බිරිඳ සමග නිවසේ සිටි
අනියම් සැමියාට පහරදුන් සැමියාට ඇප


කන්තලේ - ඩබ්. එම්. වික්‍රමසිංහ

අනියම් සැමියා සමඟ සිය බිරිඳ නිවසේ ආලින්දයේ සතුටු සාමිචියේ යෙදී සිටියදී හදිසියේම ස්‌වාමිපුරුෂයා පැමිණීමෙන් පිටුපස දොරෙන් පලාගිය පුද්ගලයාට පන්න පන්නා පිහියකින් පහරදී පසුව පොල්ලකින්ද පහරදී බරපතළ තුවාල සිදුකිරීම සම්බන්ධයෙන් අධිකරණය හමුවට පමුණුවා සිටි පුද්ගලයකු රුපියල් 20000 ක ශරීර ඇප මත මුදාහැරීමට ත්‍රිකුණාමලය මහෙස්‌ත්‍රාත් එස්‌. සතීස්‌වරන් මහතා එම අධිකරණයේදී පෙරේදා (17දා) නියෝග කළේය.

මෙලෙස ඇප මත නිදහස්‌ කරන ලද්දේ මොරවැව පංකුලම ප්‍රදේශයේ එම්. ඒ. සමන්ත බණ්‌ඩාර (44) නැමැති අයයි. බරපතළ තුවාල ලබා දැනට ත්‍රිකුණාමලය ශික්‍ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින්නේ ත්‍රිකුණාමලය දේව නගර්හි රාජා සුසන්ත (37) නමැති එක්‌දරු පියෙකි.

මොරවැව පොලිස්‌ ස්‌ථානාධිපති පොලිස්‌ පරීක්‍ෂක ධම්මික විඡේසිංහ මහතාගේ උපදෙස්‌ පිට අපරාධ විමර්ශන අංශයේ ස්‌ථානාධිපති උපපොලිස්‌ පරීක්‍ෂක සමන් කුමාර මහතා ඇතුළු නිලධාරීහු කණ්‌ඩායමක්‌ වැඩිදුර පරීක්‍ෂණ මෙහෙයවති.
 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.