වත්තල අයවැය සම්මත කර ගත්තේ
නීති විරෝධීව අපි අධිකරණයට යනවා

- වත්තල ප්‍රාදේශීය සභාවේ උප සභාපති සංජීව සේරසිංහ

චමින්ද සිල්වා

වත්තල ප්‍රාදේශීය සභාවේ 2014 අයවැය සම්මත කරගත්තේ නීති විරෝධීව බවත් ඊට එරෙහිව අධිකරණයට යන බවත් වත්තල ප්‍රාදේශීය සභාවේ උප සභාපති සංජීව සේරසිංහ මහතා පැවසීය.

තමන් ඇතුළු එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධාන මන්ත්‍රීවරුන් තිදෙනෙක්‌ සහ ජනතා විමුක්‌ති පෙරමුණේ මන්ත්‍රීවරයාට ඡන්දය විමසන අවස්‌ථාවේ සභාවට ඇතුළුවීමට අවස්‌ථාව ලබානොදී ප්‍රජාතන්ත්‍ර විරෝධීව අයවැය ජයග්‍රහණය කළ සභාපතිවරයාට එරෙහිව මෙම නඩුව ගොනුකරන බවද ඊයේ (19 වැනිදා) නිපොන් හෝටලයේ පැවැති මාධ්‍ය හමුවකදී උප සභාපතිවරයා කීවේය.

එහිදී ඔහු මෙසේද කීවේය. පසුගිය දෙසැම්බර් 04 වැනිදා වැඩි ඡන්ද 03 කින් සභාපතිවරයා පළමුවර ඉදිරිපත් කළ අයවැය පරාජය කළේ ඔහුගේ දූෂිත ගනුදෙනු සහ දූෂිත පාලනය නිසයි. නැවත දෙසැම්බර් 17 වැනිදා පෙරවරු 10.00 ට දෙවැනි වර ඡන්ද විමසීම සිදුකිරීමට දින නියම කරගෙන තිබුණා. එදින පෙරවරු 8.00 වනවිට මා ඇතුළු සන්ධානේ මන්ත්‍රීවරුන් තිදෙනා සහ ජනතා විමුක්‌ති පෙරමුණේ මන්ත්‍රීවරයා සභාවට යාමට පැමිණියත් එසේ යා නොහැකි ලෙස දොරවල්වලට ඉබි යතුරු දමා සභාපතිවරයාට හිතවත් පිරිස සමග ඔහු ඡන්දය සම්මත කරගෙන තිබෙනවා.

මට සභාවට යාමට ඉඩ ලබාදෙන්නේ නැතැයි වත්තල පොලීසියට පැමිණිලිs කළද පොලීසිය තුළින්ද සාධාරණය ඉටු වූයේ නෑ. ඒ සාධාරණය පතා අධිකරණයට යාමට තීරණය කළා.

මා ඇතුළු මන්ත්‍රී පිරිසට සභාවට යාමට නොහැකි ලෙස සභා භූමියේ රැඳී සිටි සභාපතිවරයාගේ මැරයන් මටත් මා සමග පැමිණි මන්ත්‍රීවරුන්aටත් පහර දුන්නා.

මෙම අවස්‌ථාවට එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධාන වත්තල ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් වන පී. ඒ. ඩී. එස්‌ බෙනට්‌, ඇන්ටන් කුරේ සහ ජනතා විමුක්‌ති පෙරමුණේ ජූඩ් ක්‍රිස්‌ටෝපර් යන මහත්වරු ද සහභාගී වූහ.

වත්තල ප්‍රාදේශීය සභාවේ විපක්‍ෂය වන එක්‌සත් ජාතික පක්‍ෂයේ විපක්‍ෂනායක චානක සෙනරත් මහතාද ඊයේ (19 වැනිදා) නිපොන් හෝටලයේ සිය කණ්‌ඩායම සමග පැමිණ වත්තල ප්‍රාදේශීය සභාවේ අයවැය නීති විරෝධීව පැවැත්වූ බවත් එයට එරෙහිව අධිකරණයට යන බවත් කීය.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.