උතුරේ හමුදා කඳවුරු ඡායාරූපගත කළ
අලුත්ම ප්‍රභාකරන් දැලේ


කීර්ති වර්ණකුලසූරිය


තමිල්නාඩුවේ ධර්මපුරම්හි කොටි හිතවාදියකු වූ "තමිල්වානි ප්‍රභාකරන්" නමැත්තා උතුරේ හමුදා කඳවුරු ඡායාරූප ගැනීමේ යෙදී සිටියදී නාච්චිකුඩා පොලිසිය විසින් ඊයේ (26 දා) අත්අඩංගුවට ගෙන ඇත.මොහු ද්‍රවිඩ සන්ධාන මන්ත්‍රී එස්‌. ශ්‍රීධරන්ගේ වාහනයේ ගමන් කරමින් එකී කඳවුරු ඡායාරූපගත කර තිබේ.

ආරක්‍ෂක අංශ නිලධාරීන් විසින් මේ බව නාච්චිකුඩා පොලිසියට දැන්වීමෙන් පසු ශ්‍රීධරන්ගේ වාහනය නතර කළ පොලිසිය ඔහු අත්අඩංගුවට ගෙන ඇත.

මොහු සංචාරක වීසා බලපත්‍රයක්‌ මත දෙසැම්බර් 20 දා මෙරටට පැමිණ 28 දා මෙරටින් යැමට නියමිතව තිබිණි.

ආරක්‍ෂක බුද්ධි අංශ මොහු පිළිබඳව විමර්ශනය කිරීමේදී තමිල්නාඩුවේ ජුනියර් වින්ටන් නමැති සඟරාවට කොටින් ගැන ලිපි ලියන්නකු යෑයි හෙළිවී ඇත.

පොලිසිය මොහුගේ කැමරාව පරීක්‍ෂාවට ලක්‌ කිරීමේදී ආරක්‍ෂක හමුදා කඳවුරුවල ඡායාරූප 50 ක්‌ සටහන් වී තිබූ බව සොයාගෙන තිබේ.

තමිල්වානි ප්‍රභාකරන් නමැත්තාව පොලිසියෙන් මුදාගැනීමට ශ්‍රීධරන් දැරූ උත්සාහය ද ව්‍යර්ථ වී ඇත.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.