දොස්‌තරලා තවම නෑ
බදුරලි ටවුමත් උපවාසයට සහාය දෙයි
සන්ධාන මන්ත්‍රී සහායත් එජාප මන්ත්‍රීට


බදුරලිය - ජයනෙත්ති, කළුතර - විජයසිරි විද්‍යාසේකර, මීගහතැන්න - රුවන් ජයවර්ධන, ලත්පඳුර - ජී. බී. ජයසිරි, පාලින්දනුවර - නන්දන ශ්‍රී කෝට්‌ටගොඩ


බදුරලිය රෝහලේ වෛද්‍ය ප්‍රතිකාර ලබාදීම වහාම ආරම්භ කරන ලෙස රජයට බල කරමින් එක්‌සත් ජාතික පක්‍ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත තෙවරප්පෙරුම මහතා ආරම්භ කළ උපවාසයට සහයෝගය දැක්‌වීම සඳහා බදුරලිය නගරයේ කඩ සාප්පු වසා දමා ව්‍යාපාරිකයෝ සහ ප්‍රදේශවාසීහු විශාල පිරිසක්‌ ඊට එක්‌ වූහ.මීට අමතරව ප්‍රදේශයේ මහා සංඝරත්නය විටින් විට උපවාසයට එක්‌වූ අතර රෝහලට වෛද්‍යවරුන් පැමිණෙන තෙක්‌ උපවාසයේ යෙදෙන බව පවසමින් එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධානයේ පාලින්දනුවර ප්‍රාදේශීය සභා මන්ත්‍රී බෙල්ලන ප්‍රියන්ත මහතා ද ඊට එක්‌ විය.

පාලිත තෙවරප්පෙරුම මහතා ප්‍රමුඛ පිරිස උපවාසයේ යෙදී සිටියදී 25 වැනිදා රාත්‍රියේ එහි පැමිණි බදුරලිය පොලිසිය ඇතුළු තවත් පොලිස්‌ ස්‌ථාන

රැසක නිලධාරීන් උපවාසකරුවන් ඉවත් කිරීමට උත්සාහ කිරීමත් සමග දැඩි නොසන්සුන්තාවක්‌ ඇති විය.

තෙවරප්පෙරුම මහතා සමග උපවාසයට එක්‌ව සිටි වලල්ලාවිට ප්‍රාදේශීය සභා මන්ත්‍රී දිලිප් පිටිගල මහතා හදිසියේ රෝගීවීම නිසා පෙරේදා රාත්‍රියේ පිඹුර රෝහලට ඇතුළත් කෙරිණි. පාලින්දනුවර ප්‍රාදේශීය සභා මන්ත්‍රී නිලන්ත ලියනගේ මහතා ඇතුළු පිරිස අඛණ්‌ඩව උපවාසයේ යෙදී සිටින අයුරු දැකගත හැකි විය.

හදිසි රෝගියකු රෝහලට ඇතුළත් කර ගැනීමේදී සිදුවූ ප්‍රමාදයක්‌ සම්බන්ධයෙන් මතුවූ සිද්ධියක්‌ මුල්කරගෙන දින කිහිපයක්‌ තිස්‌සේ වසා දමා තිබූ බදුරලිය රෝහල පෙරේදා (25 දා) යළි විවෘත කළ ද වෛද්‍යවරුන් රෝහලට පැමිණීම ප්‍රතික්‍ෂේප කිරීම නිසා ඊට විරෝධය පළකරමින් මෙම උපවාසය ආරම්භ කර තිබේ.

උපවාසකරුවන් ඉවත් කිරීමට උත්සාහ කළ අවස්‌ථාවේ පොලිසිය දෙසට ගල් ප්‍රහාරයක්‌ එල්ල කර ඇතැයි ද එහිදී එක්‌ පොලිස්‌ නිලධාරියකු තුවාල ලැබූ බවද පොලිස්‌ ආරංචි මාර්ග සඳහන් කරයි.

උපවාසයේ යෙදී සිටි මන්ත්‍රීවරයා සමග නියෝජ්‍ය පොලිස්‌පතිවරයා සාකච්ඡා කර ඇතැයි ද මාර්ගය අවහිර වන ලෙස රැඳී සිටි පිරිසක්‌ ඉවත් කිරීමේදී මෙම කලබලකාරී තත්ත්වය උද්ගත වූ බවද පොලිසිය පවසයි.

රෝහල් ප්‍රතිකාර නොලැබීම නිසා තම පියා මිය ගිය බව පවසා පිරිසක්‌ රෝහල අසලට පැමිණ බැණවැදීමෙන් පසුව ඉකුත් 21 වැනිදා රෝහල සම්පූර්ණයෙන්ම වසා දමා වෛද්‍යවරුන් හා කාර්ය මණ්‌ඩලය ඉවත් වී තිබිණි.

පසුව පෙරේදා රෝහල විවෘත කළත් වෛද්‍යවරු කිසිවකු සේවයට වාර්තා නොකිරීම නිසා රෝගීහු මහත් අසීරුතාවන්ට පත් වී සිටියහ.

මෙම රෝහල එසේ වසා දැමීම පිළිබඳව වෛද්‍යවරුන් තමන් දැනුවත් නොකළ බව කළුතර ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ වෛද්‍ය උදය රත්නායක මහතා ඉකුත් 22 දා "දිවයින"ට පැවසීය.

උපවාසය ආරම්භ කිරීම නිසා පොලිසියෙන් ඊට බාධා කළ බව කියන සිද්ධිය සම්බන්ධව පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත තෙවරප්පෙරුම මහතාගෙන් "දිවයින" කළ විමසුමකදී ඔහු කියා සිටියේ වෛද්‍යවරුන් පැමිණ රෝගීන්ට ප්‍රතිකාර ලබාදෙන තෙක්‌ ආරම්භ කළ උපවාසය අත් නොහරින බවයි.

උපවාස භූමියට පැමිණි පොලිසිය බලහත්කාරයෙන් තමන් ඇතුළු පිරිස එම ස්‌ථානයෙන් ඉවත් කිරීමට උත්සාහ කළ බවත් එහිදී තම වාහනයට පවා පහර දී දැඩි අලාභහානි සිදු කළ බවත් හෙතෙම වැඩිදුරටත් පැවසීය.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.