පොලිසියට බාධා කළ බීමත් දොස්‌තර රිමාන්ඩ්

ගල්පාත - සෝමවීර අමරසේකර

බීමතින් පොලිස්‌ රාජකාරියට බාධා කළ වෛද්‍යවරයකු රිමාන්ඩ් බන්ධනාගාරගත කිරීමට කළුතර මහෙස්‌ත්‍රාත් අරුණ අලුත්ගේ මහතා ඉකුත්දා නියෝග කළේය.

කළුතර දකුණ පොලිසියේ උප පොලිස්‌ පරීක්‍ෂකවරයකුට පහරදීම, රියෑදුරු බලපත් නැතිව සුරාමතින් යතුරුපැදියක්‌ පැදවීම යන චෝදනාවලට කළුතර දකුණ පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන කළුතර මහෙස්‌ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ වෛද්‍යවරයකු මෙසේ රක්‍ෂිත බන්ධනාගාරගත කෙරිණි. අඹගහපතිරගේ සුරාඡ් ලක්‌මාල් නමැති වෛද්‍යවරයා කළුතර නගරයේදී 19 දා රාත්‍රියේදී අත්අඩංගුවට පත්විය. දකුණු කළුතර පොලිසියේ උප පොලිස්‌ පරීක්‍ෂක ඉලුක්‌කුඹුර මහතා ඇතුළු නිලධාරීන් පිරිසක්‌ මුර සංචාරයේ යෙදී සිටියදී අපරික්‍ෂාකාරී අන්දමින් යතුරුපැදියකින් ගමන් කරමින් සිටි වෛද්‍යවරයාගේ රියෑදුරු බලපත්‍රය පරීක්‍ෂා කිරීමට උත්සාහ කළ අවස්‌ථාවේදී බීමත්ව සිටි සැකකරු රාජකාරියට බාධා කරමින් පොලිස්‌ නිලධාරීන්ට පහර දී ඇති බව පොලිසිය කියයි. සැකකරුට රියෑදුරු බලපත්‍රයක්‌ නොතිබූ බව අධිකරණයට වාර්තා කොට ඇත.

තවද සැකකාර වෛද්‍යවරයා හොරණ මූලික රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා වෙත ඉදිරිපත් කිරීමෙන් පසු ලබාගත් වෛද්‍ය වාර්තාව ද අධිකරණයට ඉදිරිපත් කොට තිබේ.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.