රෝහලේ කාන්තා වැසිකිළියේ කැමරා සවිකළේ
දොස්‌තර නම් ඔහුට දඬුවම් කළ යුතුයි

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය

අජිත් අලහකෝන්

අනුරාධපුර රෝහලේ කාන්තා වැසිකිළියේ කැමරා සවිකිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැක කෙරෙන වෛද්‍යවරයා වරදක්‌ කර ඇත්නම් ඔහුට දඬුවම් කළ යුතු බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය නවීන් සොයිසා මහතා ඊයේ (31 දා) ප්‍රකාශ කළේය.

කොළඹ පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී වැඩිදුරටත් අදහස්‌ දැක්‌වූ වෛද්‍ය නවීන් සොයිසා මහතා මෙම සිද්ධිය සම්බන්ධව විධිමත් පරීක්‍ෂණයක්‌ කර සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ රෙගුලාසි අනුව සැකකරුට අදාළව නීතිය ක්‍රියාත්මක කළ යුතු බවද කීය.

තවද රජරට සහ තවත් ප්‍රදේශ කීපයක පැතිර යන වකුගඩු රෝගය පිළිබඳව දොළොස්‌ වැදැරුම් ප්‍රතිපත්තියක්‌ ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා වෙත රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් භාරදුන් බව ප්‍රකාශ කළ වෛද්‍ය නවීන් සොයිසා මහතා වකුගඩු රෝගීන් පිළිබඳ වාර්තා වූ විට ඔවුන් නිරීක්‌ෂණය වන ක්‍රමවේදයක්‌ සකස්‌ කළ යුතු බවද කීය.

වකුගඩු රෝගයට හේතුව සොයාබැලීම සඳහා ජාතික විද්‍යා පදනම වෙත රුපියල් කෝටි 35 ක මුදලක්‌ වෙන්කිරීමට රජය ගෙන ඇති තීරණය පිළිබඳ අදහස්‌ දැක්‌වූ වෛද්‍ය සොයිසා මහතා ජාතික විද්‍යා පදනම යනු වෙනමම ආයතනයක්‌ බවද මෙවැනි පරීක්‍ෂණ කළ යුත්තේ සෞඛ්‍ය අමාත්‍යාංශය යටතේ බවත් කීය.

එම නිසා එකී රුපියල් කෝටි 35 ක මුදල ජාතික විද්‍යා පදනම වෙත ලබාදීම නතර කර බෝ නොවන රෝග අංශය වැනි සෞඛ්‍ය අමාත්‍යාංශය යටතේ පවතින අංශයකට එම මුදල ලබාදී වකුගඩු රෝගයට හේතුව සොයාබැලීමේ වැඩපිළිවෙළක්‌ සකස්‌කළ යුතු බවද වෛද්‍ය නවීන් සොයිසා මහතා කීවේය.

එසේ නොවී නිශ්චිත ක්‍රමවේදයකින් තොරව කෙරෙන වැඩ පිළිවෙළකින් සිදුවන්නේ මහජන මුදල් නාස්‌තිවීම පමණක්‌ බවද හෙතෙම කීවේය.

"දුම්වැටිවලට වඩා කිරිපිටි වස යෑයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංසදය නමැති සංවිධානයක්‌ විසින් කරන ප්‍රචාරය තමන් තරයේ ප්‍රතික්‍ෂේප කරන බව කී වෛද්‍ය නවීන් සොයිසා මහතා එම සංසදය සහ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අතර කිසිම සම්බන්ධයක්‌ නැතැයිද කීය.

කිරිපිටි වෙනුවට ප්‍රවර්ධනය කළ යුත්තේ දියර කිරි මිස දුම්වැටි නොවන බව ද කී වෛද්‍ය නවීන් සොයිසා මහතා ඉහත සංසදයේ අදහස්‌ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පිළිනොගන්නා බවද කීය.
 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.