විග්නේෂ්වරන්ලා ගේ ජාතික කොඩි විරෝධය

ප්‍රභාකරන්ගේ මරණින් පසුව දැන් උතුරේ දවල් හීන දකින එකම පුද්ගලයා වී සිටින්නේ උතුරු පළාත් සභාවේ ප්‍රධාන අමාත්‍ය සී. වී. විග්නේෂ්වරන්ය. පළාත් සභාවේ බලය ලබාගන්නට පෙර සිට විග්නේෂ්වරන් බොහෝ සිහින දුටුවත් මහඇමැති වී සිටින ඔහු මේ දිනවල දකින සිහින බොහෝ අලංකාර ඒවාය.

විග්නේෂ්වරන්ගේ අලුත්ම හීනය උතුරු පළාතෙන් ජාතික ධජය ඉවත් කිරීමය. උතුරේ සංවිධානය වන කිසිදු රාජ්‍ය උළෙලකදී ජාතික ධජය එසවීම තහනම් කිරීමට විග්නේෂ්වරන් තීරණය කොට තිබේ. මේ තීරණය ඔහු සිය ගෝල බාලයින්ටද දැනුම් දී හමාරය. ශ්‍රී ලංකාවේ ජාතික ධජයේ සිටින කේසර සිංහයා විග්නේෂ්වරන්ට ප්‍රශ්නයක්‌ වී තිබේ.

ශ්‍රී ලංකාවේ ජාතික ධජය වෙනුවට උතුරු නැගෙනහිර පළාත්වලදී ඊළාම් කොඩිය එසවුණු අවස්‌ථා එදා ඕනෑතරම් තිබුණු බව අපේ මතකයට එයි. ඊළාම් කොඩිය එසවෙන අවස්‌ථාවලදී ගායනය කිරීමට හා වාදනය කිරීමට ඊළාම් ජාතික ගීයක්‌ද එදා තිබුණි. 2002 වර්ෂයේදී අපේ රටේදී අත්සන් කෙරුණු ඊනියා සාම ගිවිසුම මත එදා ඊළාම් කොඩියටත් ඊළාම් ජාතික ගීයටත් විශාල තැනක්‌ ලැබී තිබුණි. උතුරු නැගෙනහිර පිහිටි රජයේ පාසල් ආරම්භ කිරීමට පෙර එසවුණේ ඊළාම් කොඩියයි. ගායනය වූයේත් වාදනය වූයේත් ඊළාම් ජාතික ගීයයි. මේ ඊළාම් කොඩිය බිහිවූදා පටන් වවුනියාව නගර සභාව ඇතුළු බොහෝ රාජ්‍ය ආයතනවල කොඩිගස්‌වල ලෙළදුන්නේ ඊළාම් කොඩියයි.

වරෙක වවුනියාව නගර සභා පිටියේදී සමස්‌ත ලංකා දැල් පන්දු තරගාවලියක්‌ සංවිධානය කෙරිණි. මෙහිදී ජාතික ධජය එසවීමට ආරාධනා ලැබ සිටියේ වත්මන් ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ භාර්යාව වූ ශිරන්ති රාජපක්‍ෂ මහත්මියය. එවකට වවුනියාව දිසාපති වූ කේ ගණේෂ් මහතා න්‍යාය පත්‍රයද සකස්‌ කොට තිබුණි. උත්සවයට පෙර දිනයේදී එල්. ටී. ටී. ඊ. ය වවුනියා දිසාපතිවරයාට නියෝග කොට තිබුණේ උතුරේ කිසිදු ප්‍රදේශයක ජාතික ධජය එසවීම තහනම් කොට ඇති නිසා එසේ නොකළ යුතු බවයි. දිසාපති කේ. ගණේෂ් මහතා ජාතික ධජය එසවීම වෙනුවට පොල්තෙල් පහනක්‌ දල්වා දැල්පන්දු ක්‍රීඩා තරගාවලිය විවෘත කරන ලෙස ශිරන්ති රාජපක්‍ෂ මහත්මියට ආරාධනය කොට තිබුණි. මේ පිළිබඳව ඊට පසුදින "දිවයින" පුවත්පතේ ඡායාරූප සහිතව වාර්තාවක්‌ පළවිණි.

ශිරන්ති රාජපක්‍ෂ මහත්මිsයටද ජාතික ධජය එසවීමට හැකි වාතාවරණයක්‌ එදා වවුනියාවේ නොතිබුණත් ඊනියා සාම ගිවිසුමේ සඳහන්ව තිබූ ඇතැම් කොන්දේසි නිසා පාලකයෝද අසරණ වී සිටියහ.

ඒ එදාය. අද ශ්‍රී ලංකාව පාලනය කිරීමට රාජ්‍ය යාන්ත්‍රණය හැරෙන්නට වෙනත් දෙවැනි බලවේගයක්‌ නොමැත. නමුත් උතුරේ මහඇමැති සී. වී. විග්නේෂ්වරන් එවැනි බලවේගයක්‌ ගොඩනගමින් සිටියි. ජාතික ධජය එසවීම උතුරු පළාත තුළ තහනම් කිරීමට විග්නේෂ්වරන්ට බලය දී ඇත්තේ කවුරුන් විසින්ද යන්න ප්‍රශ්නයකි. ශ්‍රී ලංකාවේ ජාතික ධජයට අවමන් කිරීමට දඬුවම් ලැබිය හැකි මෙන්ම දඩුවම් දිය යුතුද වරදක්‌ වන්නේය. ශ්‍රී ලංකා ජාතික ධජයට අවමන් නොකළ යුතු අවස්‌ථා 11 ක්‌ ගැන ශ්‍රී ලංකා ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවේම කරුණු සඳහන් වෙයි. එය එසේ නම් ශ්‍රී ලංකාවේ ජාතික ධජය ඉවත් කිරීමට කටයුතු කොට ඇති මහ ඇමැතිවරයාට දීමට දඬුවමක්‌ ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවේ හෝ ශ්‍රී ලංකා දණ්‌ඩනීති සංග්‍රහයේ නැතිදැයි යන්න සැකයකි.

දේවාලයේ කපුවාට දේවාලය තුළ ඕනෑම නාඩගමක්‌ නැටීමට ඉඩ ඇතත් ශ්‍රී ලංකාවේ එක පළාත් සභාවක මහ ඇමැතිවරයෙකුට සමස්‌ත ශ්‍රී ලංකාවේම නීතිරීති හා සම්ප්‍රදායන් වෙනස්‌ කිරීමට හැකියාවක්‌ ශක්‌තියක්‌ ඇත්දැයි යන්න විහිළුවකි. ශ්‍රී ලංකාවේ ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවට අනුව ජාතික ධජයට අවමන් කරන පිරිස්‌වලට දඬුවම් දිය යුතු වන්නේ නම් උතුරු ප්‍රදේශය තුළින් ජාතික ධජය ඉවත් කළ මහ ඇමැතිවරයාට දඬුවම් නොලැබීම ප්‍රශ්නයකි. ඔහු අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීමට තරම් ඔහු වරදක්‌ කොට නොමැත්තේද? ක්‍රිකට්‌ තරගාවලියක්‌ නරඹන ක්‍රිකට්‌ ලෝලීන් ශ්‍රී ලංකා කණ්‌ඩායම ජයග්‍රහණය කරන විට සිංහ ධජය ඇඟේ පටලවාගෙන නටන විට ඔවුන්ට එරෙහිව දඬුවම් පැමිණවෙයි. නීතියද ක්‍රියාත්මක වෙයි. නමුත් උතුරේ මහ ඇමැතිවරයා ජාතික ධජයෙන් අමුඩ ගැසුවත් ඊට එරෙහිව නීතිය ක්‍රියාත්මක නොවෙයි.

විග්නේෂ්වරන් ජාතික ධජයට විරුද්ධ වන්නේ එහි සිංහයා සිටීම නිසාය.. සිංහයා යනු සිංහල ජාතියම පමණක්‌ නියෝජනය වන සතෙකු ලෙස විග්නේෂ්වරන් දකියි. සිංහල ධජය යට එම සෙවණේම දිවුරුම් දුන් මහ ඇමැති විග්නේෂ්වරන්ට අද සිංහයා වහකදුරු වී තිබේ. ඔහු ප්‍රාර්ථනා කරන්නේ සිංහයා වෙනුවට කොටියෙකු යෙදූ ජාතික කොඩියකි.

එබැවින් විග්නේෂ්වරන්ගේ අරමුණු වෙනස්‌ වූ එකකි. උතුරු පළාත් සභා බල ප්‍රදේශයෙන් සිංහල පොලිස්‌ නිලධාරීන් පලවා හැරීමත්, යුද හමුදාව ඉවත් කිරීමත් සිදුකළ යුතු බව කියන විග්නේෂ්වරන් හමුදා නිලධාරියෙකු වූ උතුරු පළාත් ආණ්‌ඩුකාරවරයාද ඉවත් කිරීමට පිඹුරුපත් සකස්‌ කොට තිබේ. උතුරු පළාත් සභාව සම්පූර්ණයෙන්ම දෙමළ පළාත් සභාවක්‌ බවට පරිවර්තනය කිරීමට උත්සහ දරණ විග්නේෂ්වරන් මේ ඉටුකිරීමට සූදානම් වන්නේ කාගේ අරමුණදැයි යන්න දැන් ඉතාම පැහැදිලිය. "කැලේ මාරු කළාට කොටියාගේ පුල්ලි මාරු නොවෙන කතාව" දැන් විග්නේෂ්වරන්ටත් පොදු වී තිබේ.

මහ ඇමැති ධුරය ලැබීමට පෙර සී. වී. විග්නේෂ්වරන් මහාධිකරණ විනිසුරුවරයෙකු වශයෙන් නඩු තීන්දු ලබාදුන්නේ රාජ්‍ය ලාංඡනය යටත් ජාතික ධජය යටත් පිහිටි විනිසුරු අසුනේ වාඩි වී සිටිමින්ය. දැන් උතුරේ මහ ඇමැති පුටුවේ සිංහාසනාරූඪ වී සිටින විග්නේෂ්වරන් මුළු ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවම කණපිට පෙරළීමට උත්සහ කරයි. ජාතික ධජයේ සිටින සිංහයා මේ රටේ බහුතරයක්‌ වන සිංහල ජනතාව නියෝජනය කළත් විග්නේෂ්වරන්ලාගේ ජාතිය නියෝජනය කිරීමට ජාතික කොඩියේම තැඹිලිපාට තීරුවක්‌ ඇති බව අමතක කොට තිබේ.

මේ රටේ මුස්‌ලිම් ජනතාව වෙනුවෙන් කොළපාට තීරුවක්‌ද සෙසු ජනතාව වෙනුවෙන් කහපාට තීරුවක්‌ද ජාතික ධජයේ ඇති බව විග්නේෂ්වරන් නොදන්නවා නොවේ.

ජාතික ධජයේ සිංහයා සිංහලයාට නොව සිංහයාගේ කේශරවලින් ශ්‍රී ලාංකිකයාගේ ප්‍රඥවන්න බව, ආගමික ලැදියාව හා හඩනාමය ගුණය ගැනද කියෑවේ. සිංහයාගේ වලිගයේ ඇති නෙරුම් අටෙන් බුදු දහමේ ආර්ය අෂ්ඨාංගික මාර්ගය පිළිබඳවද සිංහයාගේ නාසයෙන් ශ්‍රී ලාංකිකයන්ගේ බුද්ධිමත්භාවයද පිළිබිඹු කෙරෙන අතර සිංහයාගේ ඇස ශ්‍රී ලාංකිකයන්ගේ ඉදිරි දැක්‌ම පරික්‍ෂා කිරීම වනිත කරන්නකි. ජාතික ධජයේ සිංහයාගේ කේශර තුළින් ශ්‍රේෂ්ඨත්වයද, ඉදිරි අත්දෙකෙන් ශ්‍රී ලාංකිකයින් සතු ධනය හා පාරිශුද්ධත්වය ගැනද සිංහයාගේ හිස හා වලිගය සම මට්‌ටමේ පිහිටීම ශ්‍රී ලංකාවේ පාලකයන් හා ප්‍රජාව අතර පැවතිය යුතු සමානාත්මතාවයද විද්‍යමාන කරයි. ජාතික ධජයේ සිංහරූපයෙන් තවත් බොහෝ දේ කියවෙන්නේ සමස්‌ත ශ්‍රී ලාංකිකයින් පිළිබඳවම මිස සිංහලයා ගැනම පමණක්‌ නොවේ. නමුත් මහඇමැති විග්නේෂ්වරන් ජාතික ධජයට විරුද්ධ වන්නේ ඔහු ශ්‍රී ලාංකිකයෙකු වශයෙන් පෙනී සිටීමට ඇති අකමැත්ත නිසාත් උතුර යනු ශ්‍රී ලංකාවට අයත් ශ්‍රී ලංකාවේ රාජ්‍ය යාන්ත්‍රණය මගින් පාලනය විය යුතු ව්‍යqහයක්‌ ලෙස පිළිගැනීමට ඇති අකමැත්තක්‌ මත මිස වෙනත් හේතුවක්‌ නිසා නොවේ.

වර්තමානයේ ජාතික ධජයට උතුරේ මහඇමැති විග්නේෂ්වරන් විරුද්ධ වුවත් ශ්‍රී වික්‍රම රාජසිංහ රජු භාවිත කළ සිංහ ධජය ශ්‍රී ලංකාවේ ජාතික ධජය වශයෙන් භාවිත කළ යුතු බවට මැතිසබයට යෝජනාවක්‌ ගෙන එන ලද්දේ මඩකලපුවේ සිටි සින්නලෙබ්බේ මන්ත්‍රීවරයාය. 1948 දී ශ්‍රී ලංකාවට නිදහස ලැබුණු දිනයේදී නිදහස්‌ චතුරස්‍රයේදී ඔසවන ලද්දේ එදා ශ්‍රී වික්‍රම රාජසිංහ රජු විසින් භාවිත කරනු ලද සිංහ ධජයයි. 1948 මාර්තු මස 06 වෙනිදා මහාමාන්‍ය ඩී. එස්‌. සේනානායක ඇමැතිවරයා විසින් ශ්‍රී ලංකාවට නව ජාතික කොඩියක්‌ නිර්මාණය කිරීම එස්‌. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්‌ඩාරනායක මහතාගේ සභාපතිත්වයෙන් යුතුව පත්කළ කමිටුවට සෙනෙට්‌ සභික එස්‌. නඩේසන් නමැති දෙමළ ජාතිකයා ඇතුළත් වී සිටි බවද අද විග්නේෂ්වරන්ට අමතක වී තිබේ.

1951 පෙබරවාරි මස 27 වෙනිදා ශ්‍රී ලංකාවේ ජාතික ධජය ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ සභාගත කිරීමෙන් පසුව 1952 පෙබරවාරි මස 04 වෙනිදා පැවති නිදහස්‌ සමරු උළෙලේදී අපේ රටේ වර්තමාන ජාතික කොඩිය මුල්ම වරට අග්‍රාමාත්‍ය මහාමාන්‍ය ඩී. එස්‌. සේනානායක මහතා විසින් ඔසවනු ලැබීය. එදිනද මේ ජාතික කොඩියේ සිංහයා සම්බන්ධයෙන් දෙමළ පිරිසක්‌ මතුකළ ප්‍රශ්නයට ඩී. එස්‌. සේනානායක අග්‍රාමාත්‍යවරයා පිළිතුරු දී තිබුණේ කාලානුරූපවය.

මේ අද අපි භාවිතා කරන්නේ එදා මේ රටේ අන්තිම රජු භාවිත කළ කොඩියයි. ඔහුත් දෙමළ ජාතිකයෙක්‌ මම අද මේ කොඩිය ඔසවමින් මේ රටේ දෙමළ ජනතාව ඉතා ආදරයෙන් වැළඳගන්නවා.

අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රකාශයෙන් පසුව ජාතික ධජයට එල්ලවූ දෙමළ විරෝධතාවය පහවී ගොස්‌ තිබූ බව ශ්‍රී ලංකාවට පැමිණි බෙල්ජියම් ජාතිකයෙකු සිය දේශාඨන වාර්තාවේද සඳහන් කොට තිබේ.

ශ්‍රී ලංකාවේ රජයේ කලා පාසලේ විදුහල්පති ඡේ. ඩී. ඒ. පෙරේරා මහතාත් කලාශුරී එස්‌. පී. චාල්ස්‌ මහතාත් චිත්‍ර අඳිමින් නිර්මාණය කළ අපේ ජාතික කොඩිය ශ්‍රී ලංකා ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවෙන් තහවුරු වී ඊට මේ වන විට Sඛී 693-1985 යටතේ තත්ත්ව සහතිකයද හිමි වී තිබේ. මෙවැනි ඉතිහාසයක්‌ ඇති ශ්‍රී ලංකාවේ ජාතික ධජය ඉවත ලෑමට විග්නේෂ්වරන් මහ ඇමැතිවරයා පියවර ගෙන තිබියදී ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවක්‌ ඔස්‌සේ රට පාලනය කරන පිරිස නිහඬව සිටිති.

නමුත් විග්නේෂ්වරන් මහ ඇමැතිවරයා අවබෝධ කරගත යුතු එක්‌ කරුණක්‌ තිබේ. එනම් 1815 දී මහනුවර මඟුල් මඩුවේදී එංගලන්තයේ යුනියන් ජැක්‌ ධජය පහත හෙළු වාරියපොල සුමංගල හිමියෝ එවකට ශ්‍රී ලංකාවේ තිබූ ජාතික කොඩිය ඔසවන ලද්දේ මේ රටේ ජාතික කොඩියටත් ජාතියටත් අවමානයක්‌ කළ නොහැකි නිසාවෙනි. දවල් හීන දකිමින් උතුරු පළාතෙන් ජාතික කොඩිය ඉවත් කිරීමට උත්සාහ දරණ මහ ඇමැතිවරයාටද අනාගතයේදී බිහිවන වාරියපොල ශ්‍රී සුමංගල හිමි වැනි පිරිස්‌වල විරෝධයකට මුහුණදීමට සිදුවනු ඇත.

දිනසේන රතුගමගේ
 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.