බදුරලිය රෝහල යළි විවෘත කෙරේ
වෛද්‍යවරුන් එන තෙක්‌ මන්ත්‍රී උපවාසයේ


බදුරලිය - ජයනෙත්ති, කළුතර - විජයසිරි විද්‍යාසේකර, මීගහතැන්න - රුවන් ජයවර්ධන, ලත්පඳුර - ජී. ඩී. ජයසිරි සහ පාලින්දනුවර - නන්දන ශ්‍රී කෝට්‌ටගොඩ

දින පහක්‌ තිස්‌සේ වසා දමා තිබූ බදුරලිය රෝහල ඊයේ (25 දා) යළි විවෘත කළ ද ප්‍රතිකාර කිරීම සඳහා වෛද්‍යවරුන් නොපැමිණීමට එරෙහිව විරෝධතාවක නිරත වූ කළුතර දිස්‌ත්‍රික්‌ එක්‌සත් ජාතික පක්‍ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත තෙවරප්පෙරුම මහතා ඇතුළුÊප්‍රදේශවාසීහු බදුරලිය නගර මධ්‍යයේ උපවාසයක්‌ ආරම්භ කළහ.

විවෘත කළ අවස්‌ථාවේ සිට ඊයේ සවස්‌ වන තුරු ප්‍රතිකාර ලබා ගැනීමට රෝහල වෙත පැමිණි රෝගීන් විශාල පිරිසකට කිසිදු ප්‍රතිකාරයක්‌ නොලබා ආපසු හැරී යැමට සිදු විය.

රෝහලට දැඩි පොලිස්‌ ආරක්‍ෂාවක්‌ යොදා තිබූ අතර, ඊයේ පෙරවරු 10.00 ට පමණ බදුරලිය නගරයට පැමිණි පාලිත තෙවරප්පෙරුම මන්ත්‍රීවරයා සහ පළාත් සභා මන්ත්‍රී දිලිප් පිටිගල, පාලින්දනුවර ප්‍රාදේශීය සභා මන්ත්‍රී සංජීව ලියනගේ යන මහත්වරුන් ප්‍රමුඛ ප්‍රදේශවාසීහු විශාල පිරිසක්‌ එක්‌ව දැන්වීම් සහ විරෝධතා පුවරු ප්‍රදර්ශනය කරමින් උද්ඝෝෂණ ව්‍යාපාරයක්‌ ආරම්භ කළහ.

දිගු වේලාවක්‌ උද්ඝෝෂණයේ නිරත වූ මෙම පිරිස වෛද්‍යවරුන් ප්‍රතිකාර ලබාදීම සඳහා රෝහලට පැමිණෙන තෙක්‌ අඛණ්‌ඩ උපවාසයක නිරත වන බව පවසමින් බිම අසුන්ගෙන උපවාසයේ නිරත වූහ.

පුවත්පත මුද්‍රණයට යන අවස්‌ථාව වන විටත් ප්‍රතිකාර ලබා දීම සඳහා රෝහලට වෛද්‍යවරුන් පැමිණ නොසිටි අතර උපවාසය ඒ අතරතුර පැවැත්විණි.

උපවාසයට සහාය පළ කරමින් බදුරලිය නගරයේ වෙළෙඳසැල් හිමියන් තම ආයතන ඊයේ (25 දා) සවස 4.00 වන විට වසාදමා තිබිණි.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.