පෑන් කොපුව උගුරේ සිර වී හත් හැවිරිදි දරුවා මරුට

ගම්පොල - සුරංග දිල්හාන්

සිය එකොළොස්‌ හැවිරිදි වැඩිමහල් සහෝදරිය සමග සෙල්ලම් කරමින් සිටි හත් හැවිරිදි දරුවකු පෑන් විල්ලක්‌ (කොපුවක්‌) උගුරේ හිරවී මරණයට පත්ව ඇත.

මෙසේ අවාසනාවන්ත ලෙස මරණයට පත්ව ඇත්තේ ගම්පොල ඇත්ගාල ප්‍රදේශයේ පදිංචිව සිටි උඩුමුල්ලේ ගෙදර කවීෂ පසිඳු සුලක්‍ෂණ උඩුමුල්ල නමැති දරුවෙකි. මියගිය දරුවාගේ පියාද මීට පෙර රිය අනතුරකින් මියගොස්‌ ඇත.

මොහු ගම්පොල ශාන්ත ඇන්ඩෲ විදුහලේ පළමු වසර ඉගෙනුම ලබා මෙවර දෙවන වසරට සමත් වූ සිසුවෙකි.

සෙල්ලම් කරමින් සිටින අතරතුර සිය සහෝදරිය සමග ඇඹරැල්ල ගෙඩියක්‌ කමින් සිටියදී එක්‌වරම හුස්‌ම හිරවී හිස පහතට වැටීම නිසා ගම්පොළ ශික්‍ෂණ රෝහලට ඇතූළත් කළ ද මෙම දරුවා මියගොස්‌ තිබිණි.

ඒ අනුව අඹරැල්ලා හිරවී මෙම මරණය සිදු වූවා යෑයි සැක කළ ද පශ්චාත් මරණ පරීක්‍ෂණයේදී පෑන් කොපුවක්‌ උගුරේ හිරව තිබී හමුවී ඇත.

ගම්පොල හදිසි මරණ පරීක්‍ෂිකා අනුලා කුමාරිහාමි මහත්මිය මරණ පරීක්‍ෂණය පැවැත්වූ අතර ගම්පොල මූලස්‌ථාන පොලිස්‌ ස්‌ථානාධිපති ජයවීර මහතාගේ උපදෙස්‌ මත පො. කො. (45147) සිරිවර්ධන හා (45168) රණමෙරමුල්ල යන නිලධාරීහු සාක්‍ෂි මෙහෙයවූහ.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.