සේවය පතා තමන් ළඟට එන ජනතාවගේ සිත සුවපත් කිරීම රාජ්‍ය සේවකයාගේ වගකීමක්‌
- ඇමැති මෛත්‍රිපාල සිරිසේන

රාජ්‍ය නිලධාරියා මහජනතාවගේ මුදලින් වැටුප් ලබන අයෙක්‌ බැවින් සෑම විටම තමන් ළඟට සේවාවන් ලබා ගැනීම සඳහා කඳුළු පිරි දෑසින් පැමිණෙන ජනතාවගේ සිත සුවපත් කිරීම රාජ්‍ය සේවකයාගේ වගකීමක්‌ යෑයි සෞඛ්‍ය ඇමැති මෛත්‍රිපාල සිරිසේන මහතා පැවසීය.

2014 නව වසරේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ රාජකාරි කටයුතු ඇරඹීම සඳහා සියලුම නිලධාරීන් සහ සේවක මණ්‌ඩල හමුවීම ඊයේ (2 වැනිදා) පෙරවරුවේ සෞඛ්‍ය අමාත්‍යාංශ පරිශ්‍රයේදී සිදු විය. සෞඛ්‍ය නියෝජ්‍ය ඇමැති ලලිත් දිසානායක, සෞඛ්‍ය ලේකම් වෛද්‍ය නිහාල් ජයතිලක, සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල් වෛද්‍ය පාලිත මහීපාල යන මහත්වරුන්ගේ ද සහභාගිත්වයෙන් මෙම හමුව පැවැති අතර, ආගමික වතාවත් සර්ව ආගමික පූජක වහන්සේලා විසින් ඉටු කිරීමෙන් අනතුරුව සෞඛ්‍ය ඇමැති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් රැස්‌ව සිටි පිරිස අමතනු ලැබීය.

එහිදී වැඩිදුරටත් අදහස්‌ දැක්‌වූ ඇමැතිවරයා 2014 වසර සැමදෙනාට සුබ නව වසරක්‌ වේවායි මම ප්‍රාර්ථනා කරනවා. පසුගිය වසරේ අප විසින් සිදු කරන ලද සේවාවන්හි අඩුපාඩු හා මගහැරුණු තැන් ඇත්නම් ඒවා සොයා බලා මේ වසරේදී ඒ අඩුපාඩු අප විසින් සකස්‌ කරගත යුතුව තිබෙනවා.

රාජ්‍ය සේවයේ දිවුරුම් දීම අද ඔබ මෙන්ම මමත් කළා. මේ දිවුරුමේ එක්‌ තැනක කියවෙනවා මහජන මුදලින් වැටුප් ලබන රාජ්‍ය සේවකයෙක්‌ වන මම කියන වාක්‍යය. රාජ්‍ය නිලධාරීන්, රාජ්‍ය සේවකයින් පමණක්‌ නොවෙයි මම පිළිගන්නා විදියට බලයේ සිටින්නා වූ දේශපාලනඥයා ද රාජ්‍ය සේවකයෙක්‌ විදියටයි මම හඳුන්වන්නේ. ඔවුන් ජනතාවගේ මුදලින් දීමනා ලබනවා. ජනතාවගේ මුදලින් සියලු වරප්‍රසාද ලබනවා. ඒ නිසා රාජ්‍ය සේවකයා සහ දේශපාලනඥයා වෙන්කොට මා සලකන්නේ නැහැ. අපි කරන්නා වූ මහජන මෙහෙවර ඉතාමත් විශිෂ්ට ලෙස උතුම් ලෙස ඉටු කිරීමට ඔබ සියලු දෙනාට ධෛර්යය හා ශක්‌තිය තිබෙන බව මා විශ්වාස කරනවා.

සුබ නැකතින් සෞඛ්‍ය ඇමැතිවරයා සහ නියෝජ්‍ය ඇමැතිවරයා ඇතුළුÊපිරිස කිරි උතුරුවා රාජකාරි කටයුතු ආරම්භ කළ අතර අභයාරාමාධිපති මුරුත්තෙට්‌ටුවේ ආනන්ද නායක ස්‌වාමීන් වහන්සේ බෞද්ධාගමික කටයුතු සිදු කළහ.
 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.