කට වහරින්ම කියනවා නම්...

අලුත් අවුරුද්ද ආයෙත් ඇවිත්. මේක හරිම පුදුම වැඩක්‌. දැන් අපට අවුරුදු, අප්‍රියෙල් 14 වැනිදාත් අවුරුදු. එක අවුරුද්දක්‌ ඇතුළේ, ඒ කියන්නේ දවස්‌ 365 ක කාල පරාසයක්‌ ඇතුළේ අලුත් අවුරුදු දෙකක්‌ තියෙන්න පුළුවන්ද? ඇත්තම නිර්වචනය නම් අවුරුද්දේ දවස්‌ තුන්සිය හැටපහ පුරාම අලුත් අවුරුදු එළඹෙන බවයි. අවුරුද්දේ ඕනෑම දවසක ඉඳලා අනෙක්‌ අවුරුද්දේ ඒ දවස දක්‌වා දවස්‌ තුන්සිය හැටපහයි. එහෙනම් අපට හැමදාමත් අවුරුද්ද පටන් ගන්න පුළුවන්. අලුත් ප්‍රාර්ථනා එක්‌ක, අලුත් දැක්‌මක්‌ එක්‌ක. කසිකබල් වෙච්ච ගතානුගතික කුහක සිතුවිලි පැත්තකට විසි කරලා අලුත් අවුරුද්ද පටන් ගන්න අපට හැකියාව ලැබෙනවා. කරුමෙක මහත කොච්චර ද කියනවා නම් මේ දවස්‌ තුන්සිය හැටපහෙන් එකම එක දවසක්‌වත් ප්‍රයෝජනයට අරන් අලුතින් දවසක්‌ හෝ අලුතින් අවුරුද්දක්‌ පටන් ගන්න අප සූදානම් නැහැ. සමහර රටවල මිනිසුන් උදේට හවසට ජාතික ගීය කියනවා වගේ 'නෑ' කියාගෙන 'බෑ' කියාගෙන අපේ රටේ වැඩි දෙනා පටන් ගන්න හැම දවසක්‌ම ඉවර වෙන්නෙ 'නෑ - බෑ' කියන අර්ථ දෙකෙන්ම කියලයි අපට වැටහෙන්නේ.

ගිය අවුරුද්ද ලංකාවට කොහොමද? අපට හැඟෙන විදියට නම් ගතවෙච්චි දවස්‌ තුන්සිය හැටපහ මිශ්‍රපල තිබුණු කාලයක්‌. රටේ දැවැන්ත සංවර්ධනයක්‌ තිබෙන බව ඇත්ත. සාමාන්‍ය ග්‍රාම්‍ය වචනයෙන් කියනවා නම් ආණ්‌ඩුව ගිය අවුරුද්දෙත් රටේ පාරවල් ටික 'ලෙවකන්ඩ පුළුවන් විදියට' හදලා තියෙනවා. හැබැයි ඉතින් පාරවල් ලෙවකාලා බඩගින්න යන්නෙ නැහැනේ. ඒ වගේම පාරවල් හදන්න මිසක්‌ බඩගින්න නැති කරන්න චීනය සල්ලි දෙන්නෙත් නැහැ. ඒගොල්ලො පාරවල් හදන්න ආවාම ආණ්‌ඩුව අතට සල්ලි නොදී ශ්‍රමයෙන් 25% ක්‌ විතරත් සියලු බඩු භාණ්‌ඩත් තමන්ගේ රටින්ම ගෙනල්ල වැඩේ කරනවා. මොකද සල්ලි අප අතට දුන්නොත් ඒක දුප්පතුන්ගෙ බඩටත්, ධනවතුන්ගේ බැංකු ගිණුමටත් යන බව ඒ අය දන්නවා. ඒ නිසා පොඩි පොඩි 'සබ් කන්ට්‍රැක්‌ට්‌' ටිකක්‌ අපට දෙනවා හැරෙන්න වෙන සත පහක්‌වත් හොල්ලන්නෙ නැතිව ඉන්න පිටරටවල් පුරුදු වෙලා ඉන්නවා. සබ් කන්ට්‍රැක්‌ට්‌ දුන්නත් අපේ කට්‌ටිය පුදුම ගැහිල්ලක්‌ ගහනවා. අපේ අයගේ ගැහිලි ගැන දන්නා සිංහල දේශපාලනඥයෙක්‌ ඡේ. ආර්. ජයවර්ධන යුගයේදී මහවැලි යෝජනා ක්‍රමය කරද්දී රුපියල් 5 ක්‌ වියදම් කරන්න ඕනෑ තැනට රුපියල් 10 ක්‌ අනුමත කිරීම පුරුද්දක්‌ වශයෙන් කළා. ඒකට හේතුව රුපියල් 5 ක්‌ දුන්නම ඒක ගසාකන අපේ අය වැඩේ නොකර නන්නත්තාර වීමයි. රුපියල් 10 ක්‌ දුන්නම රුපියල් 5 ක්‌ ගහල ඉතිරි රුපියල් 5 න් වැඩේ ඉවර කළා. මේ අතරෙ රුපියල් 10 ම ගහපු අයත් හිටියා. ඒ අය හිරේÊගියා.

අලුත් අවුරුද්ද ගැන කියද්දී අපි කියූ ඒ කතාව අතුරු කතන්දරයක්‌. පසුගිය අවුරුද්ද කියන්නේ හරි පුදුමාකාර අවුරුද්දක්‌. සංවර්ධනය යන අතරේ ඊට සමාන්තරව දූෂණයත් දීර්ඝ ගමනක්‌ ගියා. සමහර තැන්වල සංවර්ධනය පසු කරගෙන දූෂණය ඉදිරියට ගියා. ලංකාව කුඩු වෙළෙන්දන්ගේ උදරකා ඵ්රනැඑ එක බවටත් පත්වුණා. අපට නාන්න තරම් එතනෝල් ගෙන්නුවා. මිනිසුන්ගේ ඇඟ ඇතුළෙන් රත්තරන් පොලු, මත්කුඩු වගේ බොහෝම දේවල් හමුවුණා. ඇත්තටම ගිය අවුරුද්දේ එයාර් පෝට්‌ එක හරහා එන අය ඇඟ ඇතුලෙ දමාගෙන නාවේ µ්‍රsඡ්, ටී. වී. වාගේ ඒවා විතරයි. කුඩු කේස්‌ එකට අසරණ අගමැතිතුමාගේ නම ගෑවෙන්නත් ගියා. ඒ අතර ඇමීබාවා බෙදෙන්නා වගේ විපක්‍ෂය බෙදෙන්න පටන් ගත්තා. මේ ආණ්‌ඩුව පක්‍ෂ සමූහයක සන්ධානයක්‌. දැන් බලද්දී එක්‌සත් ජාතික පක්‍ෂය ඇතුළෙත් පක්‍ෂ ගණනාවක්‌ තිබෙන බව පෙනෙනවා. පසුගිය අවුරුදු 7 - 8 තුළ වගේම ගිය අවුරුද්දෙත් හරියාකාරව විපක්‍ෂයක්‌ අපට තිබුණේ නැහැ. නායකත්ව මණ්‌ඩලයවත් හදා ගන්න බැරි එජාපය ආණ්‌ඩුවක්‌ හදන්නේ කොහොමද?

අප අද මේ කතුවැකිය ලිව්වේ කට වහරින්. පාඨකයන්ට කතා කරන භාෂාව හුඟක්‌ කිට්‌ටු නිසා කතුවැකියත් අද වගේ දවසක විතරක්‌ කට වහරින් ලියන්න අපි තීරණය කළා. හෙට ඉඳල අපි ආපහු පරණ ව්‍යාකරණයට යනවා. ඒ නිසා අප එµa. එම්. නාලිකාවල භාෂාව භාවිත කරන්න සූදානම් වෙනවා කියල කවුරුවත් කලබල විය යුතු නැහැ.

 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.