තලංගම ඕ. අයි. සී. ඇතුළු පොලිසියේ 4 දෙනාට ඇප

පියදාස රණසිංහ

පොලිස්‌ විශේෂ කාර්ය බළකායේ (එස්‌.ටී.එµa.) හිටපු පොලිස්‌ පරීක්‍ෂක රොහාන් තුෂිත කුමාරසිංහ මහතා ඝාතනය කිරීමේ සිද්ධියේ විමර්ශන තොරතුරු වසන් කිරීමට උත්සාහ කරන ලද බව කියන තලංගම පොලිසියේ ස්‌ථානාධිපති, අපරාධ විමර්ශන අංශයේ ස්‌ථානාධිපති ඇතුළු පොලිස්‌ නිලධාරීන් හතරදෙනා රුපියල් ලක්‍ෂයේ ශරීර ඇප දෙක බැගින් වන ඇප කොන්දේසි යටතේ මුදාහරින ලෙසට කඩුවෙල මහෙස්‌ත්‍රාත් හා අතිරේක දිසා විනිසුරු වසන්ත ජිනදාස මහතා ඊයේ (19 දා) නියෝග කළේය.

තලංගම පොලිසියේ ස්‌ථානාධිපති පොලිස්‌ පරීක්‍ෂක උපුල් පෙරේරා, අපරාධ විමර්ශන අංශයේ ස්‌ථානාධිපති පොලිස්‌ පරීක්‍ෂක කේ. පී. කොඩිතුවක්‌කු, පොලිස්‌ සැරයන් නිහාල් පුෂ්පකුමාර, පොලිස්‌ කොස්‌තාපල් තරිඳු විරාඡ් නවරත්න යන නිලධාරීන්ට එරෙහිව කොළඹ අපරාධ කොට්‌ඨාසය මගින් මෙම පැමිණිල්ල ගොනු කර තිබේ.

ඉහත කී රොහාන් තුෂිත කුමාරසිංහ යන අය ඉකුත් ජුලි මස 21 දා බත්තරමුල්ල, පැලවත්ත ප්‍රදේශයේදී සංවිධානාත්මක අපරාධ කණ්‌ඩායමක්‌ විසින් පැහැර ගෙන ගොස්‌ නයිලෝන් ලණුවකින් ගෙල හිරකර ඝාතනය කර සිරුර රත්නපුර ප්‍රදේශයේ කැලණි ගඟේ ගිල්වා තිබිණි. ඒ පිළිබඳව මූලික විමර්ශන තලංගම පොලිසියට භාරව තිබිණි. පසුව අදාළ පරීක්‍ෂණ කටයුතු යටපත් වන බවට ලැබී තිබූ තොරතුරු මත වැඩිදුර විමර්ශන කොළඹ අපරාධ කොට්‌ඨාසය මගින් සිදු කරන ලදී. එම විමර්ශනවල ප්‍රතිඵලයක්‌ වශයෙන් ඝාතනයේ සැකකරුවන් ලෙසට අත්අඩංගුවට ගනු ලැබූ මියගිය අයගේ අනියම් බිරිඳ වන හිමාලි කරුණාරත්න නමැති කෝටිපති කාන්තාව ඇතුළු සැකකරුවන් දැනට රක්‍ෂිත බන්ධනාගාර ගත කර ඇත.

මෙම අපරාධයට අදාළ විමර්ශන කටයුතු වසන් කළ බවට චෝදනා ලබා සිටින සැකකාර පොලිස්‌ නිලධාරීහු හතරදෙනා බන්ධනාගාරය මගින් ඊයේ (19 දා) අධිකරණයට රැගෙන එනු ලැබූහ.

නඩුව කැඳවූ අවස්‌ථාවේ පැමිණිල්ල වෙනුවෙන් අධිකරණය හමුවේ පෙනී සිටි කොළඹ අපරාධ කොට්‌ඨාසය සැකකාර පොලිස්‌ ස්‌ථානාධිපතිවරයා විසින් ඉහත කී ඝාතන විමර්ශන සඳහා පවත්වාගෙන ගිය බවට සැක කරන ව්‍යාජ පොලිස්‌ තොරතුරු සටහන් පොතක්‌ මුද්‍රd තබා අධිකරණයට ඉදිරිපත් කළේය.

තවද සැකකරුවන්ගේ බැංකු ගිණුම් වාර්තා හා රස පරීක්‍ෂක වාර්තා ලබා ගැනීමට අවශ්‍ය බව දැන්වූ පොලිසිය සැකකරුවන් දැනට ඇප මත මුදාහැරීම කෙරෙහි විරුද්ධ වන බව ප්‍රකාශ කළේය.

සැකකරුවන් වෙනුවෙන් අධිකරණය හමුවේ පෙනී සිටි ජනාධිපති නීතිඥ නලීන් ලද්දුවහෙට්‌ටි, නීතිඥ ඩී. ජී. පී. කරුණාරත්න, නුවන් ජයවර්ධන, සෞම්‍ය හෙට්‌ටිආරච්චි යන මහත්වරු හා නීතිඥ සංධ්‍යා තල්දූව මහත්මිය කරුණු දක්‌වමින් මාසයකට අධික කාලයක්‌ තිස්‌සේ සිය සේවාදායක සැකකරුවන් රක්‍ෂිත බන්ධනාගාර ගත කර සිටින බවත්, විමර්ශන කටයුතු බොහෝ දුරට අවසන්ව ඇති බවත් සඳහන් කරමින් සුදුසු ඇප කොන්දේසි යටතේ ඔවුන් මුදාහරින ලෙසට ඉල්ලා සිටියහ.

එම ඉල්ලීම් සම්බන්ධව සැලකිලිමත් වූ විනිසුරු වසන්ත ජිනදාස මහතා පසුගිය දෙසැම්බර් මස 09 වැනිදා ඇප පනතේ 14/3 වගන්තිය යටතේ අධිකරණය ලබාදුන් ඇප ප්‍රතික්‍ෂේප කිරීමේ නියෝගය වෙනස්‌ කිරීමට තීරණය කරන ලද බවත්, මෙම අපරාධයට අදාළ විමර්ශන කටයුතු බොහෝ දුරට අවසන්ව තිබීමත් සැකකරුවන් මාසයක පමණ කාලයක්‌ රිමානඩ් බන්ධනාගාරයේ සිටීමත් යන කරුණු ඊට හේතුව බව සඳහන් කරමින් සියලු සැකකරුවන් ඉහත කී ඇප කොන්දේසි යටතේ මුදාහැරීය.

සියලු සැකකරුවන් සෑම මසකම ඉරු දිනවල කොළඹ අපරාධ කොට්‌ඨාසය හමුවේ පෙනී සිටීමටද විනිසුරුවරයා වැඩිදුරටත් නියෝග කළේය.

සැකකරුවන් වෙනුවෙන් නීතිඥ සන්ධ්‍යා තල්දුව මහත්මිය සමග ජනාධිපති නීතිඥ නලීන් ලද්දුවහෙට්‌ටි, ඩී. ජී. පී. කරුණාරත්න, නුවන් ජයවර්ධන හා සෞම්‍ය හෙට්‌ටිආරච්චි යන මහත්වරු පෙනී සිටියහ.

කොළඹ අපරාධ කොට්‌ඨාසයේ පොලිස්‌ පරීක්‍ෂකවරුන් වන ප්‍රේමතිලක, හේමතිලක යන මහත්වරුන් සමග ප්‍රධාන පොලිස්‌ පරීක්‍ෂක නෙවිල් ද සිල්වා මහතා පෙනී සිටියහ.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.