රෝහලට අපකීර්තියක්‌ වූවැයි
බදුරලිය රෝහල වසයි


විජයසිරි විද්‍යාසේකර - කළුතර සමූහ, බදුරලිය - දයානන්ද ජයනෙත්ති පාලින්දනුවර - නන්දන ශ්‍රී කෝට්‌ටගේ

වෛද්‍යවරුන් නිසි ලෙස ප්‍රතිකාර නොකිරීමෙන් තම ඥතියා මියගිය බවට චෝදනා නගා රෝහලට පැමිණි පිරිසක්‌ රෝහලට අපකීර්තියක්‌ ඇති කළ බව කියමින් බදුරලිය රෝහල වසා දැමීමට වෛද්‍ය කාර්ය මණ්‌ඩලය පියවර ගෙන තිබේ.

මෙරට ඉතිහාසයේ පළමු වතාවට රජයේ රෝහලක්‌ මෙලෙස වසා දැමීම පිළිබඳ දිස්‌ත්‍රික්‌ වෛද්‍ය නිලධාරිවරයා පවා දැන සිට නැත.

රෝහල් වෛද්‍ය අධිකාරිවරයා විසින් නිසි ප්‍රතිකාර ලබානොදීම නිසා සිය ඥතියා මියගිය බවට පෙරේදා (21 දා) ඔහුගේ ඥතීන් රෝහල අභියසට පැමිණ රෝහලට අප කීර්තියක්‌ ගෙන දුන් බව පවසමින් බදුරලිය රෝහල් වෛද්‍යවරුන් සහ කාර්ය මණ්‌ඩලය නේවාසික රෝගීන් කළුතර නාගොඩ හා මතුගම වෑත්තෑව රෝහල්වලට මාරු කර මෙලෙස රෝහල වසා පිටවී ගොස්‌ ඇත.

වසා දැමූ රෝහලට හා රෝහල් භූමියට බදුරලිය පොලිසිය විසින් පෙරේදා රාත්‍රි සිට විශේෂ ආරක්‌ෂාව සපයා ඇත.

පෙරේදා සිට රෝහල් බලධාරීන් විසින් පිරිසක්‌ රෝහලට අපකීර්තියට ලක්‌ කිරීම පිළිබඳව විරෝධය පළ කරමින් රෝහල සම්පූර්ණයෙන් වසා රෝහලේ යතුරු බදුරලිය පොලිසියට භාරදීමට පැමිණ ඇතත් පොලිසිය යතුර භාර ගැනීම ප්‍රතික්‍ෂේප කර ඇත.

ශ්‍රී ලංකාවේ රෝහලක්‌ වසා රෝගීන් වෙනත් රෝහල්වලට මාරු කර දැමූ ප්‍රථම අවස්‌ථාව මෙය බව රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.