ජීවිත ආරක්‍ෂාව ඇත්නම්
බදුරලියට වෛද්‍යවරුන් යවනවා
- වෛද්‍ය සංගමයෙන් නිවේදනයක්‌

වගකිවයුතු පිරිස්‌ වෛද්‍යවරුන්ගේ ජීවිත ආරක්‍ෂාව සම්බන්ධව සහතිකයක්‌ ලබාදෙන්නේ නම් බදුරලිය රෝහල වෙත වෛද්‍යවරුන් යෑවීමට සූදානම් බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ඊයේ (26 දා) නිකුත් කළ නිවේදනයක දැක්‌වේ.

එම නිවේදනයේ තවදුරටත් මෙසේ ද සඳහන් කර ඇත.රෝගියකු රැගෙන බදුරලිය රෝහලට බීමත්ව පැමිණි පිරිසක්‌ රෝහලේ සේවකයන්ට පහරදී වෛද්‍යවරුන්ට මරණ තර්ජනය කිරීම නිසා අවාසනාවන්ත තත්ත්වයක්‌ උද්ගත විය. දේශපාලන හයිය අතට ගෙන මෙසේ කලබල කරද්දීත් වෛද්‍යවරයා රෝගියාට අවශ්‍ය වූ පරිදි ප්‍රතිකාර කර කළුතර රෝහලට මාරු කර යවා ඇත. රෝගියාට හෘදයාබාධය වැළඳී මියගොස්‌ ඇත්තේ ඊට දිනකට පසුවය. බදුරලිය රෝහලේ සේවාවල කිසිම අතපසුවීමක්‌ සිදුවී නැත.

රෝගියාගේ මරණය පිළිබඳ ක්‍රමවත් ක්‍රියාමාර්ගයක්‌ ගත හැකි වී තිබියදීත් නොයකුත් අක්‍රමවත් ක්‍රියාමාර්ග විවිධ දේශපාලන පක්‍ෂ පවතින මැතිවරණ උණුසුම හමුවේ ප්‍රසිද්ධිය ලබාගැනීම සඳහා මාරුවෙන් මාරුවට කරගෙන යනු ලබයි. 'මුලදී කලහකාරී අවස්‌ථාවේදී පොලිසියේ ක්‍රියාකාරිත්වයද රෝහල් සේවකයන්ට ආරක්‍ෂාකාරී පරිසරයක්‌ ඇති කිරීමට සමත් වූයේ නැත.

දේශපාලනයෙන් උමතු වී වෘත්තිකයන් දණගස්‌වන, ගස්‌ බඳින රටේ ගරු කළ යුතු ආයතනයක්‌ වන රජයේ රෝහලට දේශපාලන උන්මත්තකයන් පහරදීම අරුමයක්‌ නොවේ. ලොව පුරා රෝහල්වල සේවකයන්ට සිදුවන අඩම්තේට්‌ටම් කිසිදු අයුරකින් ඒ රටවල බලධාරීන් හෝ පොලිසිය අනුමත කරන්නේ නැත. නමුත් මතින් හා බලයෙන් උමතු වූ දේශපාලනඥයන් මරණ තර්ජනය කරද්දී වෛද්‍යවරුන්ට සේවය කළ නොහැක.

බඳගිරිය වෛද්‍යවරියද මීට සමාන තත්ත්වයක්‌ අප සංගමයට පැමිණිලි කරද්දී බය නොවී ප්‍රතිකාර කරන ලෙස අප ද උපදෙස්‌ දෙන ලදී. ඊට සතියකට පසුව එම වෛද්‍යවරිය වෙඩි තබා මරා දැමීම නිසා අපට ඊට දැඩි පසුතැවීමකට හේතුවක්‌ විය. එමෙන්ම මීට පෙර බදුරලිය රෝහලේම සේවය කළ දිස්‌ත්‍රික්‌ වෛද්‍ය නිලධාරි පීටර් ප්‍රනාන්දු මහතාද පිහියෙන් ඇන ඝාතනයට ලක්‌ කර ඇති බව සිහිපත් කරමු.

මෙම රෝහලේ වෛද්‍යවරුන් තිදෙනා පත්වූ දින සිට රෝහලේ ප්‍රසූත කරන දරුවන් සංඛ්‍යාව මසකට 20 දක්‌වා වැඩි වී ඇත. බාහිර අංශයේ රෝගී ප්‍රතිකාර සේවා දිනකට රෝගීන් 350 ඉක්‌මවා ගොස්‌ ඇත. නේවාසික රෝගීන්ද වැඩි වී ඇත. මෙම වෛද්‍යවරුන් තිදෙනා වසරක්‌ ඇතුළත තුන් ගුණයකින් තරම් රෝහල් සේවාව වැඩි කිරීමට දායක වී ඇත. ඉන් පැහැදිලිව පෙනෙනුයේ දුප්පත් ජනතාවගේ ප්‍රසාදය ඔවුන්ට හිමි වී ඇති බවයි.

දුර බැහැර ප්‍රදේශවල දිළිඳු ජනතාවට රෝගී සත්කාරක සේවා මෙම මට්‌ටමෙන් රෝහල් පවත්වාගෙන යන්නේ ද ලංකාවේ පමණක්‌ බව සියලු දෙනාම දැනගත යුතුය. ඔස්‌ටේ්‍රලියාව වැනි රටවල දුර බැහැර ප්‍රදේශවල රෝහල් වැසී ගොස්‌ ඇත. එබැවින් මාධ්‍ය මේ පිළිබඳ නිවැරැදි වැටහීමකින් ප්‍රවෘත්ති පළකිරීම අපි හුදෙක්‌ම අපේක්‍ෂා කරමු.

රෝහලක්‌ පවත්වාගෙන යා යුතු සුරක්‌ෂිත වටපිටාව පවත්වාගෙන යාමට වගකිව යුතු පිරිසක්‌ වගකීම දරන්නේ නම් හා එම පිරිස වෛද්‍යවරුන්ගේ ජීවිත ආරක්‍ෂාව පිළිබඳ වගකීම ගන්නේ නම් මෙම වෛද්‍යවරුන් තිදෙනා සේවයේ යෙදවීමට අප පසුබට වන්නේ නැත. මෙම වෛද්‍යවරුන්ගේ දෙමාපියන්ට හා දරුවන්ට ඔවුන්ගේ ජීවිත පිළිබඳව සහතිකයක්‌ දීමට අප බැඳී සිටිමු.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.