අම්මා රට ගිහින්, තාත්තා අතුරුදන්
මහඉලුප්පල්ලම නිවසක තනිව කුසගින්නේ සිටි
දරු පස්‌දෙනා පොලිසිය භාරයට


අනුරාධපුර විශේෂ - පර්සි කුරුනේරු



මවුපිය රැකවරණය සහ සෙනෙහස නොමැතිව එප්පාවල මහ ඉලුප්පල්ලම ප්‍රදේශයේ නිවසක දින පහක කාලයක්‌ තිස්‌සේ නිරාහාරව, කුසගින්නේ අසරණව සිටි අවුරුදු තුනත්, දහහතරත් අතර වයසේ පසුවෙන බාලවයස්‌කාර පිරිමි දරුවන් තිදෙනකු සහ දැරියන් දෙදෙනකු පෙරේදා (18 දා) සවස එප්පාවල පොලිසිය භාරයට ගෙන ඇත.

එම දරුවන් පස්‌දෙනා මවුපිය රැකවරණය නොමැතිව නිරාහාරව කල්ගෙවන බවට ලද තොරතුරකට අනුව වහා ක්‍රියාත්මක වූ එප්පාවල පොලිස්‌ ස්‌ථානාධිපති පොලිස්‌ පරීක්‍ෂක මිලන්ත ද සිල්වා මහතා ඇතුළු නිලධාරීන් කණ්‌ඩායමක්‌ එහි ගොස්‌ දරුවන් සිය භාරයට ගෙන තිබේ.

එම දරුවන් අතර අටහැවිරිදි නිවුන් දරුවෙක්‌ සහ දැරියක්‌ද සිටිති.

මවුපිය රැකවරණය නොමැතිව හුදෙකලාව කල්ගෙවමින් සිටියදී මෙලෙස පොලිසිය භාරයට ගෙන ඇත්තේ ඒ. සඳලි සුමුදුනී සත්සරණි (03), ඒ. අමන්දා මධුෂානි (08), ඒ. සතිල්ක ප්‍රබෝධන (08), ඒ. ශතිස්‌ක ප්‍රබෝධන (13) සහ ඒ. නිමේෂ් ප්‍රබෝධන (14) යන දරුවන්ය.

ඔවුන් පදිංචි නිවසට පොලිස්‌ නිලධාරීන් යන විටත් දින පහක්‌ තිස්‌සේ නිරාහාරව සිටීම හේතුවෙන් අටහැවිරිදි සතිල්ක දරුවා දැඩි ලෙස රෝගාතුරව සිට ඇත. පොලිසිය විසින් එම අවස්‌ථාවේම දරුවා එප්පාවල රජයේ රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව වැඩිදුර ප්‍රතිකාර සඳහා අනුරාධපුර ශික්‍ෂණ රෝහලට මාරු කර යවා තිබේ.

අනතුරුව එප්පාවල පොලිස්‌ ස්‌ථානාධිපතිවරයා ඇතුළු නිලධාරීන් අනෙක්‌ දරුවන් සිව්දෙනා පොලිස්‌ ස්‌ථානයට කැඳවාගෙන විත් ආහාර පානාදියෙන් සංග්‍රහ කොට ඔවුන්ගේ කුසගිනි නිවා දමා තිබේ.

එම දරුවන් අතර සිටි වැඩිමහල් දරුවා පොලිසියට මෙසේ පවසා තිබේ.

පවුලේ අගහිඟකම් නිසා විදේශ රැකියාවකට යාමට අවශ්‍ය බව පවසමින් අපේ අම්මා, තාත්තා සමග නිතර නිතර රණ්‌ඩුවුණා. පිටරට යනවා කියා මීට අවුරුද්දකට පමණ පෙර අපේ අම්මා ගෙදරින් පිටවී ගියත් එදා සිට මේ දක්‌වා අම්මා ගැන කිසිදු තොරතුරක්‌ නෑ.

මගේ තාත්තා යුද හමුදාවේ සෙබළකු ලෙස සේවය කළා. අපි පස්‌දෙනා රැකබලා ගැනීමට සිදුවීම නිසා තාත්තාට

රැකියාවත් අහිමිවුණා. අම්මා අපිව හැර දමා ගියදා සිට මේ දක්‌වා තාත්තා අපට කිසිම අඩුපාඩුවකින් තොරව හොඳින් සැලකුවා. පසුගිය 13 වැනිදා කිරි අම්මා කැඳවාගෙන එන බව පවසා අපේ තාත්තා ගමට ගියා. නමුත් කිරිඅම්මා පෙරේදා (18 දා) අපේ ගෙදරට ආවත් තාත්තා නැවත ගෙදර ආවේ නෑ.

මේ අතර පවුලේ අගහිඟකම් හේතුවෙන් පාසල් යන වයසේ පසුවන එම දරුවන් හට ගතවූ මාස කීපය තුළ පාසල් යැමට හැකියාවක්‌ ලැබී නොමැති බවත් පොලිස්‌ පරීක්‍ෂණවලදී හෙළිවී ඇත. එම දරුවන් ඊයේ (19 දා) එප්පාවල පොලිසිය විසින් තඹුත්තේගම මහෙස්‌ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.
 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.