පේරාදෙණිය නවක වධ සිද්ධියේ සිසුන් තිදෙනාට අත්හිටවූ සිරදඬුවම්

සිරිල් විමලසුරේන්ද්‍ර

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ නවක සිසුවකුට අමානුෂික නවක වධය දීමේ චෝදනාවකට වරද පිළිගත් සරසවි සිසුන් තිදෙනකුට මහනුර මහාධිකරණ විනිසුරු මනිලාල් වෛද්‍යතිලක මහතා බරපතළ වැඩ සහිත අත්හිටවූ සිරදඬුවම් සහ වන්දි ගෙවීමට පෙරේදා (18 වැනිදා) නියම කළේය.

බරපතළ සිරදඬුවම් අත්හිටවූ සිරදඬුවම් බවද විනිසුරු මනිලාල් වෛද්‍යතිලක මහතා පැවසීය. 2011 ඔක්‌තෝබර් මස 26 වැනි දින හෝ 27 වැනිදා දින හෝ ආසන්න කාලයකදී පේරාදෙණිය විශ්ව විද්‍යාලයෙන් උගෙනුම ලබමින් සිටි හම්බන්තොට ප්‍රදේශයේ ශිෂ්‍යයකුට නවක වධය දෙමින් අමානුෂික ලෙස හිංසා කිරීම සහ ලිංගික ක්‍රියාකාරකම් සිදු කිරීම ඇතුළු චෝදනා හයක්‌ යටතේ මහනුවර මධ්‍යම පළාත්බද අධිකරණය නඩු පවරා තිබිණි.

චූදිතයන් තිදෙනා අතරින් පළමුවන විත්තිකරු වූ චරිත ලක්‌මාල් නමැති සිසුවාට පළමුවැනි සහ දෙවැනි චෝදනාවලට වරදකරුවූයෙන් වසර පහකට අත්හිටවු බරපතළ වැඩ සහිත සය මසක සිර දඬුවමක්‌ නියම කරන ලදී. තුන් වැනි චෝදනාවට වරදකරු වූ ඔහුට පස්‌ වසරකට අත්හිටවූ එක්‌ වසරකට සිරදඬුවමක්‌ නියම කරන ලදී.

මීට අමතරව අගතියට පත් සිසුවාට රුපියල් තුන් ලක්‍ෂ තිස්‌ දහසක වන්දියක්‌ ලෙස ගෙවීමටද නියම කරන ලදී.

දෙවැනි විත්තිකරු වූ යක්‌කලමුල්ලේ රුචිර මධුසංඛ ශිෂ්‍යයාට පළමුවැනි සහ දෙවැනි චෝදනා වෙනුවෙන් වරදකරු විණි. ඒ සඳහා පස්‌වසරකට අත්හිටවූ සය මසක සිරදඬුවමක්‌ද සිව්වැනි චෝදනාවට පස්‌ වසරක අත්හිටුවන ලද එක්‌ වසරක සිර දඬුවමක්‌ද නියම කළ මහාධිකරණ විනිසුරු මනිලාල් වෛද්‍යතිලක මහතා අගතියට පත් පාර්ශ්වයට රුපියල් තුන් ලක්‍ෂ තිස්‌ පන්දහසක වන්දියක්‌ ගෙවීමට නියම කළේය.

තුන්වැනි විත්තිකරු වූ ගෝනපීනුවල සුසාත් සඳරුවන් වරද පිළිගැනීමෙන් පසුව පස්‌වසරකට අත්හිටවූ සය මසක බරපතළ වැඩ සහිත සිරදඬුවමක්‌ පළමුවැනි සහ දෙවැනි චෝදනා සඳහා නියම කරන ලදී. පස්‌වැනි චෝදනාව වෙනුවෙන් අගතියට පත් සිසුවාට රුපියල් ලක්‍ෂ දෙකක්‌ ගෙවීමටද නියම කරන ලදී. ඔහුට හයවැනි චෝදනාව වෙනුවෙන් පස්‌ වසරකට අත්හිටවූ සය මසක බරපතළ වැඩසහිත සිරදඬුමක්‌ද නියම කෙරිණි. එසේම එම වරද වෙනුවෙන් අගතියට පත් සිසුවාට රුපියල් එක්‌ලක්‍ෂ තිස්‌පන්දහසක වන්දියක්‌ ගෙවීමට නියම විය.

පළමු වන හා දෙවන විත්තිකරුවන් නවක වධය දීමත්, ලිංගික අවශ්‍යතා සපුරා ගත් බවත් යන චෝදනා ලබා සිටි අතර තුන් වැනි විත්තිකරු පළමුවැනි සහ දෙවැනි විත්තිකරුවන්ට ලිංගික අවශ්‍යතා සපුරා ගැනීමට හා නවක වධය දීමට ආධාර කළ බවට චෝදනා ලැබ සිටියේය.

මෙම දඬුවම් නියම කරනු ලැබුවේ ලංකා දණ්‌ඩ නීති සංග්‍රහයේ නවක වධය වැළැක්‌වීමේ පනත යටතේ බව මහාධිකරණ විනිසුරු වෛද්‍යතිලක මහතා සඳහන් කර තිබිණි.

දඬුවම් නියම කළ මහාධිකරණ විනිසුරු මනිලාල් වෛද්‍යතිලක මහතා දඬුවම් ලැබූ සරසවි සිසුන්ට දැඩි ලෙස අවවාද කරමින් විශ්ව විද්‍යාලවල ඉගෙන ගන්නා ජ්‍යෙෂ්ඨයන් කියන ශිෂ්‍යයන් අසීමිත, අත්තනෝමතික බලයක්‌ අතට ගැනීම සුදුසු නොවන බවත් දෙමාපියන් තම දරුවන් විශ්ව විද්‍යාලවලට යවන්නේ දඩබ්බරයන් බවට පත් කිරීමටත්, අධිකරණය මගින් දඬුවම් ලබාදීමටත් නොවන බව වටහා ගත යුතු බවටත් පෙන්වා දුනි.
 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.