ජනබලයට ගරුකරමින් පක්‍ෂය රැක ගැනීම මහජන නියෝජිතයන්ගේ වගකීමයි
ශ්‍රී ල.නි.ප. දුර්වල කිරීමට ඇතැම් අය උත්සාහ දරනවා

ජනාධිපති මහින්ද රාජපක්‍ෂ

අද ඇතැම් පිරිස්‌ ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂය දුර්වල කිරීමේ උත්සාහයක්‌ දරන බවත්, මෙය අවබෝධ කරගෙන ජනතාව අපිට ලබාදුන් බලයට ගරුකරමින් ජනතා සේවයද ඉටුකරමින් පක්‍ෂයත් ආරක්‍ෂා කරගෙන ඉදිරියට යැමේ වගකීම පක්‍ෂයේ සියලු මහජන නියෝජිතයන් වෙත පැවරී ඇති බවත් ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා අවධාරණය කළේය.

අරලියගහ මන්දිරයේදී පෙරේදා (18 වැනිදා) පස්‌වරුවේ පැවැති ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂ සමස්‌ත ලංකා කාරක සභා රැස්‌වීම අමතමින් ජනාධිපතිවරයා මේ බව අවධාරණය කළේය.

ජනාධිපතිවරයා එහිදී මෙසේද පැවැසීය.

මම ඔබට මුලින්ම ස්‌තූතිවන්ත වෙනවා. අපේ ආරාධනාව පිළිඅරගෙන මෙහි පැමිණීම පිළිබඳව. මම පොදු රාජ්‍ය මණ්‌ඩලයේ සභාපති ධුරයට පත්වීම පිළිබඳව ඔබ මට ගෞරවය දැක්‌වූවා. මෙම ගෞරවය හිමිවිය යුත්තේ මට නොව මා මෙම තැනට ගෙන ආ ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂය ඇතුළු සන්ධානයේ සියලුම දෙනාට හා ජනතාවටයි.

මේ අවස්‌ථාවේදී මම අදහස්‌ දක්‌වන්නේ පළාත් සභාවලට, ප්‍රාදේශීය සභාවලට සහ අනෙකුත් පක්‍ෂවලට. ඔබේ ප්‍රශ්න පිළිබඳව යම් අවබෝධයක්‌ ලබාගන්න. අද සමහර දෙනෙක්‌ කතා කරන්නේ ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂය දුර්වල කරන්න පුළුවන් ද කියන එක. අපේ පිරිස්‌ ඒ සඳහා උපයෝගී කරගන්නත් ඔවුන් උත්සාහ දරනවා. පළාත් පාලන ආයතනවල යම් යම් ගැටලු තිබෙනවා. ඒවා පක්‍ෂයේ අර්බුද නොවෙයි. තනතුරු පිළිබඳ ඇති වී තිබෙන ගැටලු. ප්‍රාදේශීය සභා 335 න් අපට මන්ත්‍රීවරුන් 2865 ක්‌ සිටිනවා. එක්‌සත් ජාතික පක්‍ෂයේ ඉන්නේ 1160 යි. ඒ 1160 න් අපිත් සමඟ හැමදාම 271 ක්‌ ඉන්නවා. ඡන්දය භාවිත කරලා තිබෙනවා අපිට. අපි බලය ඒ ආකාරයෙන් තහවුරු කරගෙන ඉන්නවා.

නමුත් අපි එක දෙයක්‌ දන්නවා. මෙයින් රට ඇතුළට වෙනත් විෂබීජයක්‌ ඇතුල් වෙනවා. පක්‍ෂය තුළ අර්බුදයක්‌ තිබෙන බව පෙන්වන්නට හදනවා. අද සන්ධානය තීරණයක්‌ ගත්තා පළාත් පාලන ආයතන තුළ අයවැය පරාජය වීම පිළිබඳව පක්‍ෂය විනයානුකූලව, නීත්‍යානුකූලව ක්‍රියාකරන බවට. හැබැයි ලබන වසර වෙනකොට මේ පනත පරණ ලෙසටම වෙනස්‌ කරන්න අපි නැවතත් සූදානම් බව මම ඔබට කියනවා. එය වෙනස්‌ විය යුතු යෑයි මම විශ්වාස කරනවා. නමුත් එයින් අදහස්‌ වෙන්නේ නැහැ සභාපතිවරුන්ට තමන්ගේ කැමැත්තට පමණක්‌ වැඩ කරන්න පුළුවන් බව. ඒ නිසා ඒ පිළිබඳව කලබල විය යුතු නැහැ.

මට සමහරු දොස්‌ කියනවා ගමේ වැඩ කරන්න වැඩිපුර මුදල් වෙන්කරලා සභාපතිවරු, උප සභාපතිවරු නරක්‌ කරලා කියලා. මට විවිධ තැන්වලින් ලිපි එනවා. මිනිසුන් අප කරන ක්‍රියාවලීන් ගැන බලාගෙන ඉන්නේ. දේශපාලනඥයා ගැන විශේෂයෙන්ම බලාගෙන ඉන්නේ. ඒ නිසා අපට වගකීමක්‌ තිබෙනවා. අපට බලය ලබා දුන්නාම ජනතාවගේ යුතුකම, අපේ පක්‍ෂයේ යුතුකම ඉටුකරන්න වගේම මේ පක්‍ෂය ආරක්‍ෂා කිරීමේ වගකීමත් අපට තිබෙනවා. ඔබ සිතන්න එපා පක්‍ෂය නැතිව ඔබට කටයුතු කරන්න පුළුවන් බව. එහෙම හිතපු බොහෝ දෙනෙක්‌ ඉතිහාසයේ මැකිලා ගිහින් තිබෙනවා. ඔබ තමයි මේ පක්‍ෂයේ ප්‍රධාන හරය. පක්‍ෂයේ කොඳු නාරටිය. ඒ නිසා ඔබ මේ පක්‍ෂය රැකගන්න.

ඉතිහාසයේ කවදාවත් නැති ස්‌වර්ණමය යුගයක්‌ ගැන අද කතා කරනවා. ඒ කතා කරන්න පුළුවන් වෙලා තිබෙන්නේ අපට හයියක්‌ ලබාගත් නිසා. කවදාවත් පක්‍ෂයේ මන්ත්‍රීවරුන් 129 දෙනෙක්‌ පාර්ලිමේන්තුවේ සිටියේ නැහැ. මීට පෙර ආණ්‌ඩුවක්‌ තිබුණේ නැහැ. මේ වගේ 2/3 ක බලයක්‌ තිබෙන පළාත් සභා, ප්‍රාදේශීය සභා මේ ආකාරයට දිනාගෙන තිබුණේ නැහැ. ඒ නිසා මෙය ශක්‌තිමත් කරන්න අපි සූදානම් විය යුතුයි.

අපි උතුරේ මැතිවරණයක්‌ පවත්වන කොට එය එපා කියලා සමහරු අපට කිව්වා. නමුත් මම කිව්වා නැහැ අපි මෙය පවත්වමු කියලා. මොකද මම දන්නවා අපි මැතිවරණයක්‌ තියන්නැති තාක්‌කල් අපි දේශපාලනයක්‌ කරන්නේ නැහැ කියලා. අපි උතුරේ වැඩ කළා. ඇ.ඩො. බිලියන හතරක වැඩ අපි උතුරට විතරක්‌ කරලා තිබෙනවා. නමුත් අපි එහි දේශපාලන වාසි ලබාගත්තේ නැහැ. පාරවල් හැදුවා, කෝච්චිය නැවත ධාවනය කෙරුවා, රේල් පාරවල් හැදුවා, පාසල් හැදුවා, රෝහල් හැදුවා, පහසුකම් ලබාදුන්නා. නමුත් අපි පක්‍ෂයක්‌ වශයෙන් උතුරේ වැඩ කළේ නැහැ. නමුත් උතුරේ ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂ මන්ත්‍රීවරයෙක්‌ දිනාගත්තා ඉතිහාසයේ ප්‍රථම වතාවට. මෙයින් අපි ඉදිරියට යන්න ඕනෑ.

ඒ නිසා දේශපාලනික වශයෙන් අප හැමතැනම වැඩ කරන්න ඕනෑ. මෙය රටක්‌ වශයෙන්, ජාතීන් වශයෙන් අප එකතු විය යුතු යුගයක්‌. ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂය ජාතිවාදී පක්‍ෂයක්‌ නොවෙයි. අපි හැම දෙනාටම තමන්ගේ භාෂාව කතා කිරීමේ අයිතිය තිබිය යුතුයි. මුළු රටක්‌ එකතු වුණු වෙලාවක අපි ජනතාවත් එකතු කළ යුතුයි. ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂය ශක්‌තිමත් කළ යුතුයි. ඒ සඳහා ඔබ කැප වෙන්න. එය ඔබට කරන්න පුළුවන්.

අපි සංවර්ධන කටයුතු කරනවා. ඉතිහාසයේ කවදාවත් නොවූ සංවර්ධනයක්‌ දැන් මේ රටේ කෙරෙනවා. ආර්ථිකය ශක්‌තිමත් කරනවා. ඒක පුද්ගල ආදායම ඉහළ නංවලා තිබෙනවා. මේ සියල්ල ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයේ ප්‍රධානත්වයෙන් සිදුවන්නේ. ගමට මුදල් යනවා.

අපි පක්‍ෂයේ වගකීම් භාරගත යුතුයි. සමහරු මගෙන් අහනවා පක්‍ෂය ඇතුළේ අර්බුද තිබෙනවා ද කියලා. ඇයි ජ්‍යෙෂ්ඨයෝ මේ ගැන කතා කරන්නේ නැත්තේ කියලා. කට්‌ටියක්‌ යන්න හදනවාද කියලා. අද අපේ පක්‍ෂය ගැන බොහෝ ගැටලු ඇතිවෙලා තිබෙන්නේ පක්‍ෂයෙන් ඉවත් කළ අයට.

අපි පක්‍ෂයක්‌, ආණ්‌ඩුවක්‌ වශයෙන් අප සියලු දෙනා එකට ඉඳගෙන වැඩ කරමු. එයයි අපි කළ යුත්තේ. පක්‍ෂයකට වගකීමක්‌ තිබෙනවා. නායකයන්ට වගකීමක්‌ තිබෙනවා. අපට එන අභියෝගයන්ට අපි උත්තර දිය යුතුයි. ඒ අභියෝග අනුන්ට භාරදීලා බලාගෙන ඉන්න අපට පුළුවන්කමක්‌ නැහැ. අපේ වගකීම අප ඉටු කරන්න ඕනෑ. එය මතක තබාගන්න. අපි ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂය. අපි පක්‍ෂයක්‌ වශයෙනුයි පැමිණ තිබෙන්නේ. මම ඇතුළු මේ එක්‌කෙනෙකුවත් පක්‍ෂයෙන් ඉවත් වී ගොස්‌ තරග කර බලන්න. ස්‌වාධීනව තරග කර බලන්න. මුලින්ම තමන් මේ පක්‍ෂයට ආදරය කරන්න. මේ පක්‍ෂයට අද අලුතින් ආවද, ඊයේ ආවද, හෙට එනවාද, පක්‍ෂය හදපු දවසේ සිට හිටියා ද කියන එක ප්‍රශ්නයක්‌ නොවෙයි. පක්‍ෂය ඇතුළට ආවට පස්‌සේ පක්‍ෂයේ බව මතක තබාගන්න. මේ ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයට බැඳුණට පස්‌සේ ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයේ පාක්‍ෂිකයෙක්‌. ජනතාව ඡන්දය දුන්නා. එහෙම නම් ඒ පාක්‍ෂිකත්වයට ගරු කරන්න.

ඒ නිසා පක්‍ෂය පිළිබඳ, ඉතිහාසය පිළිබඳ දැනුවත් කිරීමේ කටයුතු, සම්මන්ත්‍රණ, අපේ ප්‍රතිපත්ති, අපේ ආර්ථික ප්‍රතිපත්ති පිළිබඳ දැනුවත් කරන්න ඕනෑ. ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයේ බණ්‌ඩාරනායක මැතිතුමා ජනසතු ව්‍යාපාරය ආරම්භ කළා. අපි කිසිදු දේපළක්‌ පෞද්ගලිකකරණය කළේ නැහැ. එහෙම කරලා තිබූ දේවලුත් අපි ආපසු රජයට ලබාගත්තා. ශ්‍රී ලංකන් එයාර් ලයින්, රක්‍ෂණ සංස්‌ථාව, ගෑස්‌ මේ දේවල් අපි ලබාගෙන තිබෙනවා. මේවා විකුණා දාපු අපේ සම්පත්. ඒවා අද ලාභ ලබන ආයතන බවට පත්කරලා අපි ඉදිරියට යනවා. අද අපට ආඩම්බර වෙන්න පුළුවන්. අපි විකුණාගෙන කාපු මිනිසුන් නොවෙයි. එයයි අපි ලබාගෙන තිබෙන ජයග්‍රහණය. ශක්‌තිමත් ආණ්‌ඩුවක්‌ හදලා, ශක්‌තිමත්ව රටක්‌ හදලා තිබෙනවා.

අපි ණය ලබා ගන්නවා. ඒ රටේ විවිධ සංවර්ධන කටයුතු සඳහා. එහෙම හදපු අධිවේගී මාර්ගවල, ප්‍රධාන මාර්ගවල ඉතා ඉක්‌මනින් ගාල්ලට, කටුනායකට, යාපනයට, අනුරාධපුරයට යන්න පුළුවන් වෙලා තිබෙනවා. මේවා පිළිබඳ අවබෝධ කරගන්න. අපටත් ණය නොවී වැඩ නොකර ඉන්න පුළුවන්. නමුත් අපට වගකීමක්‌ තිබෙනවා. මේවා පිළිබඳව සොයා බලන්න. බය නැතිව කතා කරන්න. පක්‍ෂය ශක්‌තිමත් කරන්න. අපි බලාපොරොත්තු වෙනවා ඉදිරි නව වර්ෂයේ දී වඩාත් ශක්‌තිමත් කරලා ඉදිරියට යන්න. ලබන වසරේ මැතිවරණ පවත්වනවා. ඒවා අපි ජයග්‍රහණය කරන බවත් මේ වෙලාවේ මතක්‌ කරන්න ඕනෑ. ඔබ ඒ සඳහා කැපවෙන්න ඕනෑ. සූදානම් වෙන්න ඕනෑ. පක්‍ෂයක්‌ වශයෙන් අපේ යුතුකම, වගකීම.

ඔබ පක්‍ෂය ශක්‌තිමත් කරන්න. පක්‍ෂය ඉදිරියට ගෙන යන්න. ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයට ජයවේවා·

 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.