අපේ රටේ නිදහස්‌ සෞඛ්‍ය හා අධ්‍යාපන සේවාවන්
ලෝකයේ බොහෝ රටවල ගෞරවයට පාත්‍රවෙලා

සෞඛ්‍ය ඇමැති මෛත්‍රිපාල සිරිසේන


බණ්‌ඩාරගම - ආර්. ගුණරත්න

අප රටේ පවත්වාගෙන යන නිදහස්‌ සෞඛ්‍ය සේවාවත්, නිදහස්‌ අධ්‍යාපනයත් නිසා අපේ රට, ලෝකයේ බොහෝ රටවල ගෞරවයට හා ප්‍රශංසාවට පත්ව ඇතැයි සෞඛ්‍ය ඇමැති මෛත්‍රිපාල සිරිසේන මහතා බණ්‌ඩාරගමදී පැවැසීය.

බණ්‌ඩාරගම ප්‍රදේශයේ ජනතාවට බොහෝ කාලයක සිට පැවැති විශාල අඩුපාඩුවක්‌ සපුරාලමින්, බණ්‌ඩාරගමට ලබාදුන් රාජ්‍ය ඔසුසල ජනතා අයිතියට පත්කිරීම නිමිත්තෙන් පැවැති ජනහමුව අමතමින් ඇමැතිවරයා එම අදහස්‌ පළ කළේය.

බස්‌නාහිර පළාත් සභා මන්ත්‍රී ලලිත් එල්ලාවල මහතා බණ්‌ඩාරගම ජනතාවට ලබාදුන් මැතිවරණ පොරොන්දුවක්‌ ඉටුකරමින් ඒ මහතාගේ පළාත් සභා ප්‍රතිපාදන රු. මිලියන 50 ක්‌ වැයකර මෙම රාජ්‍ය ඔසුසල ස්‌ථාපිත කර තිබේ.

මෙහිදී වැඩිදුරටත් කථා කළ මෛත්‍රිපාල සිරිසේන ඇමැතිවරයා මෙසේද පැවැසීය.

විපක්‍ෂයේ මන්ත්‍රීවරු පසුගිය දිනවල පාර්ලිමේන්තුවේ අයවැය විවාදයේදී උඩ පැන පැන කථා කළා රජයේ රෝහල්වල ඖෂධ නැහැ කියලා.

අවි ආයුධ වෙළෙ¹ම වගේම ලෝකයේ තියෙන වඩාත් භයානකම ජාවාරම්කාර මගඩි ව්‍යාපාරයක්‌ තමයි ඖෂධ ව්‍යාපාරය කියන්නේ. ඒ වගේ තත්ත්වයක්‌ තුළ සමහර තැන්වල පොඩි පොඩි අඩුපාඩු ඇතිවෙන්න පුළුවන්.

අද මම බණ්‌ඩාරගම රෝහලේ තියෙන ෆාමසියට ගියා. ඒකේ හිටිය ඖෂධවේදිනියගෙන් ඇහුවා මොනවද අඩු බෙහෙත් කියලා. ඇය කීවා දැනට අඩු විටමින් සී විතරයි කියල. විවේචන කොතෙක්‌ තිබුණත් ලෝකයේ තියෙන හොඳම සෞඛ්‍ය සේවාව, මහින්ද චින්තනය යටතේ අපේ ජනතාවට ලබාදෙනවා.

ප්‍රාදේශීය සභාවක, පළාත් සභාවක හෝ පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරයකුගෙන් සිය මන්ත්‍රී ප්‍රතිපාදන වැයකර රාජ්‍ය ඔසු සලක්‌ ආරම්භ කළ මට හමුවූ එකම මන්ත්‍රීවරයා ලෙස ලලිත් එල්ලාවල මහතා ඉතිහාස ගතවෙන බවද ඇමැතිවරයා පැවැසීය.

බණ්‌ඩාරගම ශාසනාරක්‍ෂක බලමණ්‌ඩලයේ සභාපති අරුග්ගොඩ සිරිරතන හිමියන්ගේ පැවිදි අනුශාසනයෙන් අනතුරුව පැවැති ජනහමුව අමතා ප්‍රවාහන ඇමැති කුමාර වෙල්ගම, පා.ම. අධිනීතිඥ ජානක ප්‍රියන්ත බණ්‌ඩාර, බස්‌නාහිර පළාත් සෞඛ්‍ය ඇමැති ජගත් අංගගේ, බස්‌නාහිර පළාත් සභා මන්ත්‍රීවරුන් වන නිමල් චන්ද්‍රරත්න, ලලිත් එල්ලාවල යන මහත්වරුද කථා කළහ.

මෙම අවස්‌ථාවට බණ්‌ඩාරගම හා මිල්ලනිය ශාසනාරක්‍ෂක බලමණ්‌ඩලවලට අයත් විහාරස්‌ථාන නියෝජනය කරමින් මහා සංඝරත්නය විශාල පිරිසක්‌ද, බණ්‌ඩාරගම ප්‍රාදේශීය සභාවේ සභාපති මනෝඡ් සංජය හෙට්‌ටිගේ මහතා ඇතුළු ප්‍රදේශයේ මහජන නියෝජිතයන්, රාජ්‍ය ඖෂධ නීතිගත සංස්‌ථාවේ සභාපති එස්‌. ඩී. ජයරත්න මහතා ඇතුළු නිලධාරීන්, බස්‌නාහිර පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ වෛද්‍ය අමල් හර්ෂද සිල්වා, බණ්‌ඩාරගම ප්‍රාදේශීය ලේකම් එන්. ඒ. ටී. සෙනරත් යන මහත්වරුද, බණ්‌ඩාරගම දිසා රෝහලේ ප්‍රධාන වෛද්‍යවරිය ඇතුළු වෛද්‍ය හා හෙද කාර්ය මණ්‌ඩල හා ප්‍රදේශවාසීහු රැසක්‌ද එක්‌ව සිටියහ.
 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.