනවා. ඉන් කිහිපයක බරපතළ ගැටුම් ඇතිවුණා. හෝමාගම ප්‍රාදේශීය සභාවේ ඡන්ද විමසීම අවසන් වුණේ ගුටිබැට ඇනගැනිල්ලකින්. දමන ප්‍රාදේශීය සභාවේ ඡන්ද විමසීම තබාගත නොහැකි ලෙස ආරවුල් ඇති කළා. පස්‌සර ප්‍රාදේශීය සභා ඡන්දය විමසීමක්‌ කළේ නැහැ. ගැටුම් වර්ධනය වුණා. හිඟුරක්‌ගොඩ ප්‍රාදේශීය සභාවේ ලංකා ඉතිහාසයේ පළමු වරට ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයාගේ අත්තනෝමතික වුවමනාවට සභාව කල් තැබුවා. සාමාන්‍යයෙන් සභාව කල් තැබීමේදී මන්ත්‍රීවරුන්ගේ අදහස්‌ විමසීමක්‌ කළ යුතුයි. නමුත් එම සභාවේ අයවැය අඩුපාඩු මන්ත්‍රීවරුන් විසින් පෙන්වන විට සභාපතිවරයා සභාව කල් තබා පුටුවෙන් නැගිටලා ගියා. සභාව කල්තබන ක්‍රමවේදයත් උල්ලංඝනය කරනවා. ජනතා විමුක්‌ති පෙරමුණේ ප්‍රාදේශීය සභා මන්ත්‍රී ටී. බී. සරත් සහෝදරයා මීට විරෝධය පළකරමින් අනෙකුත් මන්ත්‍රීවරුන්ගේ අදහස්‌ ලබාගත යුතු බව පැවසුවා. එවිට සභාව කල්තබා සභාපති පුටුවෙන් නැගිටලා යනවා.

ආණ්‌ඩුවේ බලය ගිලිහෙන වත්තල ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා පාතාල කණ්‌ඩායම් දමා ආණ්‌ඩුවේ සෘජු මැදිහත්වීම මත පොලිස්‌ කණ්‌ඩායම් යොදවලා සභාවේ දොරටුවලට ඉබි යතුරු දමා මන්ත්‍රීවරුන්ට ඉඩකඩ නොදී අයවැය සම්මත කරගන්නවා නම් පාර්ලිමේන්තු, පළාත් සභා වැනි ආයතනවලදී ආණ්‌ඩුව කවර හැසිරීමක්‌ ගනීද? වත්තල සභාපතිවරයාගේ හැසිරීමෙන් පෙන්වන්නේ තමන්ගේ බලය ගිලිහෙන විට ඇතිවන වියරු ස්‌වභාවයයි. ප්‍රාදේශීය සභාවල මෙම දූෂිත පාලනයට මන්ත්‍රීවරුන්ගේ විරෝධයක්‌ මතුවෙලා තිබෙනවා. සභාපතිවරු සභාවට ලැබෙන සියලු ආදායම් තමන්ගේ පෞද්ගලික බූදලයක්‌ ලෙස පරිහරණය කරනවා. අත්තනෝමතිකව මුදල් පාලනය කරනවා. මහින්ද රාජපක්‍ෂ තම ආධිපත්‍යය පාර්ලිමේන්තු, පළාත් සභා, ප්‍රාදේශීය සභා දේශපාලනඥයන්ගේ හිස මත, ආයතනවල නිලධාරීන් මත පටවලා තිබෙනවා. රාජපක්‍ෂලා තමන්ගේ නියෝගයන්ට අනුව සීරුවෙන් සිටීමට අණ කරපු පාලනයක්‌ තමයි තිබෙන්නේ. ඔවුන් මත බිය, තර්ජනය මුදාහැරලා අල්ලස්‌ දීලා පාලනය ගෙනයමින් තිබෙනවා. ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂය රාජපක්‍ෂ පවුලේ ආධිපත්‍යයට යට කළා. මධ්‍යම කාරක සභාව, කාරක සභාව කිසිදු වැඩකට නැති ආයතන බවට පත් කළා. ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයේ ලේකම්වරු පඹයන් බවට පත් කළා. ඇමැතිවරු බියට, තර්ජනයට ලක්‌ කළා. ආණ්‌ඩුවේ මන්ත්‍රීවරු රාජපක්‍ෂගේ හෙවනැල්ලට බියවන තත්ත්වයකට පත්කළා.

අපි අභියෝග කරනවා හෙට පාර්ලිමේන්තුවේ අයවැය අවසන් ඡන්ද විමසීම රහස්‌ ඡන්දයක්‌ ලෙස පවත්වන්න කියලා. හරි පැහැදිලියි මේ රාජපක්‍ෂලාගේ අත්තනෝමතිකත්වයට එරෙහිව ආණ්‌ඩුවේ මන්ත්‍රීවරුන් නැගී සිටිනවාට සැකයක්‌ නැහැ. මහින්ද රාජපක්‍ෂ අල්ලස්‌ කොමිසම තමන් යටතට පත්කරගෙන තමන්ට විරුද්ධ පුද්ගලයන් යට කරන මෙවලමක්‌ බවට පත්කරලා තිබෙනවා. මන්ත්‍රීවරුන්ට ප්‍රජාතන්ත්‍රවාදය මත තමන්ගේ අදහස්‌ නිදහසේ ප්‍රකාශ කිරීමේ අවස්‌ථාව උදා කරලා නෙවෙයි මේ පාලනය ගෙන යන්නේ. මේ පාලනය පවතින්නේ රාජපක්‍ෂගේ ආධිපත්‍යයට යට කරලා. මේ තමයි ඒකාධිපතියන්ගේ ස්‌වභාවය. ජනතාවගේ අභිලාෂයන්, වුවමනාවන්, අරගලයන් යකඩ සපත්තුවෙන් පාගන්න බැහැ. යකඩ සපත්තුවට පෑගී සිටින අය ඊට එරෙහිව නැගිටිනවා.

 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.