යාපනයේ සිංහලයන්ට
සිංහල වීම නිසා ප්‍රශ්නයක්‌ තිබෙනවා

සිංහල රාවය සංවිධානයේ මහලේකම්
අක්‌මීමන දයාරතන හිමියෝ කරුණු දක්‌වති

පසුගිය නොවැම්බර් 24 වැනිදා "දිවයින ඉරිදා සංග්‍රහය" හා අදහස්‌ දක්‌වමින් දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. ඒ. සුමන්තිරන් මහතා ප්‍රකාශ කර සිටියේ නාවක්‌කුලි ප්‍රදේශයේ පදිංචිවීමට සූදානම් වන සිංහල ජනතාව සැබෑ ලෙසම යුද්ධයෙන් අවතැන් වූ යාපනයේ සිටි සිංහල ජනතාව ද යන ගැටලුව තවම විසඳී නොමැති බවයි.

එබැවින් අප ඒ පිළිබඳව සිංහල ජනතාව එම ප්‍රදේශයේ යළි පදිංචි කිරීම සඳහා පුරෝගාමීව කටයුතු කරන පූජ්‍ය අක්‌මීමන දයාරතන හිමියන්ගෙන් විමසා සිටියෙමු. උන්වහන්සේ ඒ පිළිබඳව දැක්‌වූ අදහස්‌ පහත පරිදි වේ.

ප්‍රශ්නය - යාපනය ප්‍රදේශයේ නැවත පදිංචි කරන ලද සිංහල ජනතාවගේ වර්තමාන තත්ත්වය කෙසේද?

පිළිතුර - මේ වන විට උතුරු ප්‍රදේශයේ යුද්ධය අවසන් වී වසර 4 කට වඩා ගතවී තිබෙනවා. මේ වන විට දෙමළ ජනතාවත්, කොටි සංවිධානයේ කාඩර් අයත් යළි පදිංචි කිරීමට පියවර ගෙන තිබෙනවා. ඒ සඳහා ආණ්‌ඩුව, රාජ්‍ය නොවන සංවිධාන මෙන්ම හමුදාවත් උපරිම සහයෝගය ලබාදී තිබෙනවා. එපමණක්‌ නොවෙයි ඔවුන්ගේ ජනජීවිතය නගාසිටුවීම සඳහාත් අවශ්‍ය පියවර ගෙන තිබෙනවා. ඒ කියන්නේ කෘෂිකාර්මික කටයුතුවල යෙදුණ අයට කෘෂි ආම්පන්න, බීජ ඇතුළු සියල්ල ලබාදී අවසානයේදී ඔවුනගේ අස්‌වැන්න පවා වෙළෙඳපොළට නිකුත් කිරීමට අවශ්‍ය ශක්‌තිය ලබාදී තිබෙනවා. එම ජනතාව සම්බන්ධයෙන් එලෙස කටයුතු කළාට අපට කිසිදු ගැටලුවක්‌ නෑ. ඒකට තමයි මිනිසුන්ගේ අයිතිවාසිකම් ලබාදෙනවා කියන්නේ. යාපනයේ පමණක්‌ නොවෙයි ලංකාව පුරාම දෙමළ ජනතාව හොඳින් ජීවත් වෙනවා. එම ජනතාවට දෙමළවීම නිසා කිසිදු ප්‍රශ්නයක්‌ ඇතිවී නැහැ.

එහෙත් යාපනයේ යළි පදිංචිවීමට සූදානම් වන සිංහල ජනතාවට, සිංහලවීම නිසා ප්‍රශ්නයක්‌ තිබෙන බව පැහැදිලිව දකින්න තිබෙනවා. අපි දන්නවා උතුරේ විශාල බෞද්ධ භූමි ප්‍රමාණයක්‌ තිබෙනා බව. ඒ අනුව පැහැදිලි වනවා එම ප්‍රදේශයේ අතීතයේදී පවා විශාල සිංහල බෞද්ධයන් ප්‍රමාණයක්‌ ජීවත්වී ඇති බව. 1983 යුදමය වාතාවරණය ඇති වන විට එම ප්‍රදේශයේ සිංහල පවුල් 17000 ක්‌ පමණ පදිංචිව සිට තිබෙනවා. එම ජනතාව බේකරි, රත්තරං බඩුසාප්පු වැනි ව්‍යාපාරවල නිරත වී තිබෙනවා. ඒ අය අතර මෙහෙන් ගිය අය වගේම එහේ උපන්න අයත් සිටියා. ඔවුන් අධ්‍යාපනය ලබපු සිංහල මහා විද්‍යාලය අදත් දකින්න තිබෙනවා.

එහෙත් මේ දක්‌වා පවුල් 17000 ක්‌ පමණ ජීවත්වූ යාපනය දිස්‌ත්‍රික්‌කය තුළ එකම පවුලක්‌ හෝ පදිංචි කිරීමට රාජ්‍ය හෝ රාජ්‍ය නොවන සංවිධානයන් කිසිම ක්‍රියාකාරී වැඩ කොටසක්‌ කරල නෑ. අද වෙනකොට එම ප්‍රදේශයේ බලය තිබෙන්නේ දෙමළ නායකයන් අත. අද වන විට දෙමළ සහ මුස්‌ලිම් නායකයන් ඔවුනගේ ජනතාව පිළිබඳව කතා කරනවා. ඒ ගැන අපි සතුටු වෙනවා. නමුත් මේ රටේ තිබෙන අරුමය තමයි සිංහල නායකයනුත්, සිංහල ජනතාව ගැන කතා නොකර දෙමළ සහ මුස්‌ලිම් ජනතාව ගැන පමණක්‌ කතා කිරීම. සිංහලයන් ගැන කතා කරන්න අද නායකයෙක්‌ නෑ. එම නිසා අද වන විට සිංහල ජනතාව උපන් බිමේ අසරණ වූ ජනතාවක්‌ බවට පත්වී තිබෙනවා.

එම නිසා රජයට, රාජ්‍ය නොවන සංවිධානවලට පමණක්‌ නොවෙයි එම ප්‍රදේශයේ බලයේ සිටින දෙමළ නායකයන්ට පවා වගකීමක්‌ තිබෙනවා අසරණ වී සිටින සිංහල ජනතාවට යළි පදිංචිවීම සඳහා ඉඩම් ලබාදීමට, නිවාස තනා ගැනීමට උදව් කිරීමට මෙන්ම ඔවුන්ගේ ජනජීවිතයට අවශ්‍ය මූලික පසුබිම සකසා දෙන්න.

එහෙත් මෙතන අන්තවාදයක්‌ ක්‍රියාත්මක වන බව අප දැක්‌කා. දෙමළ ජනතාවට සියලු වරප්‍රසාද ලබාදෙනවා. මුස්‌ලිම් ජනතාවටත් ලබාදීමට කටයුතු කරන බව වාර්තා වනවා. නමුත් මේ දක්‌වා සිංහල ජනතාව සඳහා එකම නිවසක්‌ හෝ ලබාදී නොමැති බව සඳහන් කිරීමට සිදුවී තිබෙනවා.

යුද්ධයෙන් පසුව සිංහල ජනතාව යළි යාපනය බලා ගියේ තමන්ටත් සාමය උදා වූවා යන බලාපොරොත්තුව ඇතිව. නමුත් ඔවුන්ට සිද්ධ වුණේ දොරේ අප්පා ක්‍රීඩාංගණයේ ලැඟුම් ගන්න. ඉන් පසුව යාපනය දුම්රිය ස්‌ථානය බලා යන්න. එම අවස්‌ථාවේදී ආණ්‌ඩුව, විපක්‍ෂය හෝ වෙනත් දේශපාලන පක්‍ෂ මැදිහත් වූයේ නෑ. එම අවස්‌ථාවේදී අපව රැක බලාගන්නා, අපව පෝෂණය කරන ජනතාවට
රැකවරණයක්‌ ලබාදීම සඳහා අපි ඉදිරිපත් වූවා. යාපනය බලා යළිත් ගිය සිංහලයන් අතර බෞද්ධයන් නොවන අයත් සිටිනවා.

රජයේ ඉඩමක්‌ තිබුණා නාවක්‌කුලි හන්දියේ. එය නිවාස සංවර්ධන අධිකාරියට අයත් එකක්‌. යම් යම් අයගේ උපකාර ඇතිව එම ඉඩමේ තාවකාලික නිවාස තනා ගැනීමට අප ඔවුන්ට උදව් කළා. එම අවස්‌ථාවේදී භික්‍ෂූන් වහන්සේලා හැටියට අපෙන් පළමුවෙන්ම අවශ්‍ය මොනවාද කියන එක අපි විමසා සිටියා. එම අවස්‌ථාවේදී ඔවුන් අපෙන් ප්‍රජා ශාලාවක්‌ ලබාදෙන ලෙස ඉල්ලා සිටියා. ඒ වගේම වන්දනාමාන කිරීම සඳහා බෝධියක්‌ හෝ බුදු පිළිමයක්‌ එහි තැන්පත් කරන ලෙස ඉල්ලා සිටියා. තමන්ගේ ආගම ඇදහීම මූලික අයිතියක්‌ නිසා පිළිම වහන්සේ නමක්‌ එහි වැඩම කර, භික්‍ෂූන් වහන්සේ නමකුත් වැඩම කරවූවා. දැන් එය විහාරස්‌ථානයක්‌ බවට පත්වී තිබෙනවා.

එහෙත් මෙම පන්සලට අත්බෝම්බ ප්‍රහාරයක්‌ එල්ල කළා. අපි පැහැදිලිවම කියනවා මේක කළේ දෙමළ සන්ධානයේ මන්ත්‍රීවරුන්ගේ මෙහෙයවීමෙන් කියලා. ඒ වගේම එම ජනතාවට තර්ජනය කරල තිබෙනවා උඹලාට මෙහෙ අයිතියක්‌ නොමැති බවත්, මෙහෙන් පලයල්ලා කියලා. අපි සුහදතාවය ගොඩනඟන්න හදන මේ බිමෙන්, සිංහල ජනතාවට පලයන් කියල තිබෙනවා. ඒකයි මම කියන්නේ සිංහල ජනතාවට සිංහලවීම නිසා ප්‍රශ්නයක්‌ තිබෙනවා කියලා.

මෙම තර්ජනය කිරීම් සහ බෝම්බ ප්‍රහාරවලින් පසුව අපි පැමිණිලි කළා. නමුත් මේ දක්‌වා කිසිවකු අත්අඩංගුවට ගෙන නැහැ. එතකොට මොකක්‌ද මේ රටේ තිබෙන නීතිය, මොකක්‌ද සිංහලයන්ට තිබෙන අයිතිවාසිකම. අපි අහන්නේ ඒක තමයි. මේ වන විට අපි නිවාස 5 ක්‌ හදලා තිබෙනවා. නමුත් අපිට ඉඩම් බෙදලා දෙන්න බෑ. එම නිසා අපි බලධාරීන්ට කියනවා එම ජනතාවටත් පර්චස්‌ 10 ක 15 ක හෝ ඉඩම් කැබැල්ලක්‌ දෙන්න කියලා.ව

ප්‍රශ්නය - උතුරු පළාත් සභාවේ මහ ඇමැතිවරයා වූ විග්නේශ්වරම් මහතා පළාත් සභාව අමතා කළ මංගල කතාවේදී, යාපනයේ පදිංචිව සිට අවතැන් වූ සිංහල ජනතාවට යළිත් එම ප්‍රදේශයේ පදිංචියට එන ලෙස ආරාධනා කර තිබෙනවා නේද?

පිළිතුර - විග්නේශ්වරම් මහත්තය එහෙම කියනවා නම් හොඳයි. නමුත් දෙමළ සහ මුස්‌ලිම් අය පදිංචි කිරීමට තිබෙන උනන්දුව ඒ සඳහා තිබෙන බවක්‌ නම් පෙනෙන්නේ නැහැ. ඒ සඳහා අවංක වුවමනාවක්‌ තිබුණ නම් යාපනයේ පදිංචිව සිටි ජනතාවට යළි එම ප්‍රදේශයේ පදිංචියට එන ලෙස පුවත්පතක හෝ දැන්වීමක්‌ පළ කරන්න තිබුණා. කෝ එහෙම කළේ නැහැනේ. එහෙම කළා නම් එහි උපන්න බව සහතික කළ හැකි උප්පැන්න සහතික තිබෙන, ඔප්පු තිබෙන, බලපත්‍ර තිබෙන අයට එම ලිත සාක්‍ෂි සමග ඉදිරිපත්වීමට තිබුණා. පවුල් 17000 ක්‌ එහි පදිංචිව සිට තිබෙනවා. අපි කියන්නේ ඒ අයට යළිත් යාපනයේ පදිංචිවීමේ අවස්‌ථාව දෙන්න කියලා. විග්නේශ්වරන් මහතාට නොහැකි නම් අපට පුළුවන් ඒ අය ඉදිරිපත් කරන්න.

ප්‍රශ්නය - විග්නේශ්වරම් මහතා ඉල්ලා සිටින තුරු බලා නොසිට, එම ජනතාවට හැකියාව තිබෙනවා නේද එම සහතික සහ ලිපි ලේඛන සමග ඉදිරිපත්වීමට.

පිළිතුර - අපි මේ වන විට එම ලිපි ලේඛන රාජ්‍ය ආරක්‍ෂක අමාත්‍යාංශයට ලබාදී තිබෙනවා. ජාතික ව්‍යාපාරයක්‌ විධියට අපි ජනතාව වෙනුවෙන් පෙනී සිටිනවා. විග්නේශ්වරම් මහතා කියන්නේ මහ ආණ්‌ඩුව යටතේ තිබෙන පළාත් සභාවක මහ ඇමැතිවරයකු පමණයි. එම නිසා මහ ආණ්‌ඩුවට මේ පිළිබඳව එම මහ ඇමැතිවරයා දැනුවත් කිරීමට තිබුණා. අනික නාවක්‌කුලි ප්‍රදේශයේ සිංහල ජනතාව යළි පදිංචි වී සිටින බව දෙමළ ජාතික සන්ධානයේ නායකයන් දන්නවා. මම කලිනුත් ප්‍රකාශ කළා එම ජනතාවට තර්ජන පමණක්‌ නොවෙයි බෝම්බ ප්‍රහාර පවා එල්ලවී තිබෙනවා. එම නිසා එම සිංහල ජනතාව පිළිබඳව විග්නේශ්වරම් මහතා නොදන්නවා කියලා සිතන්න අමාරුයි. විග්නේශ්වරම් මහතාට සිංහල ජනතාව යළි උතුරේ පදිංචි කිරීමට අවංක වුවමනාවක්‌ තිබුණ නම් ඒ පිළිබඳව සොයා බලන්න අවස්‌ථාව තිබුණ. නමුත් එහෙම නොකිරීමෙන් පෙනී යන්නේ මුස්‌ලිම් සහ දෙමළ ජනතාව යළි පදිංචි කිරීමට ඒ මහතාට තිබෙන උනන්දුව සිංහල ජනතාව යළි පදිංචි කිරීම සඳහා නොමැති බවයි.

ප්‍රශ්නය - එහෙත් අවතැන් වී සිටින උතුරේ සිංහල ජනතාව ලවාම එම ලිපි ලේඛන මහ ඇමැතිවරයාට ලබාදීමට අවස්‌ථාව තිබෙනවා නේද?

පිළිතුර - අනිවාර්යයෙන්ම එම කටයුත්ත අපි ඉදිරි කාලයේදී කරනවා. නමුත් මම කියන්නේ අරයට මෙයාට බෝලය පාස්‌ කරමින් වගකීම පැහැර හැරීම නෙවෙයිනේ කළ යුත්තේ. මම කියන්නේ ජනතාවගේ බලය නියෝජනය කරන නියෝජිතයන් එම කටයුත්ත වගකීමෙන් කළ යුතුයි කියන එක. විග්නේශ්වරම් මහතා ඔහුගේ පස්‌සෙන් එනකන් බලන් ඉන්න ඕනි නැහැනේ. ඔහු රට ඉඳල ආවේ නැහැනේ.

ප්‍රශ්නය - සමහර පුද්ගලයන් තුළ මතයක්‌ තිබෙනවා සිංහල ජනතාව උතුරේ පදිංචිව සිටියත්, ඔවුන් සිටියේ බද්දට හෝ කුලියට ගත් ඉඩම් සහ ගොඩනැඟිලිවල බවට.

යාපනයේ පදිංචිව සිටි සිංහල ජනතාව පදිංචිව සිටියේ ඔවුන්ගේම ඉඩකඩම්වලද?

පිළිතුර - එම ජනතාව පදිංචිව සිටි ඉඩම්වල ඔප්පු මෙන්ම බලපත්‍රත් තිබෙනවා. ඒවා ඉදිරිපත් කිරීමට පුළුවන්.

ප්‍රශ්නය - යාපනයට යළිත් යන තුරු ඔවුන් මොන ප්‍රදේශවල ද පදිංචිව සිට ඇත්තේ.

පිළිතුර - අනුරාධපුර, මිහින්තලය, කැකිරාව වැනි ප්‍රදේශවල ඥති මිත්‍රාදීන්ගේ නිවාසවල තාවකාලිකව සිට තිබෙනවා.

ප්‍රශ්නය - ඔවුන් කලින් පදිංචිව සිටි ස්‌ථානවල දැන් තත්ත්වය කුමක්‌ද?

පිළිතුර - මෙම ජනතාව දොරේ අප්පා ක්‍රීඩාංගණයේ පදිංචිවීමට පෙර ඔවුන්ගේ දේපළ පිළිබඳව සොයා බලා තිබෙනවා. මේ වන විට එම දේපළ දෙමළ ජනතාව අයත් කරගෙන සිටිනවා. එම නිසා සිංහල ජනතාව ඔවුන් සමග ගැටුමකට නොගොස්‌ දොරේ අප්පා ක්‍රීඩාංගණයේ ලැගුම් ගෙන තිබෙනවා. එසේ පදිංචි වූ ජනතාවට යළිත් ඉන්න හිටින්න ස්‌ථානයක්‌ ලබාදීම බලධාරීන්ගේ වගකීම වනවා.

ප්‍රශ්නය - යාපනයේ සිටින දෙමළ බෞද්ධයන්ගේ ප්‍රතිචාරය කෙබඳුද?

පිළිතුර - යාපනයේ සිටිය සිංහල ජනතාව යළිත් එහි පදිංචි කළ යුතුය යන ස්‌ථාවරයේ ඔවුන් සිටිනවා

සාකච්ඡා කළේ
එරික්‌ ගාමිණි ජිනප්‍රිය

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.