නිවාසකරණයේ විප්ලවීය පරිවර්තන යුගයක්‌ රට තුළ බිහි වී තිබෙනවා
- ඇමැති විමල් වීරවංශ


අජිත් අලහකෝන්, අකිත පෙරේරා

නිවාසකරණයේ විප්ලවීය පරිවර්තනයක්‌ සිදු වන යුගයක්‌ රට තුළ බිහි වී ඇතැයි ඉදිකිරීම් ඉංජිනේරු සේවා නිවාස හා පොදු පහසුකම් ඇමැති විමල් වීරවංශ මහතා ඊයේ (19 දා) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.

එම අමාත්‍යාංශයේ වැය ශීර්ෂය පිළිබඳ විවාදයේ පිළිතුරු කතාව කරමින් විමල් වීරවංශ මහතා එසේ කීවේය.

වේත්‍රධාරී අනිල් පරාක්‍රම සමරසේකර මහතා සෙංකෝලය තැන්පත් කළ පසුව කථානායක චමල් රාජපක්‍ෂ මහතාගේ මුලසුන යටතේ ඊයේ (19 දා) පෙරවරු 9.30 ට පාර්ලිමේන්තුව රැස්‌විණි.

නිවේදන, වාර්තා සහ ලිපි ලේඛන ඉදිරිපත් කළ පසුව වාචික පිළිතුරු අපේක්‍ෂාවෙන් මන්ත්‍රීවරුන් අසා තිබූ ප්‍රශ්නවලට අදාළ ඇමැතිවරු උත්තර දුන්හ.

අනතුරුව අයවැය කාරක සභා අවස්‌ථාවේ විවාදය පහළොස්‌ වැනි දිනටත් ඇරැඹිණි. රාජ්‍ය පරිපාලන හා ස්‌වදේශ කටයුතු, ඉදිකිරීම්, ඉංජිනේරු සේවා, නිවාස හා පොදු පහසුකම් යන අමාත්‍යාංශවල වැය ශීර්ෂ පිළිබඳ විවාදය ආරම්භ කරමින් මාතර දිස්‌ත්‍රික්‌ (එ.ජා.ප.) මන්ත්‍රී බුද්ධික පතිරණ මහතා - මා බුද්ධික පතිරණ යෑයි නොකියා රාජ්‍ය ආයතන 21 කට දුරකථනයෙන් කතා කර බදාදා අවශ්‍ය නිලධාරීන් ආසනවල සිටී ද කියා සොයා බැලුවා. බදාදා සිටිය යුතුම දවසෙ ආයතන අටක පමණයි ප්‍රධානීන් සිටියේ. මේක රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයට එරෙහි චෝදනාවක්‌ නොවේ. අවම වශයෙන් බදාදා දවසවත් ජනතාව උදෙසා කටයුතු කරන බවට සලකා ඇමැති මණ්‌ඩලය තීරණයක්‌ ගන්න. විශ්‍රාමිකයන්ට ගෙවන වැටුප් පිළිබඳ ප්‍රශ්නයක්‌ තියෙනවා. ඔවුන්ගේ වැටුප් විෂමතාව ඉවත් කරන්න.

කාරක සභා නියෝජ්‍ය සභාපති චන්ද්‍රකුමාර මුරුගේසු මහතා - උපාධිධාරීන් දිගු කලක්‌ රටේ බරක්‌ ලෙස සිටියා. ඔවුන්ට අද තෘප්තිමත් විය හැකි රැකියා ලැබී තිබෙනවා. මේ වසරේ ජුලි සිට ස්‌ථිර සේවකයන් සේ සලකා පත්වීම් දී තිබෙනවා. කිලිනොච්චි, මුලතිව්, වව්නියාව ප්‍රදේශවල තවමත් පුරප්පාඩු තිබෙනවා. උපාධිධාරීන් ඒ සඳහා අන්තර්ග්‍රහණය කරන ලෙස මම ඉල්ලා සිටිනවා.

ගරුත්වයට ලක්‌ වූ පළාත් පාලන ක්‍ෂේත්‍රය අද විනාශයට පත්වෙලා
- ජෝන් අමරතුංග (එ.ජා.ප.)

විපක්‍ෂයේ ප්‍රධාන සංවිධායක ජෝන් අමරතුංග මහතා - පළමු වැනි වර ප්‍රාදේශීය සභා පැරදුනාම දෙවැනි වර එය දිනාගන්න මැර තර්ජනය කරලා විරුද්ධව ඡන්දය දෙන අයට එන්න ඉඩ නොදී යකඩ දොරවල් දමා වහනවා. මේක ද යහපාලනය. අද පළාත් පාලනය අන්ත දූෂිත බවට පත්වී තිබෙනවා. ගරුත්වයට ලක්‌වූ පළාත් පාලන ක්‍ෂේත්‍රය අද අන්ත විනාශයට පත්වෙලා. හරිම කනගාටුදායකයි. කොහොමද රට සංවර්ධනය කරන්නේ. දූෂිත සභාපතිව ඉවත් කර උප සභාපති සමග යන්න ඉඩ දිය යුතුයි. යහපාලනය පටන්ගත යුත්තේ පළාත් පාලන ක්‍ෂේත්‍රයෙන්.

විදේශ ඇමැති මහාචාර්ය ජී. එල්. පීරිස්‌ මහතා - මංගල සමරවීර මහතා පෙර දවසේ ප්‍රශ්න කළා ඊශ්‍රායල් ගුවන් යානයක්‌ කටුනායකට පැමිණීම ගැන. පොදු රාජ්‍ය මණ්‌ඩලයට එහි සම්බන්ධය විමසූ පොදු රාජ්‍ය මණ්‌ඩල රාජ්‍ය නායකයන් රැස්‌වෙද්දී ව්‍යාපාරික සමුළුවක්‌ පවත්වනවා. පොදු රාජ්‍ය මණ්‌ඩල රටවලට අයත් නැති රටවලටත් මේ ව්‍යාපාරික සමුළුවට ඇරයුම් කරනවා. එවැනි රටවල් 14 ක ප්‍රධාන පෙළේ ව්‍යාපාරිකයන් පැමිණියා. ඊශ්‍රායලයත් ඒ අතර සිටියා. ඔවුන් පැමිණියේ ඒ අයගේ ගුවන්යානයකින්.

අද උපාධිධාරීන් ඇට බෙදන පැළ බෙදන බාල තත්ත්වයට වැටිලා
- සුනිල් හඳුන්නෙත්ති (ප්‍ර.ජා.සං.)


සුනිල් හඳුන්නෙත්ති මහතා - රාජ්‍ය පරිපාලන වැය ශීර්ෂයට ඔය කතාව අදාළ වන්නේ කොහොමද?

මහාචාර්ය පීරිස්‌ මහතා - එහෙම නම් ඊයේ කතා කළේ කොහොමද අසත්‍ය ප්‍රචාරයට පිළිතුරු දෙන්න අපට වගකීමක්‌ තියෙනවා. මම ගන්නේ ආණ්‌ඩුවේ කාලය. ඔබතුමාට ප්‍රශ්නයක්‌ නෑනේ...

කොළඹ දිස්‌ත්‍රික්‌ මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතා (ප්‍ර.ජා.සං.) - රාජ්‍ය පරිපාලන සේවයට දැන් පිටින් බඳවා ගැනීම් වෙනවා. එම සේවයේ විභාග පාස්‌ කරපු අය සිටිද්දී මේජර් ජනරාල්වරු අද දිසාපතිවරු වෙලා. ආරක්‍ෂක අමාත්‍යාංශයේ සිටිය යුතු අය අද රාජ්‍ය පරිපාලනයේ වැඩ කරනවා. මේ සේවයට දක්‍ෂ අය, තරුණ අය එන්න ඕනා. ඒත් හැට පැන්න අයත් රාජ්‍ය පරිපාලනයේ ඉන්නවා. අමාත්‍යාංශයේ සිටින ලේකම්වරයාත් හැට පැන්න අයෙක්‌. ඒ අයත් දක්‍ෂ වෙන්න පුළුවන්. එහෙම නම් විශ්‍රාම යන වයස 60 නොවෙයි 70 වත් කරගන්න. මොකටද මේ හැටේ සීමාවක්‌ තියෙන්නේ. මේකෙන් වෙන්නේ අනෙක්‌ දක්‍ෂ අය අධෛර්යයට පත් වීමයි.

ඩබ්ලිව්. ඩී. ඡේ. සෙනෙවිරත්න මහතා - ලේකම්වරු පත් කරන්නේ ජනාධිපතිතුමායි. විශාල ලෙස අත්දැකීම් තිබෙන අයත් ලේකම්වරු ලෙස පත් කරනවා.

සුනිල් හඳුන්නෙත්ති මහතා - ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල වැඩි බරක්‌ අදින්නේ අතිරේක ලේකම්වරුයි. නමුත් ඔවුන්ට නිසි සැලකීමක්‌ නැහැ. අද උපාධිධාරීන්ගේ තත්ත්වය බලන්න, ඇට බෙදන, පැළ බෙදන, පැළ බාන තත්ත්වයට ඔවුන්ව පත් කරලා. රැකියාව ස්‌ථිර කළාට ඔවුන්ට නිසි කාර්යයක්‌ නෑ. අඩුම තරමේ මේසයක්‌ පුටුවක්‌වත් නැහැ. ලියුම් කඩන්නෙත් වර්ගීකරණය කරන්නෙත් අද උපාධිධාරියෝ.

ගාල්ල දිස්‌ත්‍රික්‌ මන්ත්‍රී ගයන්ත කරුණාතිලක මහතා - ආණ්‌ඩුව අද මොනතරම් ප්‍රකාශ කළත් රාජ්‍ය සේවය විධිමත් කරන්න කටයුතු කර නැහැ. රාජ්‍ය සේවකයන් උසස්‌ වීම, වැටුප් විෂමතාවලින්, ස්‌ථාන මාරුවලින් යන අංශවලින් එන ප්‍රශ්න නිසා ඔවුන් හෙම්බත් වෙලා ඉන්නවා. රාජ්‍ය සේවයට අද දේශපාලනඥයා ඇතුල් වීම නිසා විශාල ප්‍රශ්න මතුවී තිබෙනවා. ග්‍රාම නිලධාරීන් කියන්නේ දේශපාලන කටයුතු කිරීමට වරමක්‌ නැති පිරිසක්‌. නමුත් මා ළඟ තිබෙනවා බෙන්තර - ඇල්පිටිය ආසන සංවිධායකවරිය වන ගීතා කුමාරසිංහ මහත්මිය ග්‍රාම නිලධාරීන්ට ලිපි යවනවා.

පත්කළ මන්ත්‍රී ආර්. යෝගරාජන් මහතා (එජාප)- මධ්‍යම පළාතේ ජනතාවගෙන් 1000(1 ක්‌ තමයි රාජ්‍ය සේවකයෝ සිටින්නේ. එය ඉතා අසාධාරණයි. මේකට පිළිතුරක්‌ දෙන්න කියලා අපි 1994 සිට ඉල්ලා සිටිනවා. නමුත් තවම එය ඉටුවී නැහැ. රාජ්‍ය සේවයේ 94% ක්‌ම ඉන්නේ සිංහල අයයි. දෙමළ ජනතාව සිටින ගම් ප්‍රදේශවලට දෙමළ ග්‍රාම නිලධාරීන් පත් කරන්න.

රාජ්‍ය පරිපාලන හා ස්‌වදේශ කටයුතු ඇමැති ඩබ්ලිව්. ඩී. ඡේ. සෙනෙවිරත්න මහතා - බදාදා දිනවල නිලධාරීන් නැහැ කියන එක සත්‍යයද කියලා මා දන්නේ නැහැ. ඒ ගැන තොරතුරු දෙන්න අප හොයලා බලන්නම්. බදාදා මහජන දිනයේ නිලධාරීන් අනිවාර්යයෙන් කාර්යාලවල රැඳී සිටිය යුතුයි. සීමා නිර්ණය පිළිබඳවත් කතා වුණා. කුඩා ප්‍රදේශවලට ප්‍රාදේශීය ලේකම් කාර්යාල පත්කළොත් විශාල ප්‍රදේශවලට එය අසාධාරණයක්‌ වෙනවා. ඒ නිසා මේ සීමා නිර්ණය ගැන අපි ජනාධිපතිතුමා සමග කතාකොට කටයුතු කරනවා. ග්‍රාම නිලධාරීන්ව අපි දේශපාලනයට යොදා ගන්නේ නැහැ. එහෙම කළේ එජාපයයි. කුසලතාව අනුවයි අපි ග්‍රාම නිලධාරීන් පත් කරන්නේ. අපි සියලුම උපාධිධාරීන්ට රැකියා ලබා දෙනවා. උපාධිධාරීන්ම රැකියා කරන කොට මේස, පුටුව නැහැ කිව්වා. හැබැයි 2014 ඉවර වෙන්න පෙර ඔවුන්ට අවශ්‍ය ඒ සියලු පහසුකම් ලබා දෙනවා.

දිවා විවේකය සඳහා පස්‌වරු 12.30 ට සභාව අත්හිටුවීය. අනතුරුව පස්‌වරු 1.00 ට කාරක සභා නියෝජ්‍ය සභාපති චන්ද්‍රකුමාර මුරුගේසු මහතාගේ මුලසුන යටතේ සභාව රැස්‌විණි.

ගම්පහ දිස්‌ත්‍රික්‌ (එජාප) මන්ත්‍රී අජිත් මාන්නප්පෙරුම මහතා - ඉදිකිරීම් ක්‌ෂේත්‍රයේ මේ කරන වැඩවලින් මහා පරිමාණ ගසාකෑම් කරනවා. නොරොච්චෝලේ බලාගාරය ඉදිකළා කියලා විදුලි බිල අඩු වුණේ නෑ. ඉදිකිරීම් ගැන මහ ලොකුවට කතා කරනවා. ටෙන්ඩර් පටිපාටියක්‌ ඇතිවද මේ වැඩ කළේ. යුද්දෙන් වූ විනාශයට වඩා මේ දැවැන්ත ඉදිකිරීම් විධිමත්ව නොකිරීම නිසා ජනතාවට වන්දි ගෙවන්න සිද්ධ වෙලා.

නැවත පදිංචි කිරීමේ නියෝජ්‍ය ඇමැති ගුණරත්න වීරකෝන් මහතා - සියලු දේ පිළිබඳ සර්ව අසුබවාදීව බලන මන්ත්‍රී කෙනකුගේ කතාවෙන් පසුවයි මම කතා කරන්නේ.

බස්‌නාහිර තිබූ සංවර්ධනය ගමට ගෙනයන්න මහින්ද චින්තනය අනුව මේ ආණ්‌ඩුව කටයුතු කළා. හම්බන්තොට වරාය පිළිබඳ සිහිනය දැක්‌කේ එජාපයේ ආනන්ද කුලරත්න ඇමැතිවරයා. ඒ සිහිනය මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිවරයා සැබෑ කළා.

නුවරඑළිය දිස්‌ත්‍රික්‌ මන්ත්‍රී (එජනිස) - පී. රාජතුරෙයි මහතා - වතුකරයේ ලයින්වල ජනතාව නිවාස අයිතිය මෙතෙක්‌ නොලද දෙයක්‌ ලෙසයි දකින්නේ. අවුරුදු දෙසීයක්‌ තිස්‌සේ වතුකරයේ ජනතාව ජීවත් වෙන්නේ ලැයින් කාමරවල. 1994 වතු ජනතාවට පර්චස්‌ හත බැගින් ඉඩම් කට්‌ටි 54000 ක්‌ බෙදා දුන්නා.

පත්කළ මන්ත්‍රී (එජාප) - ආර්. යෝගරාජන් මහතා - මේ අමාත්‍යාංශය ග්‍රාමීය නිවාස අමාත්‍යාංශය ලෙස නම් කළා නම් හොඳයි. වතු නිවාස හදන්නෙත් නාගරික සංවර්ධන අධිකාරියෙන්.

විධිමත් නගරයක්‌ සැලසුම් කරන අයුරු පෙන්වා දුන්නේ අපේ රජයයි
- ලසන්ත අලගියවන්න (එ.ජ.නි.ස.)


ඉදිකිරීම්, ඉංජිනේරු සේවා නිවාස හා පොදු පහසුකම් නියෝජ්‍ය ඇමැති ලසන්ත අලගියවන්න මහතා- ක්‍රමානුකූලව විධිමත් පරිදි නගරයක්‌ සැලසුම් කරන අයුරු පෙන්වා දුන්නේ වර්තමාන රජයයි. අලුතින් නිවාස ඉදිකිරීම අභියෝගයක්‌ වගේම අවිධිමත්ව ඉදිකළ නිවාස නඩත්තුව ගැනත් අපේ අවධානය යොමු කරන්න සිද්ධවෙලා. ඒ නිසා අපි අවිධිමත් නිවාස ඉදිකිරීමක්‌ හෝ සැලසුම්කරණයක්‌ සිදුකරන්නේ නෑ. පොදු ඉඩම් වෙනත් කටයුතුවලට අපි යොදවා ගන්නේත් නැහැ.

නුවරඑළිය දිස්‌ත්‍රික්‌ මන්ත්‍රී එස්‌. ඩී. රාධක්‍රිෂ්ණන් මහතා (එජනිස)(- තොරතුරු තාක්‍ෂණය සම්බන්ධව උපාධියක්‌ ලබාගෙන තිබෙනවා එකොළොස්‌ හැවිරිදි දැරියක්‌ නුවරඑළියේ. අපි ඇයව අගය කළ යුතුයි. ඇයට නිවසක්‌ ලබාදෙන ලෙසට ඉල්ලා සිටිනවා.

කොළඹ දිස්‌ත්‍රික්‌ මන්ත්‍රී ප්‍රභා ගනේෂන් මහතා (එජනිස)-

කොළඹ ජනතාවට දහස්‌ ගණනක්‌ නිවාස ඉදිවෙමින් පවතිනවා. පවුල් දෙකක්‌ පමණ එක නිවසක ජීවත් වෙනවා. ඒ නිසා නිවාස ලබාදීමේදී මේ ගැන සැලකිලිමත් විය යුතුයි. නිවාස දීමේදී මුස්‌ලිම්, දෙමළ, ජනතාවට වැඩි අවධානයක්‌ දක්‌වන මෙන් මා ඉල්ලා සිටිනවා.

කාන්තා හා ළමා කටයුතු සංවර්ධන නියෝජ්‍ය ඇමැති ඒ. එම්. එල්. එම්. හිස්‌බුල්ලා මහතා-

නිවාස ඉදිකිරීමේදී ජාතික නිවාස අධිකාරිය විශාල වැඩ කොටසක්‌ සිදුකරන බව පෙනෙනවා. කොළඹ නිවාස සම්බන්ධව බැලුවහොත් කොළඹ ජන අනුපාතය වෙනස්‌ කිරීමට උත්සාහ ගන්නවාද කියන ගැටලු තිබෙනවා. ඇතැම් කොළඹ නිවාස කඩා දමන විට ගෙවල් කුලී ලබාදීමත් කරනවා. රු. 12000 ක්‌ පමණ. නමුත් එය ප්‍රමාණවත් නැහැ. මේ අය එදිනෙදා ජීවිකාව කරන අය ඇතැම් නිවාස කඩා දමනවා ඒවා අනවසර ඉදිකිරීම් නිසා එය නවත්වන්න තියා ඉල්ලනවා.

ඇමැති විමල් වීරවංශ මහතා- පොදු මළ නාලිකා සහ ඇළ මාර්ග අවහිර වන පරිද්දෙන් ඉදිකර තිබෙන අනවසර නිවාස පමණයි අපි ඉවත් කරන්නේ.

හිස්‌බුල්ලා මහතා- කොළඹ පවතින නිවාස සංකීර්ණ මේ වන විට ඉතා ලස්‌සනට ප්‍රතිසංස්‌කරණය කර තිබෙනවා. ඒ ගැන සතුටුයි. ඒවා ඉදිරියටත් නඩත්තු කළොත් ලස්‌සනට කියා ගන්න පුළුවන්.

ශ්‍රියානි විඡේවික්‍රම මහත්මිය මූලාසනයට පැමිණේ.

වන්නි දිස්‌ත්‍රික්‌ මන්ත්‍රී පී. අරියනේත්‍රන් මහතා (ද්‍රජාසං)-

සාමය පවතිනවා කියන උතුරු නැගෙනහිර පළාත දෙස බලන විට මහා පරිමාණ නිවාස ව්‍යාපෘතියක්‌ ක්‍රියාත්මක වන්නේ නැහැ. උතුරට ඉන්දියාවෙන් නිවාස ව්‍යාපෘතියක්‌ ලබාදෙනවා. නමුත් එයත් තවම අවසන් කොට නැහැ. යුද්ධයෙන් අවතැන් වූ විශාල පිරිසක්‌ ඉන්නවා. ඒ අයට තවමත් නිවාස ව්‍යාපෘතියක්‌ ලබාදී නැහැ.

කුරුණෑගල දිස්‌ත්‍රික්‌ මන්ත්‍රී නෙරංජන් වික්‍රමසිංහ මහතා (එජනිස)-

අඩු පිරිවැයකින් නිවාස ඉදිකිරීමට අවශ්‍ය පියවර මෙන්ම නව තාක්‍ෂණික ක්‍රමවේද හඳුන්වා දී තිබෙනවා. කුඩා හා මධ්‍ය පරිමාණ ක්‍ෂේත්‍රයේ වර්ධනයක්‌ දකින්න තියෙනවා. තමන්ට හොඳ නිවසක්‌ ලබා ගැනීමේ සිහිනය කොළඹ පැල්පත්වාසීන්ට තිබුණා. අද ඒ වරම උදාකරදී තිබෙනවා. එය ඔවුන් ලබාගත් විශාල ජයග්‍රහණයක්‌.

කුරුණෑගල දිස්‌ත්‍රික්‌ මන්ත්‍රී (එජාප) නලින් බණ්‌ඩාර මහතා-

රජයේ සේවකයින් අති බහුතරයක්‌ නිවාස ප්‍රශ්නයෙන් පීඩා විඳිනවා. බොහෝ පිරිසක්‌ විශ්‍රාම ලබන්නේ තමන්ටම කියා නිවසක්‌ නැතිව රජයේ සේවකයන්ට නිවාස ලබාදීමේ වැඩපිළිවෙළක්‌ නෑ. ප්‍රේමදාස මහත්තයගේ කාලේ එක ගමක නිවාස තුන්සීය හාරසීය හැදුවා. මගේ ප්‍රාදේශීය ලේකම් කොට්‌ඨාසයට අද ගෙවල් අටයි හදලා තියෙන්නේ. 2010 න් පස්‌සේ රජයේ සේවකයන්ට එක ගෙයක්‌වත් හදලාදීලා නෑ. පසුගිය දවස්‌වල කතා නොකර සිටි වීරවංශ ඇමැතිතුමා අද මේ අයවැය විවේචනය කරයි කියා මම හිතනවා. අද හොඳ කතාවක්‌ එතුමාගෙන් අසාගන්න බලාගෙන ඉන්නවා.

උසස්‌ අධ්‍යාපන නියෝජ්‍ය ඇමැති නන්දමිත්‍ර ඒකනායක මහතා- සෙවණ අරමුදල යටතේ කොතරම් නිවාස ණය වැඩසටහන් කර තිබෙනවාද කියා රජයේ සේවකයන්ගෙන් අහන්න. එජාපය අවුරුදු දෙකක්‌ බලයේ හිටියා. නිවාස කීයක්‌ හැදුවද, පාරවල් කීයක්‌ හැදුවද.

අද බැංකුවලින් නිවාසවලට ලබාදෙන ණයවල පොලිය ඉතාම ඉහළයි
- අජිත් පී. පෙරේරා (එ.ජා.ප.)


කළුතර දිස්‌ත්‍රික්‌ (එජාප) මන්ත්‍රී අජිත් පී. පෙරේරා මහතා- එදා ප්‍රේමදාස මහත්තයාගේ කාලේ දුප්පත් අසරණ මිනිස්‌සු උදෙසා නිවාස ලක්‍ෂ ගණනින් හැදුනා. අපේ රටේ රජයේ සේවකයන්ට පස්‌ අවුරුදු ණය වැනි ණය යෝජනා ක්‍රම තියෙනවා. අද රජයේ හා පුද්ගලික බැංකු නිවාසවලට ලබාදෙන ණයවල පොලිය ඉතාම ඉහළයි. මේ අධික පොලී අනුපාතය මධ්‍යම පාන්තිකයන්ට දරාගන්න බෑ.

ඇමැති විමල් වීරවංශ මහතා- නිවාස අධිකාරිය වගකීම භාරගෙන ලක්‍ෂ පහ දක්‌වා ණය ලබාදෙන ක්‍රමයක්‌ අපි හඳුන්වා දෙනවා. ඒ මුදලත් ප්‍රමාණවත් නැතිබව පිළිගන්නවා නිවසක්‌ හදන්න.

පත්කළ මන්ත්‍රී (එජනිස) අස්‌ලාම් සලීම් මොහොමඩ් මහතා- පසුගිය අවුරුදු තුන තුළ ජන සරණ ව්‍යාපෘතිය සාර්ථකව ක්‍රියාත්මක වුණා. මෙවැනි වැඩපිළිවෙළක්‌ කිසිදා නැති අන්දමින් ක්‍රියාත්මක වෙනවා.

ගාල්ල දිස්‌ත්‍රික්‌ මන්ත්‍රී (ස්‌වාධීන) අජිත් කුමාර මහතා- අද සාමාන්‍ය මිනිසුන් බහුතරයකට තමන්ට නිවාසයක්‌ හදා ගැනීමේ ප්‍රශ්නයක්‌ තියෙනවා. ඒක මේ ඇමැතිවරයාටවත් විසඳන්න බෑ. විශාල ප්‍රමාණයක්‌ ඉන්නවා. නිවසක්‌ නැති මිනිසුන්. ගෙයක්‌ හදාගන්න කොට ඒ ගෙදර ජීවත් වීමේ ප්‍රශ්නයක්‌ තියෙනවා. ඒ හදපු ගෙදර ඉන්න වෙලාවක්‌ නෑ. ගත්තු ණය ගෙවන්න වැඩිපුර වැඩ කරන්න වෙනවා. ගෙයක්‌ නැති මිනිසාත්, ගෙයක්‌ හදාගත් මිනිසාත් අසරණ වෙලා.

මන්නාරම දිස්‌ත්‍රික්‌ මන්ත්‍රී එස්‌. අඩෙයිකලනාදන් මහතා (එජනිස)- නැවත පදිංචි වූ ජනතාව අතර වැන්දඹුවන් බොහෝ සිටිනවා. දරුවනුත් සිටිනවා. ඒ නිසා ඔවුනට නිවාස ව්‍යාපෘතියක්‌ ඇති කරනවා නම් හොඳයි.

ඉදිකිරීම්, ඉංජිනේරු සේවා නිවාස හා පොදු පහසුකම් ඇමැති විමල් වීරවංශ මහතා- ජනාධිපති ප්‍රේමදාස මහතා ලක්‌ෂ 26 ක්‌ නිවාස හැදුවා. කියනවා. නමුත් හැදුවේ හත්ලක්‍ෂ දසදහස්‌ පන්සිය පනස්‌ හතරයි. මේකට අයිතිවෙනවා ජනේලයක්‌ හැදුවානම්, දොරක්‌ හැදුවත් අය තිබෙනවා. නිවාස සංවර්ධන කටයුත්තක්‌ කළත් ඒකත් මේකට අයිතියි. නමුත් දැන් රටට අවශ්‍ය වන්නේ 647406 නිවාස ප්‍රමාණයක්‌ පමණයි. වතුකරයේ ජනතාවත් මේකට ඇතුළත්. ලක්‍ෂ 12 ක 13 ක තිබුණු නිවාස ගැටලුව වත්මන් ආණ්‌ඩුව ගත් යම් යම් ක්‍රියා මාර්ග නිසා ලක්‍ෂ 4 කට ආසන්න ප්‍රමාණයකට අඩුවෙලා තිබෙනවා. මේ පවුල්වල අයට හිතවත් තම පවුලට අවශ්‍ය නිවසක්‌ හදා ගන්න අපට කරන්න තියෙන්නේ යම් අතදීමක්‌ කරන්න. නිවාසකරණයට අවශ්‍ය තාක්‍ෂණික දැනුම වැනි දේ ලබාදෙන්න ඒ වගේම ප්‍රතිපත්ති ඇතුළත් අනෙක්‌ කාර්යයන් අමාත්‍යාංශය විසින් සපයනවා. වෙනත් අමත්‍යාංශත් දෙපාර්තමේන්තුත් නිවාසකරණයේ යෙදෙනවා.

අපේ අමාත්‍යාංශයට පුළුවන්. වුණා පසුගිය වසර තුන තුළ නිවාස 74681 ක්‌ හදන්න. ඒ නිවාස සංවර්ධන අධිකාරිය විසින් කළ ප්‍රමාණය පමණයි. නාගරික සංවර්ධන අධිකාරිය ඇතුළු තවත් රාජ්‍ය ආයතන විසින් හදපු නිවාස ප්‍රමාණය නොමැතිවයි එම ප්‍රමාණය. කොළඹ නගරයේ පැල්පත්වල ජීවත්වන ජනතාව එතැනින් අප ගලවාගෙන නව නිවාස ලබා දෙමින් තිබෙනවා. පවුල් 65,000 ක්‌ පමණ කොළඹ පැල්පත්වල ජීවත් වෙනවා. එතැනින් තමයි සමාජ විරෝධී වැඩ නිර්මාණය ආරම්භ වෙන්නේ. අද අප නවත්තලා තිබෙනවා. අපි කොම්පැණිකාරයින්ට ඉඩම් දෙන්නේ නැහැ. එජාපය වගේ. දුප්පතා දුප්පත් සමාජයෙන් මුදවලා හොඳ පරිසරයකට ගේනවා. අර හිටපු දුප්පත් පරිසරය අප වෙනත් වාණිජමය කටයුතුවලට යොදවනවා.

වැය ශීර්ෂයන් සම්මත විය.

පාර්ලිමේන්තුව අද (20 දා) දක්‌වා කල් තැබිණි.

 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.